20 - රන් පිහාටු

පන්සිය පනස් ජාතක පොත කුරුණෑගල යුගයේ රචනා වූ වැදගත් ම සාහිත්‍ය කෘතියයි. එය තරම් සිංහල ජන ජීවිතයට බලපෑ තවත් කෘතියක් නැති තරම් ය. බෝසත් චරිතය මුල්කොට ගත් කථා වස්තු පන්සිය හතළිස් හතක් එම කෘතියෙහි ඇතුළත් ව තිබේ. සිංහල බෞද්ධ ජනතාව එම කතන්දරවලට සමූහ වශයෙන් සවන් දී ධර්ම උපදේශ මෙන් ම ධාර්මික සුවයක් ද ලැබූහ. එම ජාතක කතා අතුරෙන් ස්වර්ණ හංස ජාතකය මෙහි විරිදුවට නඟා ඇත. දැඩි ලෝභය දුකට පත්වීමට හේතු වේ යන්න මේ කතා වස්තුවෙන් දෙන ප්‍රධාන පණිවුඩයයි.

1. තෙරුවන් සරණයි ඔබහට - සැමගෙන් අවසර මාහට
    රණහස ජාතක කථාව - විරිදුවලින් පැවසීමට

2. මහ බෝසත් උතුමාණෝ - පෙර කළ පිං බල මහිමෙන්
    උපන්නෝ ය හිමාලයේ - ස්වර්ණ හංසයකු විලසින්

3. පෙර දිවියෙහි සිල් රැකලා - යහගුණ දම් ඔප කරලා
    පෙර අත්බව දකින පිනක් - ස්වර්ණ හංසහට ලැබිලා

4. පෙර බවයේ අඹුදරුවන් - අසරණ වී දුක් විඳිමින්
    බැලමෙහෙවර කරන අයුරු - දුටුවා තම පින් බලයෙන්

5. ස්වර්ණ හංස හිත පුරවා - දරු සෙනෙහස මතු වූවා
    ඔවුනට සරණක් වන්නට - පෙර නිවහන වෙත ආවා

6. බිරිය සමග දරු තිදෙනා - දුටුව සැණින් රණ තිසරා
    පෙර බවයේ තම වගතුග - ඔවුනට හෙළි පෙහෙළි කළා

7. හංසයා රන් පිහාටුවක් - ගලවා බිරිඳට දෙනවා
    නැවතත් එන බව පවසා - හිමවත වෙත පියඹනවා

8. දුප්පත්කම නැති වෙනවා - බැලමෙහෙවර නවතිනවා
    හංස පිහාටුව විකුණා - පවුල ම ජීවත් වෙනවා

9. දින එක දෙක ගත වුණා - බත බුලතින් සරුවුණා
    තණ්හාවෙන් පිරුණු බැමිණි - දියණිවරුන් අමතනා

10. රණ හංසය අල්ලාගෙන - පිහාටු හැම ගලවා ගෙන
      ඉක්මනින් ම පොහොසත් වෙමු - එයයි ඇගේ යෝජනාව

11. එපා අම්මෙ එක වරක දි - පිහාටු සැම ගලව ගන්න
      පියාණන්ට නොහැකි වේවි - යළි අහසට පියාඹන්න

12. දූවරුන්ගෙ ඇවිටිලි සැම - ඉවත දැමූ මවු බැමිණිය
      රණ තිසරා අල්ලා ගෙන - ගලව ගත්ත පිහාටු සැම

13. ගලවන ලද පිහාටු කිසි - එකක් නොමැත රන් වූයේ
      සීමා නැති ආශාවෙන් - තිබුණු දෙයත් නැති වූයේ

14. අසරණ වූ ස්වර්ණ හංස - එම නිවසෙහි තනිවෙනවා
      නැවත පියාපත් ආවත් - ඒ සියල්ල සුදු වෙනවා

15. සුදු පිහාටු වැඩුණු පසු ව - හංස රාජ පියඹනවා
      යළි කිසි දා නොඑන පරිදි - හිමාල වනයට යනවා

16. ලද පමණින් සතුටු නොවූ - ලෝබ සිතට අවනත වූ
      බැමිණි නිසා අහිමි වුණා - සැපත සතුට හිමි ව තිබූ

17. දුක් දොම්නස් ඇති වුණා - හද සෝගිනි ඇවිළුණා
     නැති බැරිකම් අගහිගකම් - අහස උසට පැමුණුණා

18. ගෙදර අයට රන් පිහාටු - එකක් බැගින් පුද කළේ ය
     ගොඩක් ගන්න ගිහින් බිරිය - කළගුණ අමතක කළා ය

19. ස්වර්ණ හංස කතා පුවත - දිග හැරුණා විරිදු ලෙසට
      පසක් වේ ය මේ පුවතින් - තන්හාදීනව මොනවට

20. ලද දෙයකින් සතුටු වෙන්න - සරල ව දිවි මග ගෙවන්න
      සැනසිල්ලෙන් කල් අරින්න - නිරතුරුව ම සිතට ගන්න