3 - තිලොවට ගුරු වූ බුදු සමිඳු

සිදුහත් බෝසත් කුමරු බුද්ධත්වය ලබා ගැනීමේ දී නොයෙක් අභියෝගවලට මුහුණ දුන්නේ ය. ඒ හැම අභියෝගයක් ම ඉතා හොඳින් ජය ගන්නට එතුමාට හැකි විය.

උසස් ඉගෙනුමක් ලත් සිදුහත් කුමරුන්ට වයස අවුරුදු දහසය පිරුණි. මනා ව වැඩුණු සිරුරින් ද, නොඅඩු ව ලැබූ සිප් සතරින් ද පිරිපුන් වූ කුමරුන්හට රාජ්‍යය භාර දීමට සුද්ධෝදන රජතුමා කටයුතු කළේ ය. කුමරුගේ වාසය පිණිස එක් එක් කාලයට සරිලන පරිදි රම්‍ය, සුරම්‍ය හා සුබ යනුවෙන් මාලිගා තුනක් සාදවා දෙන ලදි. දෙව්දහ නුවර සුප්‍රබුද්ධ රජුගේ දියණිය වන යසෝදරා කුමරිය ඉතා ම රූමත්, යහපත් ගුණධර්මවලින් පිරි දියණියක් වූවා ය. බෝසත් සමයේ සිට ම සිදුහත් කුමරු හා යසෝදරා කුමරිය නොයෙක් ආත්ම භවයන්හි එක් ව ඇසුරු කිරීමෙන් හා පාරමිතා පිරීමේ දී එකිනෙකාට උපකාරී වීමෙන් ඇති වූ බැඳීම ද සිදුහත් යසෝදරා දෙපළගේ එක් වීමට උපකාරී විය. ඔවුන්ගේ සරණ මංගල්‍යය ඉතා උත්සවාකාරයෙන් සිදු විය.

සිදුහත් කුමරු යසෝදරා දේවිය සමග ආදර්ශවත් යුග දිවියක් ගත කළ අතර මාලිගයේ දැසි දස්සන්ට පවා කරුණා දයාවෙන් යුතු ව සැලකුවේ ය. උසස් අන්දමින් රජ සැප විඳිමින් අවුරුදු දහතුනක් ම සිදුහත් කුමරු රට පාලනය කිරීමට සහාය විය. රට වැසියන්ට ද ඉතා ම යහපත්, සැපවත් ජීවිත ගත කරන්නට අවස්ථාව ලැබුණි.

මාලිගයේ ඒකාකාරී ජීවිතයෙන් මිදී බැහැර ලෝකය ගැන විමසිලිමත් වන්නට සිතූ සිදුහත් රජ කුමරු දිනක් විනෝදය පිණිස උයන් ක්‍රීඩාවට යෑමට පිටත් විය. අශ්ව රථයෙන් උයනට යන ගමනේ දී පළමු ව ඔහු සැරයටියක් අතින් ගත් මහලූ මිනිසකු දුටුවේ ය. පෙර නුදුටු ඒ වැහැරී ගිය රුව දැක පුදුම වී තම රියැදුරු ඡන්න ඇමැතිගෙන් ඒ ගැන අසා තමනුත් එබඳු අවස්ථාවකට පත් වෙන බව අවබෝධ කර ගත් කුමරුවාණෝ උයන් ක්‍රීඩාවට නොගොස් ආපසු මාලිගාව වෙත ගමන් ගත්හ.

දෙවන දිනයේ දී කුමරු රෝගී වූ මහලූ මිනිසකු දුටුවේ ය. කවදා හෝ තමා ද මෙවැනි තත්ත්වයකට පත්වන බව ඡන්න ඇමැතිගෙන් අසා දැනගත් කුමරු එදින ද උයනට නොගොස් ආපසු හැරුණේ ය.

තුන්වන දිනයේ දී මළ සිරුරක් දැක පුදුම විය. එදින ද කුමරු ඡන්නගෙන් අසා තමන්ට ද මෙබඳු මරණයක් උරුම බව දැන සිත කලකිරීමට පත් වී ආපසු හැරී මාලිගාවට ගියේ ය.

