පන්සිය පනස් ජාතක පොත කුරුණෑගල යුගයේ රචනා වූ වැදගත් ම සාහිත්‍ය කෘතියයි. එය තරම් සිංහල ජන ජීවිතයට බලපෑ තවත් කෘතියක් නැති තරම් ය. බෝසත් චරිතය මුල්කොට ගත් කථා වස්තු පන්සිය හතළිස් හතක් එම කෘතියෙහි ඇතුළත් ව තිබේ. සිංහල බෞද්ධ ජනතාව එම කතන්දරවලට සමූහ වශයෙන් සවන් දී ධර්ම උපදේශ මෙන් ම ධාර්මික සුවයක් ද ලැබූහ. එම ජාතක කතා අතුරෙන් ස්වර්ණ හංස ජාතකය මෙහි විරිදුවට නඟා ඇත. දැඩි ලෝභය දුකට පත්වීමට හේතු වේ යන්න මේ කතා වස්තුවෙන් දෙන ප්‍රධාන පණිවුඩයයි.
1. තෙරුවන් සරණයි ඔබහට - සැමගෙන් අවසර මාහට
රණහස ජාතක කථාව - විරිදුවලින් පැවසීමට
2. මහ බෝසත් උතුමාණෝ - පෙර කළ පිං බල මහිමෙන්
උපන්නෝ ය හිමාලයේ - ස්වර්ණ හංසයකු විලසින්
3. පෙර දිවියෙහි සිල් රැකලා - යහගුණ දම් ඔප කරලා
පෙර අත්බව දකින පිනක් - ස්වර්ණ හංසහට ලැබිලා
4. පෙර බවයේ අඹුදරුවන් - අසරණ වී දුක් විඳිමින්
බැලමෙහෙවර කරන අයුරු - දුටුවා තම පින් බලයෙන්
5. ස්වර්ණ හංස හිත පුරවා - දරු සෙනෙහස මතු වූවා
ඔවුනට සරණක් වන්නට - පෙර නිවහන වෙත ආවා
6. බිරිය සමග දරු තිදෙනා - දුටුව සැණින් රණ තිසරා
පෙර බවයේ තම වගතුග - ඔවුනට හෙළි පෙහෙළි කළා
7. හංසයා රන් පිහාටුවක් - ගලවා බිරිඳට දෙනවා
නැවතත් එන බව පවසා - හිමවත වෙත පියඹනවා
8. දුප්පත්කම නැති වෙනවා - බැලමෙහෙවර නවතිනවා
හංස පිහාටුව විකුණා - පවුල ම ජීවත් වෙනවා
9. දින එක දෙක ගත වුණා - බත බුලතින් සරුවුණා
තණ්හාවෙන් පිරුණු බැමිණි - දියණිවරුන් අමතනා
10. රණ හංසය අල්ලාගෙන - පිහාටු හැම ගලවා ගෙන
ඉක්මනින් ම පොහොසත් වෙමු - එයයි ඇගේ යෝජනාව
11. එපා අම්මෙ එක වරක දි - පිහාටු සැම ගලව ගන්න
පියාණන්ට නොහැකි වේවි - යළි අහසට පියාඹන්න
12. දූවරුන්ගෙ ඇවිටිලි සැම - ඉවත දැමූ මවු බැමිණිය
රණ තිසරා අල්ලා ගෙන - ගලව ගත්ත පිහාටු සැම
13. ගලවන ලද පිහාටු කිසි - එකක් නොමැත රන් වූයේ
සීමා නැති ආශාවෙන් - තිබුණු දෙයත් නැති වූයේ
14. අසරණ වූ ස්වර්ණ හංස - එම නිවසෙහි තනිවෙනවා
නැවත පියාපත් ආවත් - ඒ සියල්ල සුදු වෙනවා
15. සුදු පිහාටු වැඩුණු පසු ව - හංස රාජ පියඹනවා
යළි කිසි දා නොඑන පරිදි - හිමාල වනයට යනවා
16. ලද පමණින් සතුටු නොවූ - ලෝබ සිතට අවනත වූ
බැමිණි නිසා අහිමි වුණා - සැපත සතුට හිමි ව තිබූ
17. දුක් දොම්නස් ඇති වුණා - හද සෝගිනි ඇවිළුණා
නැති බැරිකම් අගහිගකම් - අහස උසට පැමුණුණා
18. ගෙදර අයට රන් පිහාටු - එකක් බැගින් පුද කළේ ය
ගොඩක් ගන්න ගිහින් බිරිය - කළගුණ අමතක කළා ය
19. ස්වර්ණ හංස කතා පුවත - දිග හැරුණා විරිදු ලෙසට
පසක් වේ ය මේ පුවතින් - තන්හාදීනව මොනවට
20. ලද දෙයකින් සතුටු වෙන්න - සරල ව දිවි මග ගෙවන්න
සැනසිල්ලෙන් කල් අරින්න - නිරතුරුව ම සිතට ගන්න