14 - කතරගම පුදබිම

කතරගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගරයක් මෙන් ම ඓතිහාසික වශයෙන් වැදගත් නගරයක් ද වේ. බුදු රාජාණන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කතරගම පාලනය කළේ මහාඝෝෂ නම් පාලකයකු බවත් කතරගම ප්‍රදේශයේ ඔහුට අයත් කිහිරි වනයක බුදු රජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි බවත් ධාතුවංසය සඳහන් කරයි. කතරගම දෙවියන් රුහුණු පුරයේ ආරක්ෂකයා මෙන් ම බුදු දහමේ ද ආරක්ෂකයකු වශයෙන් සැලකේ.

ස්කන්ද කුමාර යන නමින් ද හැඳින්වෙන මෙම දෙවියන්ගේ ප්‍රධාන දේවාලය පිහිටා තිබීම කතරගම නගරය ප්‍රසිද්ධියට පත් වීමට බල පෑ ප්‍රබලතම හේතුව වී තිබේ. තම ජීවිතවලට ආශීර්වාදය ලබා ගැනීමත් ලෞකික අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමත් අරමුණු කර ගෙන සිංහල, දෙමළ, මෙන් ම මුස්ලිම් ජනයා ද මේ පුදබිමට පැමිණ පුද පූජා පවත්වන අයුරු වසරේ ඕනෑ ම කාලයක දී දැක ගත හැකි ය.

මැණික් ගඟ ඉවුරෙහි යාල ජාතික වනෝද්‍යානය සමීපයේ පිහිටා ඇති කතරගම නගරයෙහි කතරගම දෙවිඳුන් සඳහා වෙන් වූ දේවාලය සහිත පූජා භූමිය පිහිටියේ ය. අඩි දහයක් පමණ උසැති මහා ප්‍රාකාරයකින් වට කරන ලද අක්කර කාලකට නො වැඩි මේ පුදබිමට ප්‍රවේශ වීම සඳහා සතර දිශාවෙන් සුවිසල් දොරටු සතරක් වෙයි. මහා දේවාලයට අමතරව කිරි විහාරය, ගණ දේවාලය, අෂ්ට ඵලරුහ බෝධිය, දේවාල මුළුතැන්ගෙය හා තවත් දේවාල කීපයක් ද මේ සීමාව ඇතුළත පිහිටා තිබේ.

හින්දු භක්තිකයන්ට අනුව කතරගම දෙවියා යනු ස්කන්ද කුමාර නමින් හැඳින්වෙන දෙවියා ය. හින්දූන්ගේ මෙන් ම බෞද්ධයන්ගේ ද වන්දනමානනයට පාත්‍ර වූ මේ දෙවියා ලංසයක් හෙවත් වේලායුධයක් අතින් ගෙන මොනරකු පිට නැඟි විලාසයෙන් නිරූපණය වෙයි.

ස්කන්ද කුමාර හෙවත් කතරගම දෙවිඳුන්ට මුහුණු සයක් හා අත් දොළසක් ඇතැයි කියනු ලැබේ. නෙත් දොළසක් ද ඇතැයි යන විශ්වාසය නිසා ඔහු බරනෙත නමින් ද හඳුන්වනු ලැබේ. එක් ජන ප්‍රවාදයකට අනුව මෙසේ වී ඇත්තේ විෂ්ණු විසින් ඊශ්වරයා හමුවේ මායාවකින් මවන ලද කුමාරවරුන් හය දෙනා දුටු උමාව විසින් කුමාර කන්දක් නො වේ දැයි කියමින් අල්ලා ගැනීම නිසා ඔවුන් ඒකාබද්ධව එක තැනැත්තකු බවට පත් වීමෙනි.

තවත් එක් කතාවකට අනුව සුර පද්ම නම් අසුරයාගෙන් සුරයන්ට කරදර පැමිණි අවස්ථාවේ සුරයෝ ඒ බැව් ඊශ්වරයාට සැල කර සිටියහ. ඒ ඇසූ ඊශ්වර තම නේත්‍රයන්ගෙන් ගිනි පුපුරු හයක් නික්මවූයේ ය. එම ගිනි පුපුරු හය වනයට වැටී කුමරුන් සදෙනෙකු බවට පත් විය. ඊශ්වරයාගේ පතිනිය එනම් උමාව මොවුන් දැක සතුටුව එකට අල්වා සිඹ ගත් කල්හි එම සදෙනා මූණු සයක් ද අත් දොළසක් ද එක කයක් ද ඇතියකු බවට පත් වූහ යි කියනු ලැබේ. ශරවනභව යන නම කඳ කුමරුට ඇති වූයේ ඒ නිසා යැයි විශ්වාස කෙරේ.