සිව්වන දිනයේ දී අමුතු ම පැවැත්මක් ඇති, ඉතා සන්සුන් ගමනින් යුතු කසාවතක් පොරවා ගත් ශාන්ත වූවෙකු දුටු කුමරු, ඡන්නගෙන් ඒ පිළිබඳ ව විමසුවේ ය. කලින් දුටු ලෙඩ වීම, මහලූ වීම, මරණය, ආදී දුක් පීඩාවලින් මිදීමට ගිහිගෙය අතහැර පිළිවෙත් පුරන හෙතෙම තවුසෙකු බව කුමරු දැන ගත්තේ ය. කුමරුන් තුළ උපන්නේ පැහැදීමකි. එදින උයන වෙත ගිය සිදුහත් කුමරු උයන් සිරි නරඹමින් කාලය ගත කළේ ය.

එසේ කාලය ගත කළ සිදුහත් කුමරුහට පියරජු විසින් එවන ලද සේවකයකු විසින් යසෝදරා දේවියට පුත් කුමරකු ලැබුණු බව දන්වන ලදි. මෙම පුවත ඇසූ කුමරුට රාහුලයෙක් උපන්නා; ගිහිගෙයි බැම්මක් ඇති වුණා යැයි කියවුණි. (රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං) රාජ සේවකයා ඒ පුවත සුදොවුන් රජතුමාට දැන්වී ය. සිදුහත් කුමරුගේ මුවින් පිට වූ රාහුල යන වචනය ම පුත්කුමරාට නම වශයෙන් තබන ලදි.

සිදුහත් රජ කුමරු රැගත් අලංකාර රථය මාලිගාව බලා ගමන් කරන්නට විය. පැවිදි වීමේ ආශාව නිසා කුමරුගේ මුහුණේ වෙනදාට වඩා පියකරු සන්සුන් විලාසයක් දක්නට ලැබුණි. මඟ දෙපස සිටි ජනතාව ද කුමරුගේ සන්සුන් විලාසය අගය කරමින් බලා සිටියහ. කිසාගෝතමී කුමරිය ද සිදුහත් කුමරුගේ සන්සුන් බව දැක මහත් සතුටට පත් ව මෙසේ ප්‍රකාශ කළා ය.

"නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතෝ නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරි - යස්සායං ඊදිසෝ පති"

(නිසැක ව ම මේ පුතුගේ මව නිවුණු කෙනෙක්, මේ පුතුගේ පියා නිවුණු කෙනෙක්, මේ හිමිගේ බිරිය නිවුණු කෙනෙක් වන්නේ ය.)

නිවීමේ සුවය පිළිබඳ එම ප්‍රකාශය, කුමරුගේ සිත තුළ හට ගෙන තිබුණු ගිහිගෙයින් නික්ම යාමේ අදහසට ආලෝකයක් විය. තමන් ඇසූ ගාථාවෙන් වැදගත් පාඩමක් ඉගෙන ගන්නට ලැබුණු නිසා සතුටු වූ රජකුමරු තම ගෙලෙහි පැලඳි අගනා මුතුහර කිසාගෝතමියට තෑගි කර යවා මාලිගයට ගියේ ය.

පෙරනිමිති දැකීමෙන් ගිහි ජීවිතය පිළිබඳ මහත් සේ කලකිරුණු සිදුහත් කුමරා ගැඹුරින් කල්පනා කරමින් ම සිටියේ ය. වෙන දා මෙන් මාලිගාවට නාටිකාංගනාවෝ පැමිණ ගයමින්, වයමින්, නටමින් කුමරු සතුටු කරන්නට උත්සාහ කළහ. එහෙත් කුමරා ඒ ගැන තැකීමක් නොකොට ම ඊට පිටු පා නිදන්නට විය. තම රැඟුම් කෙරෙහි කුමරුගේ කිසි ම ඇල්මක් නොමැතිබව දැන ගත් නාටිකාංගනාවෝ ද ඒ ඒ තැන්වල වැටී නිදන්නට වූහ. මඳ වේලාවකට පසු කුමරා අවදි ව වටපිට බැලූවේ ය. රැඟුම් රඟන විට දෙවඟනන් සේ සිටි නාටිකාංගනාවන් නිදා සිටින ආකාරය දැක වඩාත් කළකිරුණු හෙතෙම එදින ම ගිහිගෙය අතහැර යාමට තීරණය කළේ ය. ඡන්න ඇමැති අමතා කන්ථක අසු සූදානම් කරන ලෙස නියම කළ සිදුහත් කුමරා මාලිගාවෙන් පිටත් ව යාමට පෙර එදින උපන් තම පුත් කුමරාත්, යසෝදරා දේවියත් බැලීමට සිරියහන් ගැබට ගියේ ය. පුංචි පුතා වඩා ගැනීමට සිතුණත් යසෝදරා දේවිය අවදි වුවහොත් එය ගමනට බාධාවක් වෙතැයි සිතා ඔහු එතැනින් නික්මුණේ ය. ඒ වන විට සිදුහත් කුමරුට වයස අවුරුදු විසි නවයකි.

