5 - නාම පද හා එහි ප්‍රභේද

මනුෂ්‍යයා භාෂාව යොදා ගන්නේ තවත් කෙනකු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හා තමන්ගේ හැඟීම් කියා පෑමට යි. භාෂාවක් මඟින් අදහස් පළ කරන එක ම සත්ත්වයා මනුෂ්‍යයා ය. අනික් සත්තු නාදය, ශරීර ඉරියවු හා ගඳ-සුවඳ මඟින් අදහස් හා හැඟීම් පළ කරති. අදහසක් හෝ හැඟීමක් කියා පෑමට මනුෂ්‍යයාගේ මුවෙන් පිටවන අර්ථයක් සහිත ශබ්ද, පද යනුවෙන් හැඳින්වෙයි. මේ පද ලේඛනයේ දී අකුරු මඟින් ලියා දැක්වෙයි.

පද වර්ග කිහිපයකි. නාම පද ඒ අතරින් එකකි. පුද්ගලයකු, තැනක්, දෙයක්, ගුණයක් හෝ තත්ත්වයක් නැත හොත් අදහසක් පිළිබඳ අර්ථයක් දෙන්නේ නාම පද යි.

ඒක වචන හා බහු වචන භේදය, උක්ත අනුක්ත භේදය හා ලිංග භේදය පදනම් කරගෙන නාම පද වර්ගීකරණය කෙරෙන ආකාරය මෙම පාඩමේ දැක්වේ. ඒ සඳහා නිදසුන් උපුටා ගෙන ඇත්තේ කතන්දර කිහිපයකිනි.

නාදිමත් කාලයක් පුරා එක්තරා වනයක වන සත්තු යහතින් දිවි ගෙවූහ. ඔවුහු එකෙකා කෙරෙහි කාරු‚ක වූහ; මෛත්‍රී සහගත වූහ. එහෙයින් ම ඒ වනය බෙහෙවින් සාමකාමී විය.

මෙසේ කලක් ගත වෙත් ම එහි වූ රුකක අමුතු සතකු වාසය කරන්නේ යැයි රාවයක් පැතිර ගියේ ය. මේ පණිවිඩය රැගෙන ආ වන සතා, පිරිසක් එක් රැස් වී සිටින සෑම විට ම මේ ගැන කියා සිටින්නට විය. මෙයින් මේ පුවත මුළු වනය පුරා ඉතා ඉක්මනින් ප්‍රචලිත වූයේ ය. සත්තු කැලැඹුණහ. කුමක් කළ යුතු දැයි ඔවුහු නො දත්හ. සතුන් අතරින් වඩාත් උපක්‍රමශීලී සේ ප්‍රකටව සිටි නරියාට මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේ කාර්යය පැවැරිණි. "නරිහාමි නුඹ කපටියා. නුඹට පුළුවනි මොන විදියකින් හරි මේ ගැන ඇත්ත තත්ත්වෙ දැන ගන්න" ඔවුහු කීහ. එහෙත්, නරියා පොදුජන යහපත වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබීමට සූදානම් වූයේ නැත.

ඒකා මේ සඳහා අපූරු සැලැසුමක් යෙදී ය. හැම විට ම අනුන්ගේ ඕපාදූප සෙවීමට ආශා කළ එක්තරා පක්ෂියකු හට නරියා මේ කාර්යය පැවරී ය. "අපූරු අමුතු දෙයක් හොයා ගත්තොත් නුඹට මුළු කැලේ පුරා ම කියව කියවා ඇවිදිතෑකි" නරියා කුරුල්ලාගේ රුචිය වර්ධනය වන අයුරින් කතා කොට කාරිය සඳහා ඌ පොලඹවා ලී ය.

මෙයින් උද්දාමයට පත් ඒ කුරුල්ලා ද වහ වහා ආගන්තුක සත්ත්වයා සිටි විසල් රුක අසලින් පියාඹා යන්නේ, රත් ගිනි බෝල දෙකක් සහ අමුතු ශබ්දයක් ද ඒ කොළ පතරෙහි ඇති බව දකින්නේ ය.

මේ පුවත ඇසූ සියලූ සත්තු බියෙන් තැති ගත්හ. ඔවුහු වහා මේ වනය හැර දමා යාබද වනය වෙත සංක්‍රමණය වන්නට පටන් ගත්හ. එහෙත්, ඒ විසල් රුකෙහි වාසය කෙළේ රත් ඇස් ඇති තරමක් ලොකු, අහිංසක කුරුල්ලෙකි. හිටිහැටියේ සියලූ සතුන් වනය හැර දමා පිට වෙන්නේ කුමක් නිසා දැයි ඒ කුරුල්ලා පුදුමයෙන් කල්පනා කෙළේ ය.

දුර දිග නො බලා කටයුතු කළ හොත් කිසියම් පිරිසකට සිය නිජබිම පවා සදහට ම අහිමි වී යා හැකි ය.

භයංකර සත්ත්වයා
ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා

පරිවර්තනය :- තනූජා ධර්මපාල

මෙම උපමා කතාවෙහි කළු කර ඇති පද ගැන අවධානය යොමු කරන්න.

  • සත්තු, වනසතා, ඔවුහු යන පදවලින් යම් කෙනෙකු හෝ සතෙකු ගැන ද
  • රුක, ගිනිබෝල යන පදවලින් යම් දෙයක් ගැන ද
  • වනය, නිජබිම යන පදවලින් යම් ස්ථානයක් ගැන ද
  • බිය, උද්දාමය යන පදවලින් යම් ස්වභාවයක් ගැන ද කියවේ. මේවා සියල්ල නාම පද යි.

නාම පදයක් යනු කුමක් දැයි හඳුනා ගනිමු.

යම් කෙනෙකු, සතකු, දෙයක්, ස්ථානයක් හෝ ස්වභාවයක් හැඳින්වීමට භාවිත කරන පද, නාම පද යි.

වචන භේදය

නාම පදවල වචන භේදයක් පවතී. ඒක වචන හා බහු වචන වශයෙනි.

යම් නාම පදයකින් එක් අයකු, එක් දෙයක්, එක් ස්ථානයක් හෝ එක් ස්වභාවයක් ගැන කියවේ නම් ඒවා ඒක වචන නාම පද යි. නාම පදයකින් බොහෝ අය, බොහෝ දේවල්, බොහෝ ස්ථාන ගැන කියවේ නම් ඒවා බහු වචන නාම පද යි.