16 - සහෝදර ප්‍රේමය

පවුල, පාසල හා සමාජය තුළ සිටින විවිධ අය සමග සතුටින් සමගියෙන් ජීවත් වන්නට අප කවුරුත් කැමතියි. එලෙස සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්නට නම්, අප එකිනෙකාට ගරු කළ යුතු ය. අන් අයගේ ජීවිත උසස් කොට සලකන්නට පුරුදු විය යුතු ය.

එවැනි ප්‍රීතිමත් සමාජයක් ගොඩනැංවීමට දස පනතේ ඉගැන්වීම් තුළින් ලැබෙන මග පෙන්වීම අපි දැන් විමසා බලමු. අසල්වැසියාට ප්‍රේමය දැක්වීමට උගන්වන දේව පනත් හතක් තිබේ. එනම්, හතරවන පනතේ සිට දහවන පනත දක්වා වන දේව පනත් හත යි.

හතරවන දේව පනත - මව්පියන්ට සංග්‍රහ කරව

පස්වන දේව පනත - ජීවිත විනාශ නොකරව

හයවන දේව පනත  - කාම මිථ්‍යාචාරය නොකරව

හත්වන දේව පනත - සොරකම් නොකරව

අටවන දේව පනත - බොරු සාක්ෂි නොකියව

නවවන දේව පනත - පරදාර ආලය නොකරව

දහවන දේව පනත - අන් වස්තු ආශා නොකරව

ඉහත දැක්වෙන දේව පනත්වලට අනුකූල ව අපගේ ජීවිත ගොඩනගා ගන්නේ නම්, අප ජීවත් වන සමාජය හැම කෙනකුට ම ප්‍රීතිය හා සාමය ඇති තැනක් වනු ඇත. බියෙන් සැකෙන් තොර ව හැම කෙනකුට ම ජීවත් වීමට හැකිවනු ඇත. එබැවින් මෙම ප්‍රේමයේ දේව පනත් ක්‍රියාවට නැංවීමේ දී අප විසින් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳ ව විමසා බලමු.

පහත සඳහන් ගීතිකාව ගායනා කරන්න.

පුන ගැයුම :

සමිඳෙ ඔබෙ කූඩාරමේ - සැරිසරන්නෝ කවුරු දෝ
ඔබේ පිවිතුරු කඳුකරේ - පා තබන්නෝ කවුරුදෝ

1. හිතේ කිළිටක් නැති ව හැසිරෙන්නෝ
    යුක්ති සහගත දෙයට හිත දෙන්නෝ
    නොවක් හිතකින් ඇත්ත පවසන්නෝ
    අනුන් අවමන් දිවෙන් නොකියන්නෝ

2. සොහොයුරන් හට නපුර නොපතන්නෝ
    අනුන් හොඳ නම කිළිටි නොකරන්නෝ
    සියලූ දුසිරිත් කෙරෙන් දුරු වන්නෝ
    සුසිරිතට නිරතුරු ව හිත දෙන්නෝ

3. මුදල් දී ගිනි පොළී නොකරන්නෝ
   අල්ලසක් ගෙන අනුන් නොපෙළන්නෝ
   අහිංසකයන් පෙළා නොතළන්නෝ
   නිදොස් අය පිටැ වරද නොතබන්නෝ

4. කුරිරුවන් අත දුරින් දුරලන්නෝ
    සමිඳු ජන බුහුමනින් සලකන්නෝ
    සමිඳු බාරය පැහැර නොහරින්නෝ
    මෙබඳු අයම' යි වාසනා ලද්දෝ

(කිතුනු ගී 211)