එදින ඇසළ පුන් පොහොය දිනයකි. රජ සැප හැර දැමූ සිදුහත් කුමරා ඡන්න ඇමැති සමග කන්ථක අසු පිට නැඟී මාලිගයෙන් නික්ම ගියේ ය. මෙසේ ගිහිගෙය හැර යාම මහාභිනිෂ්ක්‍රමණය ලෙස හැඳින්වෙයි. නොයෙකුත් බාධක මැද සිදුහත් කුමරුන් ගිය මේ ගමන ලෝක සත්ත්වයා දුකින් මුදාලීමට උපකාරී වූ ගමනකි.

පසු දා හිමිදිරියේ අනෝමා ගඟෙන් එතෙර වී ගං තෙරට සැපත් වූ බෝසත් කුමරා මඳක් වෙහෙස නිවා තමා විසින් ම කඩුවෙන් හිස කෙස් කපා ඝටීකාර බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලද සිවුරු පිරිකර භාර ගෙන පැවිදි විය. රජ ඇඳුම් ඡන්නට භාර කළේ ය.

"ඡන්න මේ අසුත්, ආභරණත් මවුපියන්ට භාර දෙන්න. මා පැවිදි වූ බව මවුපියන්ට දැනුම් දෙන්න," යි බෝසතාණෝ පැවසූහ. තම ස්වාමියා අතහැර යාමේ ශෝකයෙන් කන්ථක අසු ළය පැලී මරණයට පත් විය.

පැවිදි වූ බෝසතාණෝ අනෝමා ගඟ අසබඩ අනුපිය නම් වනයෙහි සතියක් විවේකී සුවයෙන් කල්ගත කළහ. පැවිදි ව අට වන දින එතුමාණෝ රජගහනුවරට පැමිණ පිඬුසිඟා වැඩියහ. එහි පාලකයා ව සිටි බිම්බිසාර රජතුමාට මේ බව දැන ගන්නට ලැබිණි. රජතුමාට බෝසතාණන් පිඬුසිඟා වැඩ පාණ්ඩව පර්වතය පාමුල දන් වළඳන බව සැලවිය. එහි පැමිණි බිම්බිසාර රජතුමා තොරතුරු විමසා මේ සිදුහත් කුමරු බව දැන තම රාජ්‍යය දෙකට බෙදා පාලනය කරන්නට ආරාධනය කළේ ය. සිදුහත් බෝසතාණෝ එම ආරාධනාව ප්‍රතික්ෂේප කළහ. තමා ගිහිගෙය අතහැර දමා දුකින් මිදීමේ මඟ සොයා යන බව එතුමාණෝ රජුට පැහැදිලි කළහ. ඊට ආශීර්වාද කළ බිම්බිසාර රජතුමා "බුදු බව ලබා පළමු ව මගේ රාජ්‍යයට වඩින්නැ" යි ඉල්ලා සිටියේ ය.

රජුගෙන් සමු ගත් සිදුහත් බෝසතාණෝ පාණ්ඩව පර්වතයෙන් නික්ම භග්ගව තවුසා වෙත පැමිණියහ. එතුමාගේ ධර්මය ඉක්මනින් හදාරා තමන් සොයන සත්‍යය එහි නොමැති බව වටහා ගත්හ. පසු ව එතුමාණෝ විශාලා මහනුවර ආලාරකාලාම නම් තවුසා වෙත පැමිණියහ; නොබෝ දිනකින් ම ඔහු දැන සිටි ධර්මය අවබෝධ කර ගත්හ. එම දහම අනුව ද තමා සොයන නිවන අවබෝධ කර ගත නොහැකි බව වටහා ගත් සිදුහත් තවුසාණෝ උද්දකරාමපුත්ත නම් තවුසාණන් වෙත පැමිණියහ. එතුමන් වෙතින් ද තම අරමුණ ඉටුකර ගත නොහැකි බව තීරණය කළ බෝසතාණෝ තමන් ම උත්සාහ කර නිවන් සෙවීමට අධිෂ්ඨාන කර ගත්හ.

