8 - ප්‍රායෝගික ලේඛන

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ අවශ්‍යතා සඳහා විවිධ ලේඛන සැකසීමට සිදු වේ. රාජකාරි ලිපි, ව්‍යාපාරික ලිපි, පෞද්ගලික ලිපි, වාර්තා, අත් පත්‍රිකා, දැන්වීම්, ආරාධනා පත්‍ර, න්‍යාය පත්‍ර ආදිය එවැනි ලේඛනවලට නිදසුන් ය. මේවා ප්‍රායෝගික ලේඛන ලෙස දැක්විය හැකි ය. ඒ ඒ ප්‍රායෝගික ලේඛනයට සම්මත ආකෘතියක් ඇත. එය අනුගමනය කිරීම ඉතා වැදගත් ය. කවර වර්ගයේ ප්‍රායෝගික ලේඛනයක දී වුව ද නිවැරදි අක්ෂර වින්‍යාසය, විරාම ලක්ෂණ යෙදීම සහ නිරවුල් අදහස් ප්‍රකාශනය අත්‍යවශ්‍ය ය. මෙම පාඩමෙන් දැන්වීම් සහ ආකෘති පත්‍ර සැකසීම සම්බන්ධව ඔබේ අවධානය යොමු කිරීමට අපේක්ෂිත ය.

දැන්වීම් පත්‍ර

ප්‍රබල ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස දැන්වීම් පත්‍රිකා යොදා ගැනේ. ආර්ථීක, සමාජීය, සංස්කෘතික ආදි කවර ක්ෂේත්‍රයකට අදාළව වුව ද ප්‍රජාව දැනුවත් කිරීමට දැන්වීම් පත්‍රිකා භාවිත කෙරේ. නිරවුල් සන්නිවේදනයක් සඳහා දැන්වීම් පත්‍රිකාවලින් ලද හැකි ප්‍රයෝජන ඉමහත් ය.

  • කරුණු නිවැරදිව පැහැදිලිව දැක්වීම
  • සංක්ෂිප්තභාවය
  • ආකර්ෂණීයභාවය
  • සරලබව

දැන්වීම් පත්‍රිකාවක ගැබ් විය යුතු අනිවාර්ය ලක්ෂණ වේ.

පහත දැක්වෙනුයේ නෙලූම් වැව මහා විද්‍යාලයේ පාසල් පරිසර නියමු භට කණ්ඩායම විසින් පොලිතීන් භාවිතයෙන් වන හානි සහ විකල්ප ඇසුරුම් මාධ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව නිර්මාණය කරන ලද දැන්වීම් පත්‍රයක් හා පොලිතීන් භාවිතයෙන් වන හානි පිළිබඳ සකස් කරන ලද දැන්වීම් පත්‍රිකාවකි.

ආකෘති පත්‍ර

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ ආයතන සමග කටයුතු කරන්නට සිදු වේ. ඒ ඒ ආයතනවලින් විවිධ ආකෘති පත්‍ර නිකුත් කෙරෙන්නේ පහසුවෙන් අවශ්‍ය සේවා සම්පාදනය සඳහා ය. එබැවින් නිවැරදි දත්ත ඇතුළත් කොට පැහැදිලිව ආකෘති පත්‍ර පිරවීම දෙපිරිසට ම පහසුවක් වනු ඇත.

ආකෘති පත්‍රවලට නිදසුන් ලෙස රැකියා ඉල්ලූම් පත්‍ර, විදුලි පණිවිඩ ආකෘති, මූල්‍ය බැංකුවක මුදල් තැන්පත් කිරීමේ දී හා ලබා ගැනීමේ දී සම්පූර්ණ කළ යුතු ආකෘති, පාසලකට ඇතුළත් වීම සඳහා ඇති ඉල්ලූම් පත්‍රය ආදිය දැක්විය හැකි ය.

ආකෘති පත්‍රයක් පිරවීමේ දී සැලකිය යුතු කරුණු

  1. ආකෘති පත්‍රය පිරවීම සඳහා උපදෙස් දී ඇත්නම් ඒවා කියවිය යුතු ය.
  2. ආකෘති පත්‍රයේ සඳහන් කරුණු හොඳින් කියවා තේරුම් ගෙන අසා ඇති තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.
  3. සඳහන් කළ යුතු කරුණු ඉතා කෙටියෙන් දැක්විය යුතු ය.
  4. සුපුරුදු අත්සන යෙදිය යුතු ය.
  5. සත්‍ය වූ ද නිවැරදි වූ ද තොරතුරු දැක්විය යුතු ය.
  6. තමා විසින් සම්පූර්ණ නොකළ යුතු තැන් ඇතොත් ඒවා හිස්ව තැබිය යුතු ය. (ඒවා කාර්යාලයීය ප්‍රයෝජනය සදහා ය.)
  7. මකන දියර වර්ග භාවිත නොකළ යුතු ය.
  8. වැරදුණ හොත් තනි ඉරකින් කපා කෙටි අත්සනක් යෙදිය යුතු ය.

ආකෘති පත්‍ර අතර ජීවදත්ත පත්‍රිකා සැකසීම සියලූ දෙනාට අදාළ වන්නකි. ජීවදත්ත පත්‍රිකා සැකසීමේ අරමුණ අනුව එහි ඇතුළත් කළ යුතු කරුණු ද ඒවා ඉදිරිපත් කරන අනුපිළිවෙළ ද වෙනස් විය හැකි ය. රැකියාවක් ඉල්ලූම් කිරීම, කිසියම් සංවිධානයක සාමාජිකත්වය ඉල්ලූම් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලූම් කිරීම යන අවස්ථා ගත හොත් ඒ ඒ අවශ්‍යතා අනුව අපේක්ෂිත ජීවදත්ත අඩුවැඩි විය හැකි ය.

නිදසුනක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පතේ දී ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය, විභාගයට පෙනී සිටි දිස්ත්‍රික්කය, පාසල ආදිය අත්‍යවශ්‍ය වීම දැක්විය හැකි ය.

අදාළ ආයතනයෙන් නිකුත් කරන ලද ආකෘතියක් නොමැති අවස්ථාවල දී අවශ්‍යතාව පිළිබඳ අවබෝධයෙන් ජීවදත්ත පත්‍රිකා සැකසිය යුතු ය. පහත දැක්වෙනුයේ සාමාන්‍ය ජීවදත්ත පත්‍රිකාවක ආකෘතියකි.