1 - මනහර දේව මැවිල්ල

අලූත් වසරේ පළමුවන පාඩම අපි ගීතිකාවකින් ආරම්භ කරමු.

ඉර සඳ හා තරුවැල් මවලා
ගහකොළ හා සියොතුන් මවලා
ඇල දොළ ගංගා-සුදු පෙණ නංගා
ලස්සන මේ ලෝකය නිමවා

බෝවිටියා දං හිඹුටු මසං
අඹ දඹ නාරං රඹුටන්
පලතුරු මවලා - එහි පැණි පුරවා
ලස්සන මේ ලෝකය නිමවා

බටිති මලිති හා පොල්කිච්චන්
ගිරා කොබෙයියන් කෑදැත්තන්
කුරුළු විමානය ලොව උදානය
ලස්සන මේ ලෝකය නිමවා

පාට පාට රන් සමනලයින්
රෑන රෑන ගුමු මී මැස්සන්
මල්රොන් අරගෙන මී වද පුරවන
ලස්සන මේ ලෝකය නිමවා

රෝස පිච්ච අරලිය සපුමල්
දෑස පිනන නිල් කටරොළු මල්
නිල් මහනෙල් මල් සමන් නෙළුම් මල්
මේ සැම මැවු දෙවි පිය වඳිමු

ගුරුතුමිය: ගායනය ඉතා මනහරයි. සැම දෙනාට ම අසිරිමත් නව වසරක් වේවා! මේ නව වසරේ අලූත් පන්තියක අලූත් පොත් ලබා ගෙන ඔබ සැම දෙනා අසුන් ගෙන ඉන්නේ පාඩම පටන් ගන්න තෙක් නේද? අප ගායනා කළ ගීතිකාවේ සඳහන් වන්නේ කුමක් ගැන ද? මේ අප ජීවත් වන ලස්සන ලෝකය මැවීම ගැන නේද?

දැන් අපි මිදුලට යමු, අවට තිබෙන ඒ ලස්සන දේවල් බලන්න. අපි කණ්ඩායම් තුනකට බෙදෙමු. කණ්ඩායම් මෙසේ නම් කරමු.

  1. දර්ශිකා (දකින දේ ගැන)
  2. සවන් (ඇසෙන දේ ගැන)
  3. දනිත් (දැනෙන දේ ගැන)

පරිසරය දෙස පරීක්ෂාකාරී ව හොඳින් බලන්න. ඔබ නිරීක්ෂණය කරණ ලද දේ පත්‍රිකාවේ සටහන් කර ගෙන, ආපසු පන්තියට එන්න. සැම දරුවෙක් ම මේ ක්‍රියාකාරකමට සම්බන්ධ වෙන්න.(පරිසර නිරීක්ෂණය නිමවා පන්ති කාමරයට පැමිණි සිසු කණ්ඩායම් තම නිරීක්ෂණ මෙලෙස ඉදිරිපත් කරති.)

ගුරුතුමිය - පළමුවෙන් අපි අසමු "දර්ශිකා" කණ්ඩායමේ නිරීක්ෂණ ගැන.

දර්ශිකා - අප දුටුවා ගස්, මල්, බලූපැටියෙක්, කුරුල්ලෝ, දිමියෝ, කුහුඹි රංචු, අහසේ වළාකුළු, හිරු එළිය.

ගුරුතුමිය - දිග ලැයිස්තුවක්, බොහොම හොඳයි. දැන් "සවන්" ගේ කණ්ඩායම තම නිරීක්ෂණ ඉදිරිපත් කරන්න.

සවන් - පූස් පැටියෙක් ඤාව් ඤාව් ගානවා ඇසුණා. කුරුල්ලෝ අඹ ගස උඩ කිචි බිචි ගානවා. ගස් කොළන් සෙළවෙන හඬ, ක්‍රීඩා කරන ළමුන්ගේ හඬ, පාසලේ සීනු නාදය.

ගුරුතුමිය - හොඳට ඇහුම් කන් දී තියෙනවානේ. හරිම හොඳයි. දැන් "දනිත්" ගේ කණ්ඩායමේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න.

දනිත් - මල්වලසුවඳ දැනුනා. අව්වේ රස්නය උණුසුම දැනුණා. සුළං හමනවිට මඳ සිසිලක් දැනුණා. කණ්ඩායම එහේ මෙහේ ඇවිදින විට හරිම සතුටක් දැනුණා. එක් කෙනෙකුට බඩගිනි දැනුණා ලූ. ආ! මගේ ඇඟට වැහි පොදක් වැටෙනවා දැනුණා.

