11 - දෙව් වදනින් ජය

දිනක් පාසල අවසන් වී අනිල් හා සුනිල් සිය නිවෙස් කරා ගමන් කරමින් සිටියහ.

අනිල් - බලන්නකෝ අර අඹ ගහ දිහා, පැහිලා ඉඳුණු අඹ පිරිලා. ඒවා හරිම රසයි. මදය මී පැණි වගේ. වෙළෙඳුන් එක ගෙඩියක් රුපියල් දහයකට විකුණන්නේ.

සුසිල් - හරිම ලස්සනයි බලන්න, රස කොහොම ඇත් ද? දිවට රසත් දැනෙනවා. අපි පොල්ලක් අරන් පහරක් දෙමු අර පොකුරට. ඒවා වැටෙන්නේ පාරට, අහුලාගෙන මැරතන් එකක් දුවමු.

අනිල් - හරි, හරි, මම උදව් දෙන්නම් අහුලාගෙන, දුවන්න. මේ ගස පසු කර නිකම්ම යන්න බැහැ.

සුසිල් - (පොල්ලක් ගෙන වෙර දමා අඹ පොකුරට ඉලක්කය ගෙන ගහන්න යද්දී ම....) බැහැ, බැහැ, බැහැ. මා කරන දේ වැරදියි. මට මතක් වෙනවා

අනිල් - මොකද ඔයා හිත හිතා උඩ බලාගෙන ඉන්නේ. දෙන්නකෝ හොඳ පොලූ පහරක්. මේ අත්තේ එල්ලෙන පොකුරට,

සුසිල් - බැහැ අනිල්, මගේ හිතට එකඟ ව එය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ගුරුතුමී කියූ දේව වචනය මගේ කණට රැව්පිළිරැව් දෙනවා. මට ඒ වචන සිහි වුණා. ඔයා ඊයේ ඉරිදා පාසලට ආවේ නැහැනේ.

අනිල් - ඔව් ඊයේ මා සිටියේ අසනීපයෙන්. අනේ මටත් කියන්නකෝ ඒ පාඩමේ විස්තර. අපි යමු අපේ ගෙදර. කෑම කාලා මට කියා දෙන්න ඒ පාඩම ගැන. ඊට පස්සේ මාත් එන්නම් ඔයාගේ ගෙදර ගිහින් ටිකක් සෙල්ලම් කරන්න.

සුසිල් - කදිම අදහස. මා අපේ අම්මට කියන්නම් (කෑමෙන් පසු දෙදෙනාම මිදුලේ වාඩි වී ශුද්ධ බයිබලය ගෙන කියවා බැලීමට සදානම් වේ.)

ගුරුතුමිය කීවා. ශු. ලූක් ශුභාරංචියේ හතර වන පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ බෞතීස්මය ලැබූ පසු මුහුණ දුන් සිද්ධියක් ගැන. අපි බලමු උන්වහන්සේ ගියේ කොහාට ද ගියේ කුමකට ද කියා. ආ..... මේ තියෙන්නේ ගුරුතුමිය අපට කියා දුන් සිද්ධිය.

අනිල් - මෙන්න එහි අදහස කෙටියෙන්, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව පාළුකරයට ගෙන යනු ලැබී ය. දින හතලිහක් මුළුල්ලේ උන්වහන්සේ උපවාසයෙන් කාලය ගත කළ සේක. එසේ කළේ සේවය ආරම්භයට පෙර භාවනාවෙන් හා යාච්ඤාවෙන් දේව මග පෙන්වීම සෙවීමට ය. තවද උන්වහන්සේට බඩගිනි ඇති වූ බවත් පරික්ෂා තුනකට මුහුණ දුන් බවත් ලියැවී ඇත.

සුසිල් - දැන් අපි කියවමු පළමු වන පරික්ෂාව හා ජේසුස් වහන්සේ දුන් පිළිතුර

යක්ෂයා - 

ඔබ දේව පුත්‍රයා නම්
මේ ගල් ගෙඩිය
පාන් ගෙඩියක් වන්නට
අණ කළ මැනව.
ශු. ලූක් 4 : 3

ජේසුස් වහන්සේගේ පිළිතුර -

මිනිසා
කෑමෙන් පමණක්
ජිවත් නොවේ යයි
ලියා තිබේ.
ශු. ලූක් 4 : 4

උන්වහන්සේ ශුද්ධ ලියවිලි මනාව දැන සිටි නිසා ඒ මොහොතේ දී යක්ෂයාගේ යෝජනාවට සාර්ථක පිළිතුරක් ලබා දීමට හැකි විය.

ද්වීතීය නිති සංග්‍රහයේ 8 : 3 බලන්න.

අනිල් - ජේසුස් වහන්සේ, දේව පුත්‍රයා නිසා එක වචනයකින් ගල් රොටි කරන්නට හැකියාව තිබුණි. නමුත් තම මෙහෙවර මිනිසාගේ ලෞකික අවශ්‍යතා සපුරාලීමට වඩා වෙනස් මගක් ගන්නා බවට උන්වහන්සේ තම පිළිතුරෙන් අවධාරණය කළ සේක.

