11 - කලා වැවට පින් දිලා පලයල්ලා

ගොවිතැන ජීවනෝපාය කර ගත් ලාංකික ජනයාට ජලය ඒ සඳහා අත්‍යවශ්‍ය විය. වැසි දිය පමණක් ඊට ප්‍රමාණවත් නොවූ නිසා ජලාශ තනා ජලය රැස් කර ගැනීමට ඔවුහු පෙලඹුණහ. වැව් නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වැව යනු ලාංකික අපට ම ආවේණික වූ වාරි තාක්ෂණික අංගයකි. ආර්. එල්. බ්‍රෝහියර් විසින් රචනා කළ The Seeing Ceylon කෘතිය බ්‍රෝහියර් දුටු ලංකාව නමින් අභය හේවාවසම් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ඒ ඇසුරෙන් ලියැවී ඇති මෙම පාඩමට කලා වැව සම්බන්ධ තොරතුරු පාදක වී ඇත.

ලංකාවේ වැව් හා සබැඳි මනහර ජනප්‍රවාද වේ. කලා වැව සම්බන්ධයෙන් ප්‍රචලිතව පවතින ජනප්‍රවාදයක් මෙසේ ය.

ඈත අතීතයේ දී අනුරාධපුරයේ කඩවර නම් මිනිසෙක් වූයේ ය. මොහු සිය භාර්යාවගේ කෙනෙහිලිකම්වලින් බේරීමට මහා වනාන්තරයට ගියේ නිවී සැනසිල්ලේ සතුටින් ජීවත් වීමට ය. මෙම සිදුවීමෙන් දොළොස් වසරකට පසුව රජ වාසලට මුව මස් සැපයූ මස් වැද්දා රජතුමාට වාර්තා කළේ නගරයෙන් පැන ගොස් කැලෑවේ ජීවත් වන මිනිසකු මහා නිධානයක් රැක ගෙන සිටින බව යි.

මේ පුවතින් කැලඹුණු රජු නගරයේ ගිනිකොන දිගට සැතපුම් 25ක් ඈතින් පිහිටා තිබූ මෙම ස්ථානයට ගියේ ය. ගොස් කඩවර නැමැති මිනිසා අත්අඩංගුවට ගෙන තමා අබියසට කැඳවා නිධානය පිළිබඳ ප්‍රශ්න කෙළේ ය. ඔහු කියා සිටියේ කලවැල් ගොන්නකින් ජලය බැස යන මාර්ගය ඇහිරී තිබෙන නිසා, ජලය එක් රැස් වී සැතපුම් ගණනාවක් ඈතට පැතිර තිබෙන ජලාශයක් මිස තමන් දන්නා වෙනත් නිධානයක් නොමැති බව යි.

මෙහි ස්ථීර ජලාශයක් බිහි කිරීමේ හැකියාව දුටු රජතුමා ඉතා ප්‍රීතියට පත්ව කලා වැව නිර්මාණය කෙළේ ය. මේ මහා වාරි කර්මාන්තය නිම වූ පසු එය බලා ගැනීමට රජතුමා විසින් කඩවර පත් කරන ලදි.

එක් දිනක මහා වර්ෂාවකට පසුව මේ වැවේ ජලය කාන්දු වන්නට විය. මේ ජල කාන්දුව වහා ම නැවැත්වූයේ නැත්නම් වැව් බැම්ම එතැනින් කැඩී යාමට ඉඩ ඇති බව කඩවර දුටුවේ ය. මේ කාන්දුව නවත්වා ගැනීමට අන් ක්‍රමයක් නුදුටු කඩවර ජලයට බැස තම සිරුර ඒ කාන්දු වන ස්ථානයට තබා තද කරමින් ජල කාන්දුව නැවැත්වී ය. මේ ක්‍රියාවේ දී ඔහු මිය ගිය නමුදු මේ කැප වීමේ පින් මහිමය නිසා හේ කඩවර දෙවියන් නැතහොත් කලා වැව අධිගෘහීත දෙවියන් හැටියට උපන්නේ ය.

