5 - ලූක් ශුභාරංචියේ සැලැස්ම

ඔබේ නිවස ගැන මදකට සිතන්න.... නිවසට ඇතුළු විය හැක්කේ කොතනින් ද? නිවසේ කාමර කීයක් තිබේ ද? ඒවා වෙන් කර ඇත්තේ මොනවාට ද? එහි දොරවල් හා ජනේල ඇත්තේ කෙසේ ද? කීයක් ද? නිවසෙහි සැලැස්ම සම්බන්ධයෙන් ඔබට ඇති දැනුම නිසා නිවස තුළ පහසුවෙන් ජීවත් වීමට ඔබට හැකියාව තිබේ. ඔබේ නිවසට සැලසුම් කරුවෙක් සිටියේ ය. ඔහුගේ සැලැස්ම තුළ ඔබේ නිවස ඉදි වී ඇත.

පොතක ද ආකෘතියක් ඇත. අපට පොතෙහි සැලැස්ම පිළිබඳ අවබෝධයක් ඇත්නම් එය පහසුවෙන් පරිහරණය කිරීමට හැකියාව ඇත.

ශුද්ධ වූ ලුක් තුමා ද දක්ෂ කතුවරයෙකු ලෙස සැලැස්මක් ඇති ව තම ශුභාරංචිය රචනා කර ඇත. ඒ නිසා ම ශුභාරංචිය පහසුවෙන් කියවීමටත් තේරුම් ගැනීමටත් හැකියාව ඇත.

හැඳින්වීම (ලුක් 1:1-4)

දක්ෂ ලේඛකයකු සිය කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරයි. එලෙස ම ලුක් තුමා ද තම ශුභාරංචිය ආරම්භයේ දී හැඳින්වීමක් කරයි (ලුක් 1:1-4). ලුක් තුමා වාර්තා කරන කරුණු ඇසින් දුටු සාක්ෂි නොව ඇසින් දුටු අයගෙන් දැන ගත් ඒවා ය. ලුක් තුමාට අවශ්‍ය වනුයේ ඒකරාශී කර ගත් කරණු විධිමත් ලෙස ගොනු කර දැක්වීමටයි.

මෙතුමා සිය කෘතිය පිළිගන්වන්නේ "ශ්‍රීමත් තියෝපිලස් තුමා" වෙත ය (ලුක් 1:1). ලුක් ශුභාරංචියේ දෙවන වෙළුම ලෙස සැලකෙන අපෝස්තුලූවරුන්ගේ ක්‍රියා පොත ද පිළිගන්වා ඇත්තේ මෙම තැනැත්තාට ය (ක්‍රියා 1:1). "තියෝපිලස්" යන්නෙහි තේරුම "දෙවියන් වහන්සේගේ මිත්‍රයා" යන්නයි. "ශ්‍රීමත්" යන යෙදුමෙන් ඔහු සමාජයේ උසස් නිලධාරියෙකු ලෙස සැලකිය හැකි ය.

 

ජේසුස් වහන්සේගේ ළමා විය පිළිබඳ කතා (ලුක් 1:5-2:52)

ජේසුස් වහන්සේගේ ළමා විය පිළිබඳ ව ශුභාරංචි කතුවරු දෙදෙනෙක් කරුණු ඉදිරිපත් කරති. ඒ දෙදෙනා නම් ශුද්ධ වූ මතෙව් තුමා හා ශුද්ධ වූ ලුක් තුමා ය. ලුක් තුමාට අවශ්‍ය වන්නේ විධිමත් වෘත්තාන්තයක් නිර්මාණය කිරීම නිසා ජේසුස් වහන්සේගේ උපතේ සිට කරුණු පෙළ ගස්වා ඇත. ජේසුස් වහන්සේගේ උපත (ලුක් 2:1-20), ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී කැප කරනු ලැබීම (ලුක් 2:22-38), ජේසුස් වහන්සේගේ ළමා විය (ලුක් 2:39-40) හා වයස අවුරුදු 12 දී දෙමාපියන්ගෙන් මගහැරී නැවත දේව මාලිගාවේ දී ම සොයා ගනු ලැබීම (2:41-52) මෙහි විස්තර කර ඇත.