ගුරුතුමිය - හරිම දක්ෂ යි. හොඳින් කල්පනා කරන, නිවැරදි ව දකින හොඳින් සවන් දෙන දරුවන් පිරිසක් මේ වසරේ මගේ පන්තියේ සිටීම ගැන මට සතුටු යි. දැන් අප සැම දෙනාට ම අප අවට ලෝකය ගැන මනා දැනුමක් ලැබුණා නේද? අප අවට තිබෙන මැවිල්ල කොතරම් මනහර ද? මේ පුදුමාකාර මැවිල්ල අපට මවා දුන්නේ කවුද කියා බලන්නට, අපි ශුද්ධ වූ බයිබලය පෙරලා බලමු. එහි පළමු පොතේ නම බලමු.

සවන් - උත්පත්ති පොත.

ගුරුතුමිය - හරි දරුවනේ "උත්පත්ති" කියා කියන්නේ ආරම්භය නේද? දැන් අප ශුද්ධ බයිබලයේ සත්‍ය වූ දේව වචනය කියවන්නයි යන්නේ. එක එක දරුවා බයිබල් කොටස පිළිවෙළට පැහැදිලි ව කියවන්න ඕනෑ.

දයාන් - ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. උත්පත්ති 1:1

ගුරුතුමිය - බලන්න, ශුද්ධ බයිබලය ආරම්භ කරන්නේ මැවිල්ල හා මැවුම්කාර දෙවියන් වහන්සේ පිළිබඳ ව සත්‍ය ප්‍රකාශයකින් නේද ? මැවිල්ලේ නිර්මාතෘ වන අපගේ එකම දෙවිඳාණෝ, පිළිවෙළකට පියවරින් පියවර සම්පුර්ණ කළා වූ මනහර මැවිල්ල ගැන අපි තවදුරටත් කියවා බලමු.

මිහිරි - "දෙවියන් වහන්සේ ආලෝකය වේවා" යි වදාළ සේක. ආලෝකය මනහර බව උන්වහන්සේ දූටු සේක. අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර, ආලෝකයට දවාල කියා ද, අන්ධකාරයට රාත්‍රිය කියා ද නම් තැබූ සේක. උත්පත්ති 1:3

ගුරුතුමිය - ඔව්, එය මැවිල්ලට අදාළ පළමු වන දවස යි. දෙවියන් වහන්සේ මැවිල්ල, පිළිවෙළකට පියවරින් පියවර වෙන් වෙන් ව නිර්මාණය කිරීමට පටන් ගත් සේක.

භාග්‍යා - මෙසේ දෙවියන් වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස‍ෙකුසට අහස කියා නම් තැබූ සේක. එය දෙවන දවස විය. උත්පත්ති 1:6-8

මා අහස දිහා හැමදාම බලාගෙන ඉන්නවා. මට දැන් තමයි තේරුණේ දෙවියන් වහන්සේ අහස මවා තිබෙන බව.

ගුරුතුමිය - ඒක තමයි භාග්‍යා. දෙවියන් වහන්සේගේ මැවීමේ කාර්යය අප නොදන්න බොහෝ දේවල් අපට අවබෝධ කර දෙනවා නේද? ඊළඟ පියවර කියවා බලමු.

අයෝමි: "ඉන්පසු දෙවියන් වහන්සේ ගොඩබිම මතුවන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේවා"යි වදාළ සේක. එසේම විය. ගොඩබිමට 'පොළොව' කියා ද ජලයට 'සාගරය' කියා ද නම් තැබූ සේක.
දෙවියන් වහන්සේ බීජ උපදවන ඇට සහිත ඵල දරන සියලූ වර්ගවල ගස් කොළන් භුමියේ හට ගැනේවා යි වදාළ සේක. මෙසේ බීජ උපදවන ඇට සහිත ඵල දරන සියලූ වර්ගවල ගස් කොළන් නිපදවිය. එය මනහර බව දූටු සේක. එය තුන් වන දවස යි. උත්පත්ති 1:9 - 13

ගුරුතුමිය - අප දැන් දෙවියන් වහන්සේගේ මැවීමේ උතුම් ක්‍රියාවලියේ සතර වැනි දවසටත් පියමං කර ගෙන ඇවිත් නේද?