බෝසතාණන් වහන්සේ උරුවේලා ජනපදයේ සේනානි නම් නියම් ගමට පැමිණියහ. එහි නේරංජරා ගං තීරය අසල සිත්කලූ වන ලැහැබක් තිබුණි. එම පෙදෙස නිවන් ලබා ගැනීම සඳහා පිළිවෙත් පිරීමට සුදුසු තැනක් බව එතුමාණෝ සිතූහ. එබැවින් එහි නැවතී ශරීරයට දැඩි දුක් දෙමින් තවුස් දම් පුරන්නට එතුමාණෝ තීරණය කළහ.

ටික දිනකට පසු ව කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජි යන තාපසවරු පස්දෙනෙක් එහි පැමිණිය හ. සිදුහත් තවුසාණන් දැන හැඳින ගත් ඔවුහු එතුමන් දුකින් මිදීමේ මඟ සොයා පිළිවෙත් පුරන බව දැන ගත් පසු සතුටු ව එතුමන්ට උපස්ථාන කරමින් එහි ම රැඳී සිටියහ.

සේනානි නියම් ගමට පිඬු සිඟා වැඩ ආහාර වැළඳූ බෝසතාණෝ පසුව සිය ආහාර වේල ක්‍රමයෙන් අඩු කළහ. ඉන් පසුව උන්වහන්සේ තමන් විසූ වන ලැහැබෙන් සොයා ගත් අල වර්ග හා පලවැල පමණක් ආහාරයට ගත් හ. පසුව
එය ද බර ආහාරයක් යැයි සිතූ බෝසතාණෝ තමන් සෙවණ ලබා සිටි ගස මුලට වැටෙන කොළ ගෙඩි පමණක් ආහාරයට ගත්හ. මෙසේ ක්‍රමක්‍රමයෙන් ආහාර අඩු කිරීම නිසා බෝසතාණන් වහන්සේගේ ශරීරය අතිශයින් ම කෙට්ටු විය. මුළු සිරුර ම දුර්වල විය. උන් වහන්සේ නොයෙක් වර ක්ලාන්ත වී වැටුණහ. එහෙත් දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් යුක්ත වූ සිදුහත් තවුසාණෝ දිගට ම දුෂ්කර ක්‍රියාවෙහි යෙදුණහ.

සිරුරට අධික දුක් දීමෙන් තමන් සොයන විමුක්තිය ලබා ගත නොහැකි බව එතුමන්ට අවසානයේ දී වැටහිණි. එබැවින් එතුමාණෝ ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගනිමින් දුෂ්කර තපස් ව්‍රත අතහැර දමා නැවත පිඬුඩුසිඟා වැඩීම ආරම්භ කළහ. වැඩි සැපයත්, වැඩි දුකත් යන දෙක ම නිවන ලබා ගැනීමට මාර්ගය නොවන බව වටහා ගත් බෝසතාණෝ එම අන්ත දෙකට ම නොපැමිණ මැදුම් පිළිවෙත අනුගමනය කළහ. එම පිළිවෙත අනුගමනය කරන්නට වීම නිසා අමනාපයට පත් පස්වග තවුසෝ බෝසතාණන් වහන්සේ හැර දමා බරණැස ඉසිපතනයට ගියහ. බෝසතාණන් වහන්සේ සේනානි නියම් ගමෙහි පිහිටි විශාල නුග ගස මුල වැඩ සිට භාවනා කරමින් තනිව ම කාලය ගත කළහ. මේ වන විට මහබිනික්මනින් වසර හයක් ගත ව තිබිණ. වෙසක් පුන් පොහොයට පෙර දින එළඹිණ.

