10 - ජේසුස් වහන්සේගේ බෞතිස්මය

ජොර්දාන් ගංතෙර හි සිදු වූයේ කුමක් ද?

එදින මහා ජනකායක් ජොර්දාන් ගංතෙර හි පෙළ ගැසී සිටිය හ. ජොහාන් නම් ලත් පුද්ගලයකු මේ ජනතාව අතර සුවිශේෂ කාර්යයක යෙදී සිටියේ ය. මොහු එළිසබෙත් හා පූජක සෙකරියස්ගේ පුත්‍රයා ය. ජොහාන් මෙහි දී දෙවියන් වහන්සේ ඔහුට භාර දුන් කාර්යය සිදු කරමින් සිටියේ ය.

ඔහුගේ කාර්යය වූයේ ජේසුස් වහන්සේ පිළිගෙන, අදහා ගැනීමට ජනතාවගේ හදවත් සූදානම් කීරීම ය. ඒ සඳහා ජොහාන්තුමා ජනතාවගේ අයහපත් ගති පැවතුම් පෙන්වා දෙමින් ඒවා වෙනස් කරගෙන, නව ජීවිත පැවැත්මකට ඇතුලූ වීමට ඉතා ප්‍රබල ලෙස අනුශාසනා කළේ ය.

එයට කීකරු වූ ජනතාව නව උපතක ජිවිතය, සංකේතවත් කරමින් ජොර්දාන් ගංගාවෙහි ගිල්වීමෙන් බෞතිස්මය ලැබූහ. ජොහාන් තුමා අතින් සිදු වූ මෙම පිළිවෙත බෞතීස්මය ස්නාපනය ලෙස හැඳින්වෙයි. තමා කළ සේවය අනුව එතුමාට "ස්නාවක ජොහාන්" යන නාමය ව්‍යවහාර විය. ජොහාන් තුමා දුන් මෙම බෞතීස්මයෙන් අවධාරණය වනුයේ පසුතැවිල්ලෙන් නව ජිවිතයකට පා තැබීම යි.

ජුදෙව් සමාජයේ සමහර ජනකොටස් තුළ යහපත් දිවි පැවැත්ම තුරන් වී තිබුණු වකවානුවක, ජොහාන්තුමා මොර ගසමින් දුන් ආරාධනයට යහපත් ප්‍රතිචාර ලැබුණි.

මෙම ජොර්දාන් ගංතෙර කරා පැමි‚ ජේසුස් වහන්සේ ද එකතු වූයේ පසුතැවී බෞතීස්මය ලබමින් සිටි ජන කොටසකට ය. මෙමගින් ජේසුස් වහන්සේ ස්නාවක ජොහාන්තුමා තමාගේ සේවය වෙනුවෙන් ගත් පියවර අගය කළ සේක.

ජේසුස් වහන්සේ ස්නාවක ජොහාන් තුමා අතින් බෞතීස්මය ලබා තමාගේ මිහිපිට සේවයෙහි මුල් ම පියවරට පා තැබූ සේක. උන්වහන්සේට පසුතැවිලි වීමක් හෝ පවිත්‍ර වීමක් අවශ්‍ය නොවූවද ජනතාවගේ ජීවිත තුළ නවතාවයක් අත්දැකීමට ඔවුන් තුළ මනස්ථාපනය වීමක් ඇති විය යුතු බව අනුමත කළ සේක.

ජේසුස් වහන්සේගේ බෞතීස්මයේ දී සිදු වූ දේ ශුද්ධ බයිබලයෙන්

"ජොහාන් විසින් බෞතීස්ම ස්නාපනය කරනු ලැබූ සේක.
උන්වහන්සේ දියෙන් ගොඩ නැගෙත් ම, ස්වර්ගය විවර වී
ආත්මයාණන් වහන්සේ පරවියකු මෙන් තමන් පිට බැස
එනු දුටු සේක. තව ද ස්වර්ගයෙන් නික්මුණු හඬක්
"ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය. ඔබ කෙරෙහි ඉතා
ප්‍රසන්නව සිටිමි" පැවසී ය."
ශු. මාර්ක් 1 : 10-11

ජේසුස් වහන්සේගේ මිහිපිට සේවය ආරම්භ කිරීමට පෙර, සිදු වූ මෙම සිදුවීම මගින් අවධාරණය කරණු ලැබුවේ,

  • උන්වහන්සේ, ප්‍රේමණීය දේව පුත්‍රයා බවත්
  • උන්වහන්සේ ගත් ක්‍රියා මාර්ගයට පියාණන් වහන්සේ ප්‍රසන්න වූ බවත්
  • ශුද්ධාත්මයාණන් වහන්සේ එම අවස්ථාවේ වැඩ සිටි බවත් ය.

ජේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ ව මිහිපිට තමාගේ සේවය, පියාණන් වහන්සේගේ කැමැත්තට යටත් ව පුත්‍රයාණන් ලෙස සම්පූර්ණ කළ සේක. මෙසේ ජේසුස් වහන්සේගේ බෞතීස්මය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩ සිටි අයුරු පැහැදිලි වේ.