හින්දු දෙවියකු වන කඳ කුමරු කතරගමට පැමිණීම පිළිබඳ ජනප්‍රවාදයක් ද පවතී. කතරගම වැසි වල්ලි අම්මා නම් අභිරූපී වැදි කාන්තාවක පිළිබඳ වර්ණනයක් ඇසූ කඳ සුරිඳු ඇය සොයා පැමිණ සෙල්ල කතරගම දී ඇය සරණ පාවා ගත් බව ඉන් කියැවේ. මේ අතර කඳ කුමරුන්ගේ බිරිඳ වන තේවානි ද කතරගමට පැමිණ ඇත. තේවානි අම්මා කෝවිල හා වල්ලි අම්මා කෝවිල වශයෙන් කෝවිල් දෙකක් කතරගම පිහිටා තිබීම එහි ප්‍රතිඵලයකි.

බෞද්ධ වෘත්තාන්තයන්හි පැවසෙන්නේ කතරගම දෙවියන් ලංකාව පාලනය කරන දෙවිවරුන් සතර දෙනාගෙන් කෙනකු බවයි. මතු බුදු වීමට පෙරුම් පුරන බෝධිසත්ත්වයකු ද වන මේ දේවතාවා බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ දවස කතරගම රාජධානිය කොට විසූ මහාසේන හෙවත් මහාඝෝෂ නම් රජතුමා ය. මහසෙන් රජු ඇතුළු පිරිස ස්වකීය ක්‍රීඩා වනය වූ කිහිරි වනයෙහි කිහිරි ගසක් යට දී බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය ශ්‍රාවකයන් වහන්සේට මහත් සේ පුද පූජා පැවැත් වූ බවත් බුදුන් වහන්සේගෙන් බණ ඇසූ රජු සෝවාන් වූ බවත් ධාතුවංසයෙහි දැක්වේ. මහසෙන් රජතුමා මරණයෙන් පසු ද දෙවියකුව ඒ ස්ථානයට අරක් ගෙන සිටිතැයි විශ්වාස කෙරේ. කතරගම දෙවියන්ගේ මුහුණු හයෙන් එතුමන් තුළ ඇති ප්‍රතාපය, වික්‍රමය, වීරත්වය, ශූරභාවය, කෞශල්‍යය හා ශක්තිය යන ගුණ පිළිබිඹු වෙතැයි සැලකේ.

කතරගම මහා දේවාලය ගබඩා හෙවත් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි. ප්‍රධාන ද්වාරයෙන් දේවාල භූමියට පිවිසෙන බැතිමතුන්ට මුලින් ම දක්නට ලැබෙන්නේ කොළ අතු එල්ලා මැස්සක් මෙන් සකස් කර ඇති කොළ පන්දලම ය. මේ ඔස්සේ දේවාලයට පිවිසෙන බැතිමතුන්ට ශාලාවක් වැනි තරමක් විශාල වූ පිට ගබඩාවට පමණක් යා හැකි ය.

දේවාලයේ ප්‍රධාන දොරටුව පිත්තල කැටයමින් අලංකාර කරන ලද විශාල උළුවස්සකින් යුක්ත ය. එයින් ඇතුළත තිබෙන කොටස පිට ගබඩාව යි.

ඇතුළු ගබඩාවට ප්‍රවේශ වන දොරටුවෙහි ඇති වට්ටාරම නමින් හැඳින්වෙන බිත්ති දෙකකින් වට වූ ස්ථානය ආලත්ති හෙවත් ආශීර්වාද කිරීමෙහි නියැළෙන ආලත්ති අම්මලා සඳහා වෙන් කර තිබේ. කොරවක්ගල නම් පැරණි කැටයම් ගලක් යෙදූ ඇතුළු ගබඩා දොරටුව කතරගම දෙවියන්ගේ රූපය සහිත විශාල තිරයකින් ආවරණය කොට තිබේ.