දිමුත් - මා හරිම ආසයි ආකාශ වස්තු ගැන දැනගන්න. මා ඒ ගැන කියවන්නම්.

ගුරුතුමිය - හොඳයි දිමුත් කියවන්න.

දිමුත් - දෙවියන් වහන්සේ දවාල පාලනය කිරීම සඳහා සූර්යයා වන ලොකු ආලෝකය ද රාත්‍රිය පාලනය කිරීම සඳහා චන්ද්‍රයා වන කුඩා ආලෝකය ද සැදූ සේක. තාරකා ද සැදූ සේක. ඒ සතර වැනි දවස ය. උත්පත්ති 1:16

ගුරුතුමිය - මීළඟට දෙවියන් වහන්සේ මවන්නේ ජීවමාන සතුන්. පස්වන දවසේ මැවූ දේ කියවන්න.

සමන් - දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක."ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා. පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත්වා." මෙලෙස දැවැන්ත තල් මසුන් ද ඔබමොබ පීනන ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂින් ද මැවූ සේක. උත්පත්ති 1:20-23

දයාන් - කෝ තාම සිවුපාවුන්, බඩගා යන සතුන් මවලා නැහැනේ.

ගුරුතුමිය - මොහොතක් ඉවසන්න දයාන්, ඒවා මවන්නේ හය වන දවසේ දී. දයාන් ම කියවන්න. මේ දවස විශේෂ යි.

දයාන් - දෙවියන් වහන්සේ විවිධ ගව මහීෂයන් ද උරගයින්, වන මුර්ගයන්, පොළොවෙන් ම නිපද වූ සේක. ඒවා මනහර බව උන්වහන්සේ දූටු සේක. උත්පත්ති 1:24-25

දිමුත් - පාසලෙන් සත්තු වත්තට චාරිකාවක් ගිය දවසේ නම් මේ ඔක්කෝම සතුන් කූඩුවල, ගුහාවල අප දුටුවා. නමුත් දැන් තමයි දන්නේ සතුන්ගේ මැවීම ගැන ශුද්ධ බයිබලයේ සඳහන්ව තිබෙන බව. දෙවියන් වහන්සේගේ මැවිල්ල මා පුදුමයෙන් පුදුමයට පත් කළානේ.

ගුරුතුමිය - හය වන දවසේ දී තමයි මිනිසා මවනු ලැබුවේ. දැන් භාග්‍යා කියවන්න බලන්න. උත්පත්ති 1:27 හා 1:31

භාග්‍යා - දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක. දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක. පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. උත්පත්ති 1:27

දෙවියන් වහන්සේ තමා මවා වදාළ සියලූ දේ නරඹා ඉතා මනහර බව දූටු සේක. උත්පත්ති 1:31

ගුරුතුමිය - දෙවියන් වහන්සේ ලොව මැවීමේ ක්‍රියාවලිය අවසානයේ දී පුරුෂයා හා ස්ත්‍රිය මවා මුළු මැවිල්ල සම්පූර්ණ කර නිමාවට පත් කළ සේක. මෙලෙස දේව ස්වරූපය දරන, දේව දරුවන්, මැවිල්ලට එකතු කර, මැවිල්ලේ මුළු පාලනය මැවුම්කරුවාණන් විසින් ම ඔවුන්ට විශ්වාසයෙන් භාර දුන් සේක. දේව ස්වරූපය දරන අපට උන්වන්සේට කථා කරන්නට, ඇහුම් කන් දෙන්නට, උන්වහන්සේගේ අණට ප්‍රතිචාර දක්වන්නට හැකියාව ද ලබා දුන් සේක. අනතුරුව උන්වහන්සේ සත්වන දවසට ආසිරි පතා එය ශුද්ධ දිනයක් ලෙස නම් කර විශේෂත්වයක් ලබා දුන් සේක. දේව දරුවන් ලෙස අප මෙම දවස තුළ මැවුම්කාර දෙවිඳුන්ට ගෞරවය පුදමින්, ස්තුති පූර්වක ව ප්‍රශංසාවෙන් දේව නමස්කාරයට සහභාගි වීම උන්වහන්සේ අපගෙන් බලාපෙරොත්තු වන සේක. දැන් අපි හිස් නමා මැවුම්කාර දෙවියන් වහන්සේටමුළු මැවිල්ල ගැන යාච්ඥාවකින් තුති පුදමු.

කටපාඩම් කරමු.
උත්පත්ති 1:1-2