19 - අරපිරිමැස්ම දියුණුවට මගකි

අප ඉරුදින දහම් පාසලේ උදෑසන වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව ප්‍රධානාචාර්ය ස්වාමීන්වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වනු ලැබේ. පසුගිය ඉරුදින අනුශාසනාවේ නිමිත්ත වශයෙන් යොදාගනු ලැබුවේ දහම් පාසල් සිසුන් විසින් ජල කරාමයක් බාගෙට වසා තිබීමයි.

බෝසත් දරුවනි, අද හොඳ කථාවක් මම කියලා දෙනවා ඔය ළමයින්ට. පූජාවලිය කියන බණ පොතේ ජීවකාරාම පූජා කථාවෙහි තමයි මේක තියෙන්නේ. දුවේ, පුතේ ජීවක කියන්නේ බුද්ධ කාලයේ හිටපු දක්ෂ වෛද්‍යවරයෙක්. වෙදකම ඉගෙන ගත්තේ තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගෙන්. ඉගෙනීම අවසන් කොට තම නුවරට එන අතරමග දී සාකේත නුවර සිටුතුමාගේ දේවියගේ කාලයක පටන් පවත්නා හිසේ අමාරුවක් ගැන එතුමාට දැන ගන්න ලැබුණා. තරුණ ජීවක වෙදැදුරුතුමා මේ ආරංචිය ගැන සැලකිලිමත් වුණා. එතුමා කල්පනා කළා මේ තුළින් තමන් ඉගෙන ගත් ශාස්ත්‍රය අත්හදා බැලීමටත්, නිවසට යන විට කිසි යම් ධනයක් උපයාගෙන යෑමටත් පුළුවන් බව. ඒ නිසා සිටු දේවියට ප්‍රතීකාර කිරීමට තීරණය කරලා, එතුමා සිටු මාලිගයට ගියා.

සිටු දේවිය මේ ළාබාල වෛද්‍යවරයා ගැන මුලින් එතරම් පැහැදීමක් ඇති කර ගත්තේ නැහැ. ඊට හේතුව මීට පෙර වයසින් මුහුකුරා ගිය දක්ෂ වෛද්‍යවරුන් සිටු දේවියගේ රෝගය පරීක්ෂා කර බලා විවිධ ප්‍රතීකාර ලබා දුන්නත් සුව නොවීමයි. එනමුත් සිටු නිවසට පැමිණි මේ වෛද්‍යවරයාගේ ඉල්ලීම මත ප්‍රතීකාර කිරීමට අවසරය ලබා දුන්නා. වෛද්‍යතුමා රෝගියා පරීක්ෂා කොට සුවපත් කිරීම සඳහා ගිතෙල් ටිකක් අවශ්‍ය බව දැනුම් දුන් විට සේවිකාවක් එය ලබා දුන්නා. ජීවක වෙදැදුරුතුමා තමා සතු ව ඇති බෙහෙත් ද මෙම ගිතෙල්වලට එකතු කොට සාදා ගත් බෙහෙත සිටු දේවියට නශ්‍ය කළා. නශ්‍ය කිරීමේ දී ගිතෙල් ටිකක් බිමට වැටුණා. ඒ අවස්ථාවේ රෝගී සිටු දේවිය සේවිකාවකට කථා කර පුළුන් කෑල්ලකට එම ගිතෙල් ටික රැගෙන ආරක්ෂිත ව තබන ලෙස නියම කළා.

එය දුටු ජීවක වෛද්‍යවරයා සිටුදේවිය පිළිබඳ කලකිරීමක් ඇති කර ගත්තා. ඔහු සිතුවේ මැය දැඩි ලෝභී මසුරු තැනැත්තියකැයි කියලයි. වෛද්‍යවරයාගේ බෙහෙතින් ඇගේ හිසේ රුදාව සුව වී බොහෝ සතුට ට පත් වුණා. විශාල ධනයක් පරිත්‍යාග කර ඔහුට ස්තුති කළා. ඒ සමග ම මෙහෙම ප්‍රකාශයකුත් කළා.

"වෛද්‍යතුමනි, බිමට වැටුණු තෙල් සේවිකාවක ලවා පුළුන් කෑල්ලකට රැගෙන පරිස්සම් කරන ලෙස උපදෙස් දුන් විට මම ලෝභී අයකු ලෙස වටහා ගත්තා නේද? නැහැ, වෛද්‍යතුමනි අපි ගිහි ගෙවල්වල ඉන්න අයනෙ. සම්පත්වල ආරක්ෂාව ගැන නිතර හිතනවා. අනවශ්‍ය ලෙස සම්පත් භාවිත කිරීමටත්, ඒවා ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙලා යනවා දකින්නටත් මම කැමැති නැහැ. නශ්‍යයේ දී බිමට වැටුණු ගිතෙල් ටිකෙන් වුවත් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. එය ඇතැම් විට පහනක් දැල්වීමට භාවිත කරන්න පුළුවන්. කනේ අමාරුවක් හැදුණොත් භාවිතයට ගන්නත් පුළුවන්. දුප්පත් අසරණ අයෙකුගේ අතේ පයේ ගෑමට තෙල් බිංදුවක් ඉල්ලා සිටියොත් ලබා දෙන්නත් පුළුවන්."

යනුවෙන් සිටු දේවිය තරුණ ජීවක වෛද්‍යවරයාට සම්පත් භාවිතය පිළිබඳ ව වටිනා උපදේශයක් ලබා දුන්නා.