දේවාලයේ වඩාත් පැරණි කොටස වන්නේ ඇතුළු ගබඩාව හෙවත් ඇතුළු කුටිය යි. දිගින්, පළලින් හා උසින් අඩි හතක් බැගින් වන මෙහි බිත්තියක ඝනකම අඩි දෙකකට වඩා වැඩි ය. ඇතුළු කුටියට පිවිසීමට අවසර ඇත්තේ තේවාකරුවන්ට පමණි. ඇතුළු කුටියට පිවිසෙන තේවාකරුවන්ගේ පා දෝවනය සඳහා සඳුන් දිය පිරවූ බඳුනක් ද පා දෝවනයක් ද දොරටුව අසල තබා තිබේ. සඳුන් මණ්ඩපයට ඔබ්බෙන් ඇති කොටස ලතා මණ්ඩපය නම් වේ. මේ ස්ථාන දෙක අතර වන පටු බරාඳය උඩු වියනකින් සරසා ඇත. නිරතුරුව දැල්වෙන විශාල පිත්තල පහන් දෙකකින් මේ ස්ථානය ආලෝකවත් වෙයි.

කතරගම මහා දේවාලයේ ප්‍රධානතම නිලධාරියා බස්නායක නිලමේතුමා ය. දේවාලය හා සම්බන්ධ පත්වීම්, වැටුප් දීමනා, නින්දගම් පරිපාලනය හා ආදායම් එකතු කිරීම ආදි දේවාලයේ පරිපාලනය ඇතුළු කුදු මහත් සියලූ කාර්යයන්හි වගකීම පැවරෙන්නේ බස්නායක නිලමේතුමාට ය.

කතරගම දේවාලයේ දෛනික පූජා විධි අලූයම ආරම්භ වෙයි. සක් පිඹ, ඝණ්ටා නාද කොට, හේවිසි වයා, පැන් තබා, මුළුතැන් වඩවා අරඹන දේව පූජාව අතීතයේ පැවති රාජකීය චාරිත්‍ර සිහි ගන්වයි. දිනපතා නන් දෙසින් පැමිණෙන බැතිමත්තු දේවාලයේ කපුරාල ලවා භාරහාර හා යාතිකා කරවා ගනිති. කන්නලව්වක දී දෙවියන්ගේ උදාර ගුණ බුදු ගුණ හා මිශ්‍ර කොට ඉදිරිපත් කිරීමත්, පළිගැසීමක දී දෙවියන්ගේ උපත හා ශූර වීරබලපරාක්‍රමයන් වර්ණනා කිරීමත් දැකිය හැකි ය.

කතරගම දේවාලයට ආවේණික පුදසිරිත් සමුදායක් පවතී. මුළුතැන් බෑම ඒ අතරින් විශේෂ චාරිත්‍රයකි. දිනකට තෙවරක් දෙවියන් උදෙසා ආහාර පූජා කිරීම මෙහි දී සිදු වෙයි. සෙනසුරාදා උදෑසන නානුමුර මංගල්‍යය පැවැත්වෙන බැවින් එදින උදෑසන පමණක් මුළුතැන් පූජාව සිදු නො කෙරේ. මුළුතැන් පූජාව සඳහා ආහාර පිළියෙල කෙරෙන්නේ දේවාල භූමියේ ඇති මුළුතැන්ගෙය තුළ ය. එක් වේලකට හාල් සේරු තුනක් පිසිනු ලැබේ. මේ සහල් කාන්තාවන් විසින් එදින ම කොටා සකසනු ලැබීම විශේෂත්වයකි.

මුළුතැන්ගෙයි සිට දේවාලය කරා ආහාර ගෙන යන කද 'මණ්ඩය' නමින් හැඳින්වෙයි. එහි එක් කෙළවරක බත් පිරි මණ්ඩය ද අනෙක් කෙළවරේ ව්‍යඤ්ජන පිරුණු මණ්ඩය ද තබා සූදානම් කරන ලද මුළුතැන් අඩුක්කුව උඩුවියන්, පාවඩ හා තේවා හේවිසි නාද සහිතව මුඛවාඩමින් සැරසුණු කපුරාල විසින් දේවාලය තුළට ගෙන යනු ලැබේ. මේ අවස්ථාවේ සියලූ ම තේවාකරුවන් දේවාලය තුළ සිටීම අනිවාර්ය වේ. මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් තිබේ. එනම් මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා කපුරාල දේව පූජාව ගෙන යන්නේ කිරි විහාරය වෙත පූජාව රැගෙන යාමෙන් අනතුරුව වීම යි.

