8 - උත්ථානයට සාක්ෂිකරුවෝ

ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම අත්දුටු ශ්‍රාවක පිරිස හා කාන්තාවන් ඒ පිළිබඳ ව නිර්භය ව සාක්ෂි දැරූහ. ඒ පිළිබඳ ව දේව වචනයේ මෙසේ සඳහන් වේ.

මග්දලායේ මරියා, ජෝවන්නා ජාකොබ්ගේ මව වූ මරියා යන ස්ත්‍රීන් ඇසූ සුබ ආරංචිය ජේසුස් වහන්සේගේ ශ්‍රාවක පිරිසට පැවසූ කල ඔවුන්ට එය අදහා ගත නොහැකි විය. ජේසුස් වහන්සේගේ ප්‍රධානතම ශ්‍රාවකයා වූ පේදුරුතුමා
සොහොන් ගෙය ලඟට දිවගොස් නැමී බලා හණ රෙදි පමණක් තිබෙනු දැක සිදු වූ කාරණා ගැන පුදුමයට පත් විය. හිස් වූ සොහොන් ගෙය දැකීමෙන් පේදුරු තුමාගේ විශ්වාසය ගොඩනැගුණි.

කාන්තාවන්ට, පේදුරුතුමාට මෙන් ම එම්මාවුස් ගමට ගිය ගෝලයන්ට ද උන්වහන්සේ දර්ශනය වූ සේක.

එම්මාවුස් ගමන

 

මෙහි දී එම්මාවුස් ගමට ගිය ක්ලෙයෝපස් හා තවත් ශ්‍රාවකයකු සමග ජේසුස් වහන්සේ වැඩිය නමුත් ඔවුහු උන්වහන්සේ හඳුනා නොගත්හ. වියවුල් ව සිටි ශ්‍රාවකයන්ට තමන් වහන්සේ පිළිබඳ සඳහන් ශුද්ධ ලියවිලි මෙම ගමනේ දී උන්වහන්සේ පැහැදිලි කළ සේක. මෝසෙස් තුමාගේ කාලයේ පටන් සියළු අනාගත වාක්‍ය උන්වහන්සේ තෝරා දුන් සේක . එම ඉගැන්වීම් ඇසීමෙන් ඔවුන්ගේ සිත් දැවී ගිය නමුත් උත්ථාන වූ ජේසුස් වහන්සේ බව ඔවුන් හඳුනා ගත්තේ නැත. නමුත් ජේසුස් වහන්සේ ඔවුන් සමග කෑමට හිඳ රොටී රැගෙන ආශිර්වාද කොට කඩා දුන් සේක. ඒ අවස්ථාවේ දී ඔවුන්ගේ සිත් පැහැදී අඳුරු සේයාව පහ වී ජේසුස් වහන්සේ හඳුනා ගත්තෝ ය. ජේසුස් වහන්සේ "අවසාන රාත්‍රී භෝජනය" අවස්ථාවේ දී රොටී සහ මිදියුෂ ඔවුන් අතර බෙදා දුන් පිළිවෙළ හා එදින පැවසූ දේ මතකයට නැගෙන්නට ඇත.

ශ්‍රාවකයන් දෙදෙනා එම පැයේදී ම ජෙරුසලමට හැරී ආවේ ස්වාමින් වහන්සේ සැබවින් ම උත්ථානය වූ බවට ප්‍රබල සාක්ෂියක් ඇතිව ය.

තව ද ශ්‍රාවක පිරිස කතා කරමින් සිටිය දී ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් එකොළොස් දෙනා මැදට පැමිණ "නුඹලාට සමාදානය වේවා"යි වදාළ සේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වූ මොහොතේ ශ්‍රාවකයන් එක් එක්කෙනාගේ සිත් නොසන්සුන් විය. මන්ද සමහර ශ්‍රාවකයන් උන්වහන්සේගේ උත්ථානය පිළිබඳ විශ්වාස කිරීමට ලකුණු සෙවූ අවස්ථා ද තිබූ බැවිනි. නමුත් ජේසුස් වහන්සේ ඔවුන් ඉදිරියේ තම අත් පා පෙන්වමින් ඒ නිසැක ව ම තමන්වහන්සේ බව ප්‍රකාශ කළ සේක.

ඔබටත් අවස්ථාවක් උදාවී ඇත.

එදා ජේසුස් වහන්සේ ම කැළඹී සිටි ශ්‍රාවකයන්ට ශාන්තිය ලබා දුන්නා සේ ම උන්වහන්සේ අනුගමනය කරන අපට ද සැනසුම, සහනය, සාමය ලබා දෙන සේක.

  • ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ නොදැක විශ්වාස කරන ඔබ භාග්‍යවන්ත බව ජේසුස් වහන්සේ ම වදාළ සේක. අපගේ දුර්වලකම් හා නොවටිනාකම් ඉවසා උන්වහන්සේගේ සමීපත්වය අපට අත් දකින්නට සලස්වන සේක.
  • ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය තුළින් අපට හිමිවන සදාකාල ජීවනයට උරුමය හිමි කර දෙන සේක.
  • භාග්‍යවන්ත අප උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂි දැරීමට පළමුව අප තුළ ඇදහිල්ල වර්ධනය කර ගනිමු. තම ජීවිතයේ සියළු ගැටළු ඉදිරියේ ලකුණු හා හාස්කම් නොසොයා ජේසුස් වහන්සේ කෙරෙහි පමණක් ඇදහිල්ල වර්ධනය කර ගනිමු.
  • ජීවිතයේ සැම තීරණයක දී ම දේව කැමැත්ත කුමක් දැ යි විමසා බලමු. උන්වහන්සේගේ ඉගැන්වීම් මතකයට නංවමින් ඒ අනුව ක්‍රියාකාරී වෙමු.
  • එසේ ක්‍රියා කිරීමට යාමේ දී අපට මුහුණ පෑමට සිදු වන දුෂ්කරතා ඉවසා දරා ගනිමින් ජේසුස් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දේ පමණක් ඉටු කරමු.
  • ජේසුස් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න ලෙස අපගේ ජීවිත හසුරුවා ගැනීමට, අපගේ හදවත් උන්වහන්සේට විවෘත කරමු.

ඇදහිල්ල වර්ධනය කර ගනිමින් සාක්ෂිකරුවන් වෙමු.