එදා අලූයම් කාලය එළඹෙත් ම බෝසතාණන් වහන්සේ විවිධ වූ අර්ථ ඇති සිහින පහක් දුටු සේක. අලූයම අවදි වූ උන් වහන්සේ එම සිහින පහ හා එහි අර්ථය වෙන වෙන ම විමසා බැලුහ. එම සිහිනවල තමන් වහන්සේ නිසැකයෙන් ම බුදු වන බවට පැහැදිලි පෙරනිමිත්තක් වූයෙන් මුහුණ දොවා පිරිසිදු ව පිඬුඩු සිඟා වැඩීමට සුදුසු වේලාව එළඹෙන තුරු ප්‍රසන්න මුහුණින් යුතු ව අජපල් නුග රුක මුල වැඩ සිටි සේක.

ඒ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකි. පෙර දිනයක සුජාතා නම් සිටු දුව එම නුග රුකේ දේවතාවාට කරන ලද භාරයක් නිදහස් කිරීමේ අදහසින් කිරිබතක් රන් තලියක බහා රැගෙන පැමිණියා ය. සුජාතාව එම රන්තලිය සිදුහත් තවුසාණන්ට පූජා කළා ය. එසේ පූජා කළේ මගේ අදහස ඉටු වූවා සේ ම ඔබේ අදහස ද ඉටු වේවා යි යන ප්‍රාර්ථනයෙනි. සුජාතාවගේ කිරිබත් පිළිගත් බෝසතාණන් වහන්සේ නේරංජරා නදියට ගොස් දිය නා එහි ම වැඩ සිට කිරිබත් පිඬු කොට වැළඳූහ. කිරිබත් තිබූ රන් තලිය ගෙන අද මා බුදු බව ලබන්නේ නම්, මේ තලිය උඩු ගං බලා යේවා යි අධිෂ්ඨාන කර ගඟෙහි පා කර හැරියේ ය. කෙමෙන් ගඟ මැදට ගිය එම තලිය උඩු ගං බලා ගමන් කළේ ය. සිදුහත් බෝසතාණන්ගේ හිත සතුටට පත් විය. අසල වන ලැහැබකට වැඩි බෝසතාණන් වහන්සේ සවස් වන තෙක් ම විවේක සුවයෙන් කල් ගත කළහ.

සවස් යාමයේ ඇසතු බෝමුල කරා ගමන් ගත් උන් වහන්සේට අතරමග දී සොත්ථීය නම් බමුණා මුණගැසුණි. බෝසතාණන් දුටු හෙතෙම ඉතා සතුටට පත් වී තමන් සතු වූ කුසතණ මිටිවලින් අටක් එතුමන්ට පූජා කළේ ය.

බෝමුල කරා ගිය බෝධිසත්වයන් වහන්සේ එම කුසතණ මිටි අට එහි අතුරා චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතු ව විදුරසුනෙන් (වජ්‍රාසනයෙන්) වැඩ සිටියහ. අනතුරු ව බුද්ධත්වය ලබා මිස නොනැගිටිමි යි අධිෂ්ඨාන කර, දිවි
තොර වුව ද වීර්යය අත් නොහරින බවට ස්ථීර සාර වූ අදහසෙහි පිහිටා ක්‍රියා කළහ. ඒ වනවිට උන් වහන්සේගේ වයස අවුරුදු තිස්පහකි. බෝසතාණන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩමින් සිත සමාධිගත කළහ. එදින රාත්‍රියෙහි පෙර අත්බව සිහි කරන නුවණ හෙවත් පුබ්බේනිවාසානුස්සති ඤාණය උන් වහන්සේට පහළ විය. මධ්‍යම යාමයේ දී සත්ත්වයන්ගේ උත්පත්තිය හා මරණය සිදු වන ආකාරය දැකීිමේ නුවණ හෙවත් චුතූපපාත ඤාණය පහළ විය. පශ්චිම යාමයේ දී උන් වහන්සේ පටිච්ච සමුප්පාදය පදනම් කොට ගෙන විදර්ශනා වඩා සියලූ කෙලෙස් නසන නුවණ හෙවත් ආසවක්ඛය ඤාණය උපදවා ගත්හ. ත්‍රිවිද්‍යා නමින් හැඳින්වෙන මෙම ඥාන තුන උපදවා ගත් සිදුහත් බෝසතාණෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.

බෝසතාණන් වහන්සේ විමර්ශනශීලි ව සෘජු තීරණ ගනිමින් කටයුතු කළ ආකාරය ඉහත සිදුවීම්වලින් පැහැදිලි වේ. අපි ද බෝසත් චරිතය ආදර්ශයට ගනිමින් ජීවිත අභියෝග ජය ගනිමු.