මේ කතාව පැරැන්නන් කොපමණ ඇදහුවේ ද යත් පැරණි වාන උඩ කඩවර දෙවියන් වෙනුවෙන් කැප වූ දේවාලයක් ද ඉදි කෙරිණි. ලංකාව බතින් බුලතින් පෝෂණය කිරීමට අධිෂ්ඨාන කරගත් පාලකයෙක් පස්වන සියවසේ දී කලා වැව හා බලලූ වැව යන වැව් යුගල එක් කර විශාල ජලාශයක් ඉදි කෙළේ ය. ඒ ධාතුසේන රජු ය. මෙසේ විශාල ජලාශයක් කළ රජතුමා, එම ජලය අඩි 40ක් පමණ පළල යෝධ ඇළ ඔස්සේ සැතපුම් 54ක් දුර ඇති අනුරාධපුරයට ගෙන ගියේ ය. සියවස් දහසයකට පෙර එබඳු මහා පරිමාණයේ ඇළක් එවන් භූමි භාගයක නිර්මාණය කළේ කෙසේ ද යන්න විමතියට කරුණකි. පළමු සැතපුම් දාහතේ දී එය සෙමෙන් ඇදී යන්නේ සැතපුමට අඟල් හයක් පමණ බෑවුමක් ඇතිව ය. ධාතුසේන රජු විසින් කලා ඔය නිම්නයේ පුරාතන ඉංජිනේරුවන් ලවා කරවූ මේ විශ්වකර්ම නිර්මාණයට අමතරව තවත් විශිෂ්ට පුරුකක් මෙයට එක් කළේ ය. එනම් වාරි මාර්ග මගින් ජලය සැපයිය හැකි වර්ග සැතපුම් 18ක වපසරියක් තුළ කුඩා ග්‍රාමීය වැව් 100ක් ඉදි කර ඒ සීමාව තුළ අංග සම්පූර්ණ වාරි මාර්ග පද්ධතියක් බිහි කිරීම යි.

  

අදට ද කලා වැවට නුවර කලාවිය වැසියෝ ගරු බුහුමන් දක්වති. මෙබඳු ජන කවියක් ඔවුන් අතර පවතින්නේ එබැවිනි.

"කලා වැවෙන් දිය දෝතක් බීපල්ලා කලා වැවට පින් දීලා පලයල්ලා"

ලංකාවේ විශිෂ්ටතම වාන පිහිටා ඇත්තේ කලා වැවේ ය. මෙය කළුගල කපා සාදා ඇත. මේ වාන මෑත කාලයන්හි ප්‍රතිසංස්කරණයෙහි දී පවා එසේ ම තිබෙන්නට ඉඩ හැර
ඇත. මෙය අඩි 216ක් පළල අඩි 170ක් දිගු එකකි. මෙය එකල නිර්මාණය කෙරුණු පුදුමාකාර නිර්මාණයකි. එකල සිටි ශිල්පියාගේ ඉවසිලිවන්තකමත් දක්ෂ බවත් මින් පිළිබිඹු කෙරේ. විසල් වැවක තවත් වැදගත් අංගයක් ලෙස රළපනාව හඳුන්වා දිය හැකි ය. මෙය, දිය රැලි වැවේ ඇතුළු බිත්තියේ වැදීමෙන් හානි පැමිණීම වැළැක්වීම සඳහා යොදා ගෙන ඇත්තකි. දිය රැල්ලෙන් වැව් බැම්ම ආරක්ෂා වීම මෙම නිර්මාණය නිසා සිදු වේ. තුන්වන සියවසේ
සිට ම විශාල වැව්වල බිසෝ කොටුව භාවිතව තිබි‚. ‘ජලය බස්සවනවා’ යන අර්ථය "බිසෝ කොටුව" යන වචනයෙහි ඇත. මෙමඟින් ජලය පාලනය කළ හැකි වූවාක් මෙන් ම මුළුමනින් නවතා දැමීම ද කළ හැකි විය. බිසෝ කොටු සතු විසල් දොරපලූ දැවෙන් නිමවා තිබූ අතර මේවා එසැවීමට ඇතුන් යොදා ගත් බව සිතිය හැකි ය.