11 - අභියෝග ජයගත් තරුණයෝ

පෙර දවසක මගධ රට රජගහ නුවර මගධ නමින් රජ කෙනෙක් විය. මෙම රජතුමාගේ පාලන කාලයේ බෝසතාණන් වහන්සේ එරට මචල ගමේ ඉතා ම කුලවත්, ධනවත් පවුලක කුමාරයෙක් ව උපන්හ. මේ පින්වත් කුමාරයාට මඝ
යන නාමය තබන ලදි. කුමාරයා තරුණ වයසට එළඹෙත් ම මඝ මානවක යයි ප්‍රසිද්ධ විය.

උගත මනා ශිල්ප මැනැවින් උගත් මඝ දෙමාපියන්ගේ ආශීර්වාද මත විවාහ දිවියට ඇතුළත් විය. හෙතෙම දැහැමි දිවි පෙවෙතක් ගත කළේ ය. නිරන්තරයෙන් පන්සිල් රැක්මෙහි නිරත විය. මඝ වාසය කළ නුවර පවුල් තිහක් පමණ වාසය කළෝ ය. දානපතියෙකු වූ මඝ තරුණයා විසින් එක් දවසක ගම මැද එක්තරා ස්ථානයක් පිරිසිදු කොට නවීකරණය කරන ලදි. එහෙත් වෙනත් අයෙක් එම ස්ථානය අත්පත් කර ගත්තේ ය. කිසි ම කලබලයක් නොකළ මඝ
මානවක එම ස්ථානය ඔහුට ම පවරා වෙනත් තැනක් පෙර පරිදි ම සකස් කළේ ය. එහෙත් තවත් අයෙක් එම ස්ථානය පැහැර ගත්තේ ය. එම ස්ථානය ද හැර දමා තවත් තැනක් සකස් කරන්නට මඝ මානවක කටයුතු කළේ ය. එය ද තවකෙක් උදුරා ගත්තේ ය.

මේ අයුරින් කීප වතාවක් ම තමා සකස් කළ ස්ථාන අනුන්ට හිමි කළ හෙතෙම සිය උත්සාහය අත් නොහැරියේ ය. ඔවුන් සමග කලහයට නොගියේ ය. ඔවුන්ට මෛත්‍රිය ම වැඩී ය. ගම මැද මණ්ඩපයක් ඉදි කළ මඝ එහි සැප පහසු අයුරින් ආසන සකස් කොට පැන් පහසුව ද ඇති කළේ ය. මේ නිර්මාණයත් සමග ම මෙම ගම් වැසි තිස් දෙනෙකුගෙන් යුතු පිරිසක් මඝ සමග එක් ව කටයුතු කරන්නට විය.

මඝ මානවක මෙම පිරිස පන්සිල්හි පිහිටුවා ඔවුන් සමග සමාජ සේවා පුළුල් ව සිදු කළේ ය. මහා මාර්ග ප්‍රතිසංස්කරණය, වැව් පොකුණු ඉදි කිරීම, අම්බලම් ඉදි කිරීම ආදී සේවාවන්හි ඔවුහු නියැලූණෝ ය; සෑම විට ම ධාර්මික ව කටයුතු කළෝ ය. එසේ ඔවුන් ධාර්මික ව කටයුතු කරන විට එම ගමේ ජනතාව ද ධාර්මික ව කටයුතු කිරීමට පටන් ගත්හ. මචල ග්‍රාමය සැමට ම ආදර්ශවත් ගමක් විය.

ගම සදාචාර සම්පන්න වීම එහි පාලකයා නුරුස්සන කරුණක් විය. වැරැදිකරුවන් නොවීමත්, දඩ මුදල් අය කර ගැනීමට නොහැකි වීමත් මේ නුරුස්සන බවට හේතුව විය. හෙතෙම රජු හමු වී, ගමේ මං පහරන්නන් පිරිසක් ඇති බවත්, ඔවුන්ගෙන් ජනතාවට කරදර සිදු වන බවත් පැමිණිලි කර සිටියේ ය. රජතුමා ද කිසි ම වග විභාගයක් නොමැති ව මඝ ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන ඇතුන් ලවා පාගවා මරා දමන්නට අණ කළේ ය.

එම අවස්ථාවේ දී බියට පත් පිරිස කලබල වනු දුටු මඝ ඔවුන්ට මෙසේ අවවාද කළේ ය. ඔබ සියලූ දෙනා ම තමන් ආරක්ෂා කරන සීලය සිහි කරන්න. කේළාම් කී අය කෙරෙහිත්, නිවැරැද්දේ දඬුවම් නියම කළ රජු කෙරෙහිත්, අප වෙත එන ඇතු කෙරෙහිත්, තම තමන්ගේ ශරීරය කෙරෙහිත් එක ම අයුරින් මෛත්‍රී කරන්න. එවිට අපට අනතුරක් නොවනු ඇත. සැබෑ නායකයකු වශයෙන් මඝ තමාගේ පිරිස වෙනුවෙන් වගවීම මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. පිරිස ද සිය නායකයාගේ අවවාද පිළිගනිමින්, යහපත් අනුගාමික පිරිසක් ලෙසින් මෛත්‍රී කළහ.

