24 - දිව්‍ය පූජාව

පුන ගැයුම: දෙවිඳු පුදට පුදසුන වෙත නඟමි දෙපා ප්‍රීති වෙමින්
              සමිඳු වරම් ලැබ ගන්නට දෙන්නැ ආසිරි

1. අපෙයි කියා සුරකින කිසි දෙයක් ඇත්තේ නෑ
    මගේ හොඳ හිත ඔබට දෙන්න මම පැමිණෙනවා

2. මුදල් හදල් වතුපිටි දෑ කිසිමැ දෙයක් නෑ
    ඒ කිසිවක් සමිඳේ ඔබට ඇවැසි කමෙක් නෑ

3. පවුලක් ලෙස මා අද දින පුදසුන හමුවේ
    වැඳ වැටිලා ගෙනා පඬුරු ඔබට පුදනවා

  1. මෙම ගීතිකාව ගායනා කරන්නේ කුමන අවස්ථාවේ ද?
  2. මෙම ගීතිකාවෙන් ඇරයුම් කරන්නේ කුමකට ද?
  3. එම ඇරයුමට ඔබ දක්වන ප්‍රතිචාරය කුමක් ද?

කිතුනු ජීවිතයේ කේන්ද්‍රය දිව්‍ය පූජාව ය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කල්වාරියේ දී කුරුසිය මත දෙවියන් වහන්සේට පුද කළ යාගය දිව්‍ය පූජාව තුළ සක්‍රමේන්තු ආකාරයට අපි සුපරිස්මරණය (සිහි) කරන්නෙමු. එබැවින් මෙම උතුම් අවස්ථාවට සහභාගී වී කුරුසියේ යාගයට අපි ද පංගුකාරයන් වන්නෙමු. එමගින් දෙවියන් වහන්සේ හා අප අතර සබඳතාව ගොඩනැගෙයි.

දිව්‍ය පූජාව පිළිවෙත් කිහිපයකින් සමන්විත ය. ඒ පිළිබඳ මනා අවබෝධයකින් සිටීමෙන් එයට අර්ථාන්විත ව සහභාගි විය හැකි ය. එම නිසා එම පිළිවෙත් පිළිබඳ ව මෙම පාඩමේ දී අපි අධ්‍යයනය කරමු.

දිව්‍ය පූජාවේ පිළිවෙත්

  1. ආරම්භක පිළිවෙත (එක්රැස්වීමේ පිළිවෙත)
  2. දේව වාක්‍ය පිළිවෙත
  3. පුදසුන සුදානම් කිරීමේ පිළිවෙත
  4. ස්තෝත්‍ර යාගික පිළිවෙත
  5. ධර්ම දූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත

1. ආරම්භක පිළිවෙත (එක්රැස්වීමේ පිළිවෙත)

ඇතුළු වීමේ ගීතිකාවෙන් ආරම්භ වන මෙම පිළිවෙත අනුකොටස් කිහිපයකින් සමන්විත ය.

  1. ඇතුළු වීමේ ගීතිකාව හා පෙරහැර
  2. ආචාරය
  3. හැඳින්වීම
  4. පශ්චත්තාපිත පිළිවෙත
  5. ස්වාමීනී කරුණා කළ මැනව
  6. සුරදූත ගීය
  7. පොදු යැදුම

2. දේව වාක්‍ය පිළිවෙත

  1. පළමු වන දේව ප්‍රකාශය
  2. පිළිතුරු ගීය
  3. දෙවන දේව ප්‍රකාශය.
  4. සුපුවත් ජය නද (සාධුකාරය)
  5. සුබාරංචි ප්‍රකාශය
  6. ධර්මානුශාසනාව
  7. විශ්වාස ලක්ෂණය
  8. විශ්වාසකයින්ගේ යැදුම්

3. පුදසුන සුදානම් කිරීමේ පිළිවෙත

පඬුරු පෙරහැර සමගින් මෙම පිළිවෙත ආරම්භ වේ.

  1. පඬුරු පෙරහැර හා පුදසුන සූදානම් කිරීම
  2. පඬුරු මත යැදුම

4. ස්තෝත්‍ර යාගික පිළිවෙත

  1. ස්තෝත්‍ර යාගික යැදුම හා මහා සාධුකාරය
  2. ස්වාමිවාක් ආරාධනාව, සාමය පැතීම හා පූප කැඩීම
  3. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම
  4. බොදුනෙන් පසු යැදුම

5. ධර්මදූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත

ඇතුළාන්ත සිත් සෝදිසියකින් යුතු ව දේව වචනයට සවන් දුන් අපි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂණය වන්නෙමු. ඉන් අනතුරුව දේව වචනය අනුව ජීවිත වෙනසකට ලක්වෙමින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අප ජීවත් වන සමාජයට රැගෙන යාමේ ධර්මදූත කාර්ය සඳහා පිටත්කර යැවීම මෙහි දී සිදු වේ. ඒ අනුව ජේසුස් වහන්සේ වදාළ වචනය අනුව ජීවත් වෙමින් ජීවිතාදර්ශයෙන් ජේසුස් වහන්සේ ලෝකයේ ජීවමාන කිරීමේ භාරදූර වගකීම අපට පැවරෙයි.