21 - ඉරු දින ශුද්ධවන්ත ව ගත කිරීම

දෙවියන් වහන්සේ දින හයකින් ලෝකය මවා හත්වන දින නිවාඩු ගත් සේක. දින හයක් වැඩ කරනා මනුෂ්‍යයාට ද සත්වන දින නිවාඩු දිනයක් ය. එබැවින් විශ්වය මවා අපට ගැලවීම දිනා දුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් මෙම දිනය ගත කිරීමට කිතුනු අප ක්‍රියා කළ යුතු ය. එම දිනය වෙනදාට වඩා ධර්මානුකූල ව ගත කළ යුතු ය. වෙනදාට වඩා දෙවියන් මුල් කර ගෙන ජීවත් වන මනුෂ්‍යා දේව වන්දනාවේ හා යහපත් ක්‍රියාවන්හි නිරත වීමට කටයුතු කිරීම වැදගත් ය.

එබැවින් ස්වාමීන් වහන්සේගේ දිනය වන ඉරුදින ශුද්ධවත් කරමින් කිතුනුවෝ චාරිත්‍රානුකූල වත්පිළිවෙත් එම දිනයේ දී සිදු කරති. ස්වාමීන් වහන්සේගේ දිනය වන ඉරුදින පවත්වන දිව්‍ය පූජාව සියලූ වන්දනාවේ උල්පත හා මුදුන්කඩ ලෙස සලකති.

ජුදා සම්ප්‍රදායේ සබත් දින ධර්මශාලාවට එක් ව දේව වචනය ඛෙදා ගැනීම සිදු විය. ක්‍රිස්තුන් වහන්සේ ද අපොස්තුලූවරුන් ද මෙම සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කළ බව නව ගිවිසුමේ සඳහන් වේ (මාක් 6:1-6).

ක්‍රිස්තුන් වහන්සේ උත්ථානය වූ දිනය වන ඉරුදින වර්තමානයේ අප දෙවිඳුන්ට කැප කර ඇති දිනය යි. ආදර දෙවි පියාණන් වහන්සේ අප එනතුරු බලා සිටින්නේ අප දේව වචනයෙන් සහ තම පුතණුවන්ගේ ශ්‍රී ශරීරයෙන් පෝෂණය කර ශක්තිමත් කිරීමට ය.

ඉරුදිනය

  • ජේසුස් වහන්සේ උත්ථාන වූ දිනය යි (ලුක් 24:1-12)
  • උත්ථාන වූ ජේසුස් වහන්සේ වැඩිපුර ම දර්ශනය වූ දිනය යි
    - මග්දලාවේ මරියාට දර්ශනය වීම (ජොහන් 20:11-18)
    - ශ්‍රාවකයන්ට දර්ශනය වීම (ජොහන් 20:19-23)
    - තෝමස් තුමාට දර්ශනය වීම (ජොහන් 20:24-29)
  • ශුද්ධාත්මාගමනය සිදු වූ පෙන්තකොස්ත දිනය යි (ක්‍රියා 2)

සබත් දින වැදගත්කම තුන්වන දේව පනතින් අපට මෙසේ දක්වයි.

මේ අනුව කිතුනු අප ඉරුදින අපගේ දේව වන්දනාමය යුතුකම් ස්වාමීන් වහන්සේ හමුවේ ඉටු කළ යුතු ය. ඒ අනුව ඉරිදා දින මුළු දිව්‍ය පූජා යාගයට සහභාගී විය යුතු ය. මුළු දිව්‍ය පූජාවට ම සහභාගි වීම යනු දිව්‍ය පූජාවේ ආරම්භක ගීතිකාවේ සිට අවසාන ගීතිකාව දක්වා ම සහභාගී වීම යි.

ඉරුදින දිව්‍ය පූජාවට අප අනිවාර්යෙන් ම සහභාගි විය යුතු ය. එයින් අප නිදහස් වන්නේ අසාධ්‍ය ලෙස ගිලන් ව එක්තැන් වී සිටීම, රෝගියෙකු බලා ගැනීම වැනි අවස්ථාවන්හි දී පමණි. සිතා මතා මෙම ණය යුක්තිය පැහැර හැරීමෙන් කිතුනු අප බරපතල පාපයක් කරයි. පාසල් නිවාඩු කාලයේ දහම් පාසල් නොපැවැත්වූව ද ඉරුදින දිව්‍ය පූජාවට සහභාගි විය යුතු ය. ඉරුදින විනෝද චාරිකාවක් ගිය ද අතරමග දී හෝ දේවස්ථානයකට ගොස් දිව්‍ය පූජාවට සහභාගී වීමට අමතක නොකළ යුතු ය.

එමෙන් ම ඉරුදින දිව්‍ය පූජා යාගය නමැති සාංඝික ජයෝත්සවයට සහභාගී වීමෙන් ක්‍රිස්තුන් වහන්සේට හා උන්වහන්සේගේ සභාවට දක්වන බැඳීම හා විශ්වාසවන්තභාවයට අප පංගුකාර වේ. ඒ අනුසාරයෙන් ගිවිසුම් සමාජිකත්වය අප අලූත් කර ගනියි. දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තභාවයටත් ගැලවීමේ බලාපොරොත්තුවටත් සාක්ෂි දරමින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙය වීම මත දේව ජනතාව ලෙස අපි ශක්තිමත් වන්නෙමු.

ඉරුදින ශුද්ධවත් කිරීම සඳහා කළ හැකි කාර්යයන්

  • ඉරුදින මුළු දිව්‍ය පූජාවට අර්ථාන්විත ව සහභාගී වී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම
  • එදිනට නියමිත දේව වාක්‍ය කොටස් කියවා මෙනෙහි කිරීම
  • දහම් පාසලට සහභාගි වීම
  • හැකිතාක් දයාවේ ක්‍රියාවන්හි නිරත වීම
  • රෝගීන් බැහැදැකීම
  • මීසමේ හෝ ගමෙහි පැවැත්වෙන ශ්‍රමදාන, පොදු යහපත් කටයුතුවලට සහභාගී වීම
  • මීසමේ පැවැත්වෙන සමිති සමාගම්වලට සහභාගී වීම
  • තම පවුලේ අයගේ මෙන් ම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා හමුවේ පිහිට වීම

මෙලෙස සමිඳුන්ගේ ජය මංගල දිනය ශුද්ධ ලෙස ගත කරමින් ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීතිය අත්දකින්නට යොමු වීම කිතුනු අපගේ පරම යුතුකමකි.