 

ජේසුස් වහන්සේගේ දූත මෙහෙවර සඳහා සුදානම (ලුක් 3:1-4:13)

ජේසුස් වහන්සේ පිළිගැනීමට ජනතාව සුදානම් කිරීමේ වගකීම පැවරී තිබුණේ ස්නාවක ජොහන් තුමාට ය. මෙතුමා දේශනා කරමින් හා ජලයෙන් බෞතීස්ම කරමින් ජනතාවගේ සිත්සතන් ජේසුස් වහන්සේ පිළිගැනීමට සුදානම් කළේ ය. යෙසායා දිවැසිවරයා සඳහන් කරන ආකාරයට පාළුකරයෙහි මොරගසන හඬ ස්නාවක ජොහන් තුමාගේ ය (යෙසායා 40:3-5). අතීතයේ සිටි සියලූ දේව සේවකයන්ට වඩා මෙතුමා ශ්‍රේෂ්ඨ ය. ජේසුස් වහන්සේගේ පැමිණීම හා උන්වහන්සේගේ කාර්යයට මිනිස් සිත් සතන් ආධ්‍යාත්මික ව සුදානම් කිරීමේ වගකීම පැවරෙන්නේ ස්නාවක ජොහන් තුමාට ය. එතුමා පාළුකරයේ යාච්ඤාවේ හා දැඩි මර්දන ක්‍රියාවල නිරත වෙමින් දුෂ්කර ජීවිතයක් ගත කළ අතර සත්‍යයට සාක්ෂි දැරූ උදාර පුද්ගලයෙකි.

 

ගලීලයේ සේවාව (ලුක් 4:14-9:50)

ජේසුස් වහන්සේ සිය ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නේ ගලීලයෙනි. උන්වහන්සේගේ ඉගැන්වීම් හා සුව කිරීම් සම්බන්ධ තොරතුරු සමහරක් මෙම කොටසෙහි දක්නට ඇත.

 

ගලීලයේ සිට ජෙරුසලම දක්වා ගමන (ලුක් 9:51-19:27)

ගලීලයේ සේවාව නිම වූ පසු ජේසුස් වහන්සේ ජෙරුසලමෙහි සේවයට පිටත් ව ගිය සේක. කිතුනු දිවිය ගත කිරීමට අවශ්‍ය උපදෙස් රාශියක් මෙම කොටසෙහි ඇත.

ජෙරුසලමේ දී කළ සේවාව (ලුක් 19:28-21:38)

ජේසුස් වහන්සේ ජෙරුසලමෙහි කළ සේවාවන් මෙහි විස්තර වේ.

  1. ලුක් 19:28-44
    ජේසුස් වහන්සේ ගොබ් ඉරුදින කොටළුවෙකු පිට නැග ජෙරුසලමට පිවිසීම මෙහි විස්තර කරයි.
  2. ලුක් 19:45-48
    දේව මාලිගාව තුළ වෙළඳාම් කළ වෙළෙදුන් පලවා හැරීම මෙම කොටසෙහි විස්තර වේ.
  3. ලුක් 20:1-21:37 ජේසුස් වහන්සේ ජෙරුසලමෙහි කළ කී දේවල් මෙහි විස්තර වේ.

 

දුක් විඳීම, උකුත් වීම, උත්ථානය හා දර්ශන වීම් (ලුක් 22:1-24:53)

ශුභාරංචිවල ඉතාමත් වැදගත් කොටසක් ලෙස සැලකෙන පාස්කු අභිරහස (ජේසුස් වහන්සේගේ දුක් විඳීම, උකුත් වීම හා උත්ථානය) සම්බන්ධ පුවත මෙහි දැක්වේ. එම්මාවුස් මාර්ගයෙහි ජේසුස් වහන්සේට හමු වූ ශ්‍රාවකයින් දෙදෙනා සම්බන්ධ පුවත ද මෙහි ඇත.

ඕනෑම කාරණයක සාර්ථකත්වය, ඒ සඳහා කරනු ලබන සුදානම මත රදා පවති. සැලැස්ම ඇති තැන, නැති තැනට වඩා ක්‍රමානුකූල ය. ඔබට දක්ෂයකු වීමට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා සූදානම් විය යුතු ය.