දරුවනේ, මේ සිද්ධියෙන් අපටත් පාඩමක් ඉගෙන ගන්න තිබෙනවා. අපේ නොසැලකිල්ල නිසා කොතරම් සම්පත් ප්‍රමාණයක් දෛනික ව අප අතින් විනාශ වෙනවා ද? අනවශ්‍ය ලෙස නිවෙස්වල, කාර්යාලවල විදුලි බල්බ මොනතරම් ප්‍රමාණයක් දැල්වෙනවා ද? විදුලි පංකා වගේ ම වායු සමනය කිරීමට ඇති යන්ත්‍ර නිකරුණේ ක්‍රියාත්මක කර තිබෙනවා ද? මේ නිසා මොන තරම් විදුලිය ප්‍රමාණයක් අපතේ යනවා ද? ඒ විතරක් නෙවෙයි, නිවසේ හෝ කාර්යාලවල භාවිතයට ගන්නා උපකරණයක් සුළුවෙන් අබලන් වුවත් අලූත්වැඩියා නොකර භාවිතයෙන් ඉවත් කර විනාශ වෙන්න හරිනවා. ඒ ගැන සොයා බැලීමක් නැහැ. අලූත්වැඩියා කොට භාවිතයට ගතහැකි හුඟක් සම්පත් මේ නිසා විනාශයට පත් වෙනවා. සමහරු පොතක පිට කවරයක් ගැලවුණ ගමන් ඒ පොත පාවිච්චියට ගන්නේ නැහැ. ඇඳුමක් ටිකක් ඉරුණොත් එය මහලා අඳින පුරුද්දක් නැහැ.

අපේ බුදුහාමුදුරුවෝ සම්පත් ආරක්ෂා කර ගැනීමට අදාළ බොහෝ උපදෙස් දීලා තියෙනවා. ඒ අතර දරුවනේ, අංගුත්තර නිකායේ කුල සූත්‍රයේ සම්පත් ආරක්ෂා කර ගැනීමට අදාළ උපදෙස් හතරක් උගන්වලා තියෙනවා.

  1. විනාශ වූ දේ වෙනුවට අලූත් දේ සපයා ගැනීම
  2. දිරා ගිය දේ සොයා බලා අලූත්වැඩියා කර ගැනීම
  3. අසීමිත ව ආහාරපාන ගැනීමෙන් වැළකීම
  4. චරිතවත් ස්ති්‍රයක හෝ පුරුෂයකු ප්‍රධානත්වයට පත් කිරීම

දුවේ පුතේ අද උදේ මේ කරුණුවලින් මුල් කරුණු දෙක පිළිබඳ ව විශේෂයෙන් හිතා බලන්න. අපේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළේ දැනට වසර 2600කට පෙරාතුවයි. නමුත් ඒවා අද සමාජයටත් එක සේ වලංගුයි නේද?
අද මම මේ කරුණු ටික කියලා දුන්නේ ඇයි ද කියලා මේ ළමයි දන්නවා ද? අද උදේ මේ අය පන්සල පිරිසිදු කිරීම හොඳින් කරලා තියෙනවා. එය පුණ්‍ය ක්‍රියාවක්. දස පුණ්‍ය ක්‍රියාවලට ගැනෙන හොඳ පිංකමක්. හැබැයි දරුවනේ,
බුද්ධ පූජාවට එන විට අත් ධෝවනය කිරීමට භාවිත කළ කරාමවලින් දෙකක් බාගෙට වහලයි ඇවිල්ලා තියෙන්නේ. මම මලූවට වඩින විට ඒවා දැකලා වහලයි මෙතැනට වැඩම කළේ. අපේ සමහර දරුවන් සම්පත් පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව නම් පේන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ? පන්සලේ, පාසලේ, නිවසේ, සම්පත් පරිහරණය කළාට ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අතු ගාන්න ගත්ත කොස්ස, ඉදල, අතුගාලා නියමිත තැන තියන්නේ නැත්තේ. ඒක ඔහේ දාලා යනවා. වතුර කරාමය ඇරලා බාගෙට වහලා යනවා. පන්තියේ ලියන්න ගෙනා රට හුණු කෑල්ල අවසානයේ පරිස්සම් ඇති තැනක තියලා යන්නේ නැහැ. ඒවා තියෙන්නේ මිදුල්වල, කාණුවල. ඇතැම් ළමයින් අඳින ඇඳුම, පළඳින සෙරෙප්පුව පවා නියමිත ස්ථානයක තබා ආරක්ෂා කරන බවක් පේන්නේ නැහැ. මේ ආකාරයට අප භාවිත කරන සම්පත් කොපමණ
ප්‍රමාණයක් තියෙනවා ද? ඒවායේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි නේද?

ඉතින් දරුවනේ අද මම කියලා දුන්න මේ කරුණුත් හොඳින් හිතට ගෙන සම්පත් අරපිරිමැස්මෙන් හා සැලකිල්ලෙන් යුතු ව භාවිතයට ගන්නා ලෙස බොහොම දයාවෙන් ඉල්ලා සිටිනවා. ඔය දරුවන්ට පුළුවන් නම් පූජාවලිය ධර්ම ග්‍රන්ථය සොයාගෙන අර මා කියාපු කතාව කියවල බලන්න. තෙරුවන් සරණයි!