නානු මුර මංගල්‍යය කතරගම පූජා භූමිය ආශ්‍රිතව සිදු කෙරෙන තවත් පූජා විධියකි. දෙවියන් සතුටු කිරීම සඳහා බුදුන් උදෙසා කරනු ලබන පූජාවක් වන මෙහි දී ආලත්ති අම්මලා විසින් මැණික් ගඟෙන් ගෙන එනු ලබන ජලයට සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කොට හේවිසි නාද මධ්‍යයේ බෝධීන් වහන්සේ නෑවීම සිදු කෙරේ. මෙය සිදු කරන්නේ මුඛවාඩමින් සැරසුණු කපුරාල යි. කතරගම පුද බිමෙහි රෝපිත මෙම බෝධීන් වහන්සේ අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේ නමකි. මහාවංසයට අනුව දේවානම්පිය තිස්ස රජුගේ බෝධි ශාඛා රෝපණෝත්සවයට කතරගම ක්ෂත්‍රියයන් ද සහභාගී වී ඇත. මේ ක්ෂත්‍රියයන් එහි දී තමන්ට ලැබුණු අෂ්ට ඵලරුහ බෝධි අංකුරය කතරගමට ගෙනැවිත් රෝපණය කර තිබේ. වර්තමානයේ මෙසේ නානුමුර මංගල්‍යය සිදු කෙරෙනුයේ එම බෝධීන් වහන්සේට ය.

දෙවියන් සතුටු කිරීම උදෙසා කෙරෙන තවත් පූජා විධියක් ලෙස කාවාඩි පූජාව සඳහන් කළ හැකි ය. කාවාඩි නැටීමේ දී කර පිට තබා ගන්නා මෙවලම හැඳින්වෙන්නේ කාවාඩි කූඩුව නමිනි. මේ සඳහා කොස්, කෝන්, බෝ, සුදු හඳුන් හෝ පුවඟු යන දැව වර්ගයක් යොදා ගැනේ. කාවාඩි කූඩු සෑදීමේ දි යකඩ ඇණ භාවිත නො කෙරේ. තඹ සහ පිත්තල ඇණ පමණක් යොදා ගැනේ. පරවි කාවාඩි, භක්කි කාවාඩි, ගිනි කාවාඩි, කිරි කාවාඩි, මත්ස්‍ය කාවාඩි යනුවෙන් කාවාඩි වර්ග පහකි.

කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සව අතර ඉතා විචිත්‍ර වූ ද අතිවිශාල ජන පිරිසක් සහභාගි වන්නා වූ ද මංගල්‍යය ඇසළ උත්සවය යි. මේ කාලය තුළ දේවාලය පමණක් නො ව මුළු කතරගම නගරය ම සැණකෙළි සිරියක් ගනී; කතරගම පුරවරය ජනයාගෙන් පිරී ඉතිරී යයි.

පැරණි චාරිත්‍ර හා වත්පිළිවෙත් පිළිපදිමින් පවත්වනු ලබන ඇසළ පෙරහැර ඇසළ උත්සවයේ ප්‍රධාන අංගය යි. ඇසළ උත්සවය සඳහා මුල පුරන්නේ කප් සිටුවීමෙනි. ඒ සඳහා රත්කරවු ගසක් සොයා කපා ගැනීම ද එක්තරා මංගල්‍යයක ආකාරයෙන් සිදු කෙරේ. කණු කපන මංගල්‍යය නමින් එම චාරිත්‍රය හඳුන්වනු ලැබේ.

කප් සිටුවීම ලංකාවේ සෑම දේවාලයක ම ඇසළ මංගල්‍යයක් ඇරඹීමට පෙරාතුව සිදු කෙරෙන චාරිත්‍රයකි. කතරගම ඇසළ පෙරහැර ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් දින 44ක් ගෙවුණු තැන අමාවක පුර පෑළවිය දිනයේ එළඹෙන සුබ නැකතිනි. එසේ ඇරඹෙන මඟුල් පෙරහැර මුල් දින පහේ දී ගමන් කරන්නේ මහා දේවාලය වටා සැතපුම් භාගයක් තරම් දුරකින් යුත් වීදියේ හෙවත් පිට වීදියෙහි පමණි. වීදි පෙරහැර ආරම්භ වී දින දොළහක් ඉක්ම ගිය විට දෙවේලේ පෙරහැර ඇරඹේ.