වධකයෝ ද මේ තිස් දෙනා වධක භූමියට ගෙන ගොස් බැඳ දමා ඇතුන් කෝප කරවා පාගවන්නට තැත් කළහ. එහෙත් පළමු ඇතා මේ පිරිස දකිත් ම ආපසු හැරී දිව යන්නට පටන් ගත්තේ ය. දෙවනු ව තව ඇතෙකු ගෙන එන ලදි. එම ඇතු ද පිරිස දුටු පමණින් ආපසු හැරී දිව යන්නට විය. මෙය රාජ පුරුෂයන්ට මහත් ගැටලූවක් විය. මෙම පිරිස අත බලවත් වූ ඖෂධයක් ඇතැයි රජුට සැකයක් උපන්නේ ය. එබැවින් ඒ ගැන පරීක්ෂා කරන්නට රාජ පුරුෂයන්ට පවරන ලදි. පිරිස පරීක්ෂා කළ රාජපුරුෂයෝ මොවුන් අත කිසිවක් නොමැති බව රජුට දැන්වූහ. එවර රජුගේ අදහස වූයේ මොවුන් අත බලගතු මන්ත්‍රයක් තිබිය යුතු බවයි. එහි දී මඝ මානවක ප්‍රකාශ කළේ එවැනි බලගතු මහා මන්ත්‍රයක් තමන් හා අන් අය සතු ව පවතින බවයි. රාජපුරුෂයන් වෙතින් එය දැන ගත් රජතුමා එතැනට ගොස් එම මන්ත්‍රය ගැන විමසී ය.

එයට පිළිතුරු දෙන මඝ මානවක ප්‍රකාශ කළේ "රජතුමනි, අපි සතුන් නොමරම්හ. සොරකම් නොකරම්හ. කාමමිත්‍යාචාරයෙහි නොයෙදෙම්හ. බොරු නොකියම්හ. රා නොබොම්හ. මෛත්‍රී භාවනාව වඩම්හ. දන් දෙම්හ. මං මාවත් සදම්හ. පැන් පොකුණු තනම්හ. අම්බලම් ශාලා ආදිය කරම්හ. මේ යහපත් ක්‍රියා අප සතු බලවත් මන්ත්‍රය වන්නේ ය." මේ ඇසූ රජතුමා බලවත් සතුටට පත් ව කේළාම් කියූ තැනැත්තාට පරිභව කොට ඔහු සතු ධනය ද, ඔහු ද මෙම පිරිසට පවරා දුන්නේ ය. එතැන් පටන් ඔවුහු වඩවඩාත් කැපවීමෙන් කුසල ධර්මයන්හි යෙදුණෝ ය.

මඝ මානවකගේ නිවසෙහි සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා නමින් කාන්තාවෝ සතර දෙනෙක් වූහ. මෙකල මඝ ඇතුළු පිරිස නගර මධ්‍යයේ විශාල ශාලාවක් ඉදි කළහ. සුධර්මා විසින් එහි කැණිමඬල තනවා දෙන ලදි. එපමණක් නොව මණ්ඩපය සමීපයේ පැන් හල් පිහිටුවා, එය වට කොට පවුරක් ද බඳවන ලදි. පවුර සමීපයේ තල් පැළ සිටුවා අලංකාර කරන ලදි. චිත්‍රාවෝ මණ්ඩපය සමීපයේ සිත්කලූ උද්‍යානයක් ඉදි කළහ. නන්දා විසින් මනරම් පොකුණක් සාදවන ලදි. එහෙත් සුජාතාවගෙන් කිසිදු දායකත්වයක් නොලැබිණ. මඝ මානවක ද පහත සඳහන් උතුම්වත් සතක් ආරක්ෂා කරමින් කටයුතු කළේ ය.

මවුපියන් පෝෂණය කිරීම, කුල දෙටුවන් පිදීම, ඇත්ත කථා කිරීම, මෘදු මොළොක් වචන කථා කිරීම , කේළාම් නොකීම, මසුරු නොවීම, ක්‍රෝධ නොකිරීම හෙවත් මෛත්‍රී කිරීම එම වත් සත ය. මේවා ආරක්ෂා කරමින් මඝ ඇතුළු පිරිස ධාර්මික ව ජීවිත ගත කොට මරණින් පසු දෙව්ලොව උපත ලැබූහ. කිසිදු පොදු වැඩකට සහභාගි නොවූ සුජාතා ඒ අතර නොවූවා ය.

අභියෝගයන්ට මුහුණ දෙමින්, කණ්ඩායම් හැඟීමෙන් යුතු ව කටයුතු කිරීමෙන් හා සිය වගකීම් ඉටු කිරීමෙන් මඝ ඇතුළු පිරිස මෙලොව වශයෙන් ලත් ජයග්‍රහණ අප කාහටත් පූර්වාදර්ශයක් වන්නේ ය.