සුසිල් - දේව වචනයෙන් ම පිළිතුරු දෙන්න ශුද්ධාත්මයාණන් වහන්සේ තමයි ඒ වේලාවේ ජේසුස් වහන්සේට මග පෙන්වූයේ. අපි දැන් බලමු ඊළඟ පරීක්ෂාව.

යක්ෂයා - 

ලෝකයේ සියලූ
රට රාජ්‍යයන් පෙන්වා
ඒවායේ ආධිපත්‍යය ද
යස ඉසුරු ද ඔබට දෙන්නෙමි.
ඒවා මට පවරා දී ඇති හෙයින්
කැමති කෙනකුට ඒවා දෙමි.
එබැවින් ඔබ මා ඉදිරියෙහි
නමස්කාර කරන්නේ නම්
මේ සියල්ල
ඔබ සන්තක වන්නේ ය.
ශු. ලූක් 4 : 5-7

ජේසුස් වහන්සේගේ පිළිතුර -

නුඹේ දෙවි වන
ස්වාමින් වහන්සේට
පමණක් සේවය
කරන්නැයි කියා
ලියා තිබේ.
ශු. ලූක් 4 : 8

අනිල් - යක්ෂයා ජේසුස් වහන්සේට ගෙනාවේ අයහපත් යෝජනාවක් නේ. අපි නමදින්නේ එකම දෙවියන් වහන්සේ, අපගේ සියල්ලේ දී පළමු තැන දෙන්නේ උන්වහන්සේට පමණක් නේ.

සුසිල් - නමුත්, ජේසුස් වහන්සේගේ මෙහෙවර යොමු වී තිබුණේ ජනතාව දෙවියන් වහන්සේ වෙතට ළඟා කීරිම යි. නමුත් පරීක්ෂාවෙහි අරමුණ වූයේ භෞතික දේවලට ගැති වීමට නමස්කාර කිරීමට සැලැස්වීම යි. මේවාට උන්වහන්සේ පිළිතුරු දුන්නේ ශුද්ධ ලියවිලි තුලින් ම යි.

ද්වීතීය නිති සංග්‍රහයේ 6: 13 දෙස බලන්න.

අනිල් - මෙවරත් යක්ෂයා ජය ගත්තේ නැහැ නේද?

සුසිල් - ජේසුස් වහන්සේ තවත් පරීක්ෂාවකට මුහුණ දුන්නා. අනිල් ඔයා කියවන්න. ශු.ලූක් 2 : 9 - 12

අනිල් - උන්වහන්සේ දේව මාළිගාවේ කොත මුදුනෙහි සිටුවා

"ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට
පනින්න. ඔබට රැකවරණය සළසනු වස් උන්වහන්සේ සිය
දූතයන් හට අණ දෙනු ඇත .යම් හෙයකින් ඔබේ පය ගලක
නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇත
කියා ද ලියා තිබේ".

සුසිල් - බලන්න, ඒ පරීක්ෂාව හරියට ජේසුස් වහන්සේ වීරයෙක් කරන යෝජනාවක් නේද?

සුසිල් - ඔව්, ඒ ප්‍රබල පරීක්ෂාවක්. නමුත් එයත් ජේසුස් වහන්සේ පරාජය කළා. උන්වහන්සේ පැවසුවේ,

නුඹේ දෙවි වන ස්වාමීන් වහන්සේ
පරීක්ෂා නොකරන්න කියා ලියා
තිබේ යනුවෙනි .
ශු. ලූක් 4 : 12

උන්වහන්සේ මේ වචන පැවසුවේ ද ශුද්ධ ලියවිලි
තුළින්ම යි. බලන්න ද්වීතීය නීති සංග්‍රහයේ 6: 16 පදය

සුසිල් - ජේසුස් වහන්සේ පරීක්ෂා ඉදිරියෙහි ක්‍රියා කළ ආකාරය දරුවන් වන අපට ආදර්ශයක් නේද?

අනිල් - මට දැන් තමයි තේරුණේ ඔයා අඹ පොකුර දිහා බලාගෙන අඹ නොකැඩුවේ ඇයි ද කියා, ගුරුතුමී ඉගැන්වූ පාඩමේ දෙව් වදන් ඔයාට මතක් වුණා. ජේසුස් වහන්සේ පරීක්ෂා ජය ගන්නට යොදා ගනු ලැබුයේ උන්වහන්සේ දැන සිටි දේව වචනයම බව අප දුටුවා. සුසිල් ඔයාට මම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් දේවල් මට කියා දුන්නට. දැන් මා දන්නවා පරීක්ෂා ජය ගන්නට, හරි දේ තෝරා ගන්නට, ශුද්ධාත්මයාණන් වහන්සේ දේව වචනය තුළින් මග පෙන්වීම අපට ලබා දෙන බව.