ඇසළ පුර පසළොස්වක ගෙවී අව පෑළවිය ලබන දිනයෙහි වේගවත් පෙරහැර නම් විශේෂ පෙරහැරක් පැවැත්වෙයි. දුවන පෙරහැර නමින් ද මෙය හැඳින්වෙයි. සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මේ පෙරහැර බස්නායක වලව්ව අසල නවත්වා දේවාල හා සම්බන්ධ උසස් නිල දරන්නවුන්ට ගරු සැලකිලි හා දේවාශීර්වාද සිදු කෙරේ. මෙහි දී 'දැහැත් හත' නම් වූ වාක්‍යයක් කීමත් විශේෂ හේවිසි වාදනයක් පැවැත්වීමත් සිදු වේ.

දුවන පෙරහැර නිම වීමෙන් පසු දිනයේ සිට ආරම්භ වන මහ පෙරහැර බැතිමතුන්ගේ ඉමහත් සැලකිල්ලට ලක් වෙයි. මහ පෙරහැරේ පූර්ව කෘත්‍යය වනුයේ පිරිත් නිලය භාර කිරි වෙහෙර වාසී භික්ෂූන් වහන්සේ ලවා දේවාලයේ දී පිරිත් දේශනයක් පවත්වා පිරිත් පැන් ලබා ආශීර්වාද ලබා ගැනීම යි.

ඉර හඳ නිරූපණය කෙරෙන පිත්තල ඡත්‍ර, සේසත් හා දිසා කොඩි දරන්නෝ මහ පෙරහැරේ ඉදිරියෙන් ම යති. අනතුරුව උඩරට නිලමේ කෙනකු සිහි ගන්වන ගම්භීර ඇඳුමෙන් සැරසුණු බස්නායක නිලමේ හා දේවාලයේ ලේකම්වරයා ගමන් ගනිති.

මහ පෙරහැර දින හතක් පැවැත්වෙයි. එය අවසාන වන්නේ බස්නායක නිලමේ නිල නිවාසයේ සංඝගත දක්ෂිණාවක් පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙනි. මේ පුණ්‍යකර්මය සඳහා දේවාලය හා සම්බන්ධ සෑම තරාතිරමක ම තේවාකරුවෝ සහභාගි වෙති. පෙරහැර අවසාන භාගයේ සිදු වන ගිනි පෑගීමේ හා දිය කැපීමේ පුරාණ චාරිත්‍ර නැරඹීම සඳහා බොහෝ දෙන රැස් වෙති.

කතරගම පෙරහැර දෙවියන් උදෙසා සිදු කෙරෙන පෙරහැරක් වුව ද එහි තේවා කටයුතු භාරව බස්නායක නිලමේ ඇතුළු බෞද්ධයන් පත්ව සිටීමත් සෑම කාර්යයක දී ම බෞද්ධ වත් පිළිවෙත්වලට ප්‍රමුඛතාවක් දීමත් දක්නට ලැබේ.

ශ්‍රී ලාංකික බෞද්ධයන් බහුතරයක්, හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙන් ම ස්වදේශීය වැදි ජනතාව ද කතරගම පූජා භූමියට පැමිණ පුද පූජා පවත්වති. 1940න් පසු වන්දනාකරුවන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු දෙමළ හින්දු ජනයා යි. අසීරු ලෙස පාගමනින් ම වන්දනාවේ පැමිණීමට ඔවුහු ප්‍රිය කරති. මෑතක සිට සිංහල බෞද්ධ වන්දනා කරුවන්ගේ ද සංඛ්‍යාත්මක වර්ධනයක් දක්නට ලැබිණි.

කතරගම දෙවියන්ගේ බිරියක වූ වල්ලි අම්මා සම්බන්ධ පුරාවෘත්තය හේතුවෙන් වැදි ජනතාව ද මෙම පූජනීය ස්ථානයට තමන්ගේ උරුමයක් ඇතැයි විශ්වාස කරති. වැදි ජනතාව මෙන් ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ද දීර්ඝ සංචාරයක යෙදෙමින් පාද යාත්‍රාවෙන් පැමිණ දැඩි භක්තියෙන් කතරගම වන්දනමානන කිරීම දැක ගත හැකි ය.

ඓතිහාසික වශයෙන් මෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ද යුක්ත, බෞද්ධ ජනයාට පමණක් නො ව දෙමළ හා මුස්ලිම් ජනයාට ද අතිශය වැදගත් සිද්ධස්ථානයක් වන කතරගම පුදබිම ශ්‍රී ලාංකික ජනයාගේ සහජීවනය නංවාලීමට ඉවහල් වන මනා තෝතැන්නක් වැන්න.