18 - එක ම දෙවියන් වහන්සේ තුළ විශ්වාසයේ ජීවිතයක්

හතරවන ඇන්ටිඕකස් එපිපානෙස් පාලන සමයේ දී විජාතික වත් පිළිවෙත් ඉටු කිරීමට මවට සහ දරු හත් දෙනාට බල කරන ලදි. එනමුදු එක ම දෙවියන් මත යැපුණු ඔවුන්, එම වත් පිළිවෙත්වල නොයෙදුණු නිසා ඔවුන් මරා දමන ලදි. එම මරණය අභිමුව මව දරුවන් ශක්තිමත් කළේ, "ඔබ මගේ කුස සිටියත්, මම කිරි දුන්නත්, හැදුවත්, වැඩුවත් ඔබ අයිති දෙවියන් වහන්සේට ය. ඒ නිසා නොබිය ව මරණයට ඉදිරිපත් වන්න. එවිට අප සැමට විනිශ්චය දවසේ දී ස්වාමීන් වහන්සේ මුණ ගැසෙයි" කියා ය. (2 මකබි 7)

මෙම කතා පුවත ඉහත බයිබල් පාඨය කියවීම මඟින් ඔබට තව දුරටත් වටහාගත හැකි ය. එයින් මිථ්‍යා ඇදහිලිවලට යටත් නොවිය යුතු බවත් එයින් අභියෝග හමුවේ නොබිය ව ස්ථීර ව සිටීමට ශක්තිය දෙවියන් වහන්සේගෙන් ලැබෙන බවත් අවධාරණය කරයි.

මිථ්‍යා ඇදහිලි දෙවියන් වහන්සේට ප්‍රසන්න ක්‍රියා නොවේ. එමෙන් ම ඒවා පළමුවන දේව පනතට විරුද්ධ ක්‍රියා ය. මිථ්‍යා ඇදහිලිවලින් ප්‍රසාද ස්නාපනය ලද කිතුනුවන් ඈත් විය යුතු ය.

රූප වන්දනාවට විරුද්ධ අවවාද

මේ පාඨය මගින් ඉශ්රායෙල් ජනතාවට අවවාද කරන්නේ පොරොන්දු දේශයේ ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ව ය. එහි දී කානානිවරුන්ගේ මිථ්‍යා ඇදහිලිවලින් බැහැර වන ලෙස උන්වහන්සේ අවවාද කරන සේක.

මෙයින් පෙන්වා දෙන්නේ, මිථ්‍යා ඇදහිලි දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව ය. දෙවිඳුන්ට පිළිකුල් කරන දෙයින්, වැළකී සිටිය යුතු ය. සැබෑ වූ එක ම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කළ යුතු ය. බබිලෝනියාවේ වහලූන් වූයේ මිථ්‍යා ඇදහිලි අනුගමනය කළ නිසා ය.

වෙනත් ආගමිකයන් භාවිත කරන පිළිම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව මෙම පාඨය පෙන්වා දෙයි.

ඉහත පාඨයට අනුව බොරු දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට සවන් නොදිය යුතු ය. මුළු හෘදයෙන් ද මුළු සිතින් ද දෙවියන් වහන්සේට පමණක් ගරුබිය දැක්විය යුතු ය. දෙවියන් වහන්සේගේ ආඥා ආරක්ෂා කළ යුතු ය. ඔවුන් වහන්සේගේ හඬට කීකරු වී, උන්වහන්සේට පමණක් වැදුම් පිදුම් කොට, ප්‍රේම කළ යුතු ය.

විශ්වාසයට විරුද්ධ ව නිරන්තරයෙන් පැන නගින පරීක්ෂා පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු ය. මුදල, බලය, වස්තුව ආදි ලෞකික දේවලට දෙවියන් වහන්සේට දිය යුතු තැන දීම නුසුදුසු ය. දෙවියන් වහන්සේට හා ලෞකික දේවලට ආදරය කළ නොහැකි ය. ප්‍රාණපරිත්‍යගීවරුන් බොහෝ දෙනෙකුට දිවි පිදීමට සිදු වූයේ ඒක දේවවාදී විශ්වාසයක් මත ජීවත් වූ නිසා ය. රූප වන්දනාවෙන් ඒක දේවවාදය ප්‍රතික්ෂේප කෙරේ.

කතෝලික විශ්වාසයට අනුව නැකැත් බැලීම, බලි තොවිල්, ලග්න පලාපල, යන්ත්‍ර මන්ත්‍ර, ශාස්ත්‍ර ඇසීම, ගුරුකම්, පේන බැලීම, හූනියම් හා දෙහි කැපීම ආදිය ද මිථ්‍යා ඇදහිලි වේ. එමෙන් ම තව දුරටත් එදිනෙදා ජීවිතයේ පවතින මිථ්‍යා විශ්වාස වන, ගමනක් යන විට හෝ සුබ දෙයක් කතා කරන විට හූනා "චික් චික්" යැයි කෑ ගැසීම අසුබ යැයි කීම, ගමනක් යන විට හිස් කළයක්, දරමිටියක්, කොස්සක් හෝ ඉදලක් අතැති කෙනෙක් දුටු විට අසුබ බව විශ්වාස කිරීම, වැන්දඹුවක් සුබ කටයුතු සඳහා සහභාගි කරවා ගැනීම අසුබ යැයි විශ්වාස කිරීම, ගමනක් යන විට පූසෙකු යන මඟ හරහට පැනීම අසුබ යැයි සිතීම, අඟහරුවාදා, සිකුරාදා වැනි දිනවල මෙන් ම මළවුන්ගේ මාසය යැයි නම් කරන ලද නොවැම්බර් මාසයේ සුබ කටයුතු කිරීම අසුබ යැයි සිතීම වැනි කරුණු දෙවියන් වහන්සේට අප්‍රසන්න ක්‍රියා ය. පෙබරවාරි මාසයේ සුබ කටයුතුවල නොයෙදීම, ධනය, බලය, සුඛ විහරණය, ජාතිවාදය, කුලය, පරම්පරා පිළිබඳ පම්පෝරි කීම ආදිය දෙවියන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන දේවල් ය. ශුද්ධ බයිබලයෙන් බොරු දිවැසිවරුන්ගේ හාස්කම් හා ස්වප්නවලට නොරැවටෙන ලෙස දෙවියන් වහන්සේ උපදෙස් දුන් සේක.

දෙවියන් වහන්සේට සමීප වීමට කළ යුතු දෑ;

  • එක ම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කළ යුතු ය.
  • ඒක දේව වන්දනාවෙන් දේව සබඳතාව වර්ධනය කර ගත යුතු ය.
  • මිථ්‍යා ඇදහිලිවලින් වැළකී, අන් අය ද ඉන් බේරා ගත යුතු ය.
  • දෙවියන් වහන්සේ මත පමණක් යැපෙමින් ජීවිත අභියෝගවලට මුහුණ දීමට වගබලා ගත යුතු ය.
  • යක්ෂ, භූත මායම් ඇති බව විශ්වාස නොකළ යුතු ය.
  • මෙලොව ඇති සියලූ ම දෑ දෙවියන් වහන්සේ ඉදිරියේ දූවිල්ලකට සමාන බව පිළිගත යුතු ය.