21 - මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ

ලෝවැඩ පිණිස, එනම් ලෝකයෙහි යහපත අරමුණු කර ගෙන රචනා කර ඇති ලෝවැඩ සඟරාව උපදේශ කාව්‍යයකි. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගයේ දී මේ කෘතිය රචනා කෙරිණි. කියවන්නා තුළ රසයක් ජනනය කිරීමෙන් ඔබ්බට ගොස් කියවන්නාගේ ජීවිතය හැඩ ගැස්වීමට අදාළ උපදෙස් සැපයීම මේ කෘතියේ අරමුණ වී තිබේ. කෙසේ වුව ද සරල බස් වහර සහ උපමා රූපක භාවිතය මගින් ජන ආකර්ෂණය හිමි කර ගැනීමට කතුවරයා සමත් වී ඇත. ලෝවැඩ සඟරාව සිවු පද කවියෙන් බණ කියන්නට ලියවුණකි. වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙණේ විසූ වීදාගම මෛත්‍රේය හිමි ලෝවැඩ සඟරාවේ කතුවරයා ලෙස ප්‍රකට ය. කව් ලකුණු මිණි මල, බුදු ගුණ අලංකාරය හා දහම් ගැට මාලාව වීදාගම හිමියන් විසින් රචනා කරන ලද තවත් ග්‍රන්ථ තුනකි.

මෙම පාඩමේ ඇතුළත් වන්නේ ලෝවැඩ සඟරාවෙන් උපුටා ගත් කවි කිහිපයකි.

1. අඳුරෙහි අස් ලොම විදිනට දුර දී
    විදුලිය පැහැ වැරැදුණ හොත් වරදී
    විදුලිය වන් මේ කය ලත් තැන දී
    සිදු නො කළොත් මතු සග මොක් වරදී

අදහස:
අඳුරෙහි එල්ලා තබා ඇති අශ්ව ලෝමයකට දුර සිට විදින්නකු විදුලි කොටද්දී ඇති වන ආලෝකයත් සමග ම විදීම කළ යුතු ය. එම ආලෝකය මග හැරුණොත් විදීම ද වරදිනු ඇත. මේ මනුෂ්‍ය ආත්මය ලැබීම ද විදුලියේ ආලෝකය මෙන් අස්ථීර ය. ක්ෂණයෙන් නැති වෙයි. මිනිසකු ලෙස ඉපදී ඇති මේ අවස්ථාවේ දී ම පින් නො කළොත් අපට ද අනාගතයේ දෙව් සැපත හා නිවන් සැපත වරදිනු ඇත.

2. අ ත් වැඩ පර වැඩ සම ව සිතන්නේ
   මෙ ත් සිත සව් සත කෙරෙහි කරන්නේ
   එ ත් බැරි නම් තොප සසරැ ගෙවන්නේ
   සෙ ත් පුර සැප කෙලෙසක ද ලබන්නේ

අදහස:
අන් අය වෙනුවෙන් කරන කටයුතු ද තමන් වෙනුවෙන් ම කරන්නාක් මෙන් සලකන්න. සියලූ සත්ත්වයන්ට කරුණාව දක්වන්න. මෛත්‍රිය කරන්න. එසේ නො කළ හොත් ඉපදෙමින් මැරෙමින් සංසාරයේ බොහෝ දුක් විඳින්නට සිදු වනු ඇත. පින් නො කළ හොත් සසර දුකෙන් මිදී ශාන්ත වූ නිවන් පුරයෙහි සැප විඳින්නේ කෙසේ ද?

3. කරන කලට පව් මීරි ය මී සේ
   විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
   ඇඳින එ පව් දුර ලන උපදේසේ
   නුදුන මැනැවි තුන් දොර අවකාසේ

අදහස:
පව්කාර ක්‍රියාවක් කරද්දී තමාට ලැබෙන සතුට මී පැණි මෙන් ඉතා මිහිරි ය. එහෙත් ඒවායේ විපාකය විඳින විට ගින්දර මෙන් වේදනාකාරී ය. මේ බව අවබෝධ කර ගෙන සිත, කය හා වචනය යන තුන්දොරින් පවක් සිදු වීමට ඉඩක් නො තබන්න.

4. අ ද මි න් ජීවත් වෙනවා විතරට
    දැ හැ මි න් මිය යනු සොඳ මැයි දන හට
    මෙ ලෙ සි න් වදහළ මුනි බණ සිහි කොට
    සැ බැ වි න් පින් කොට පැමිණෙවු නිවනට

අදහස:
ධර්මානුකූල නො වන අයහපත් වූ ක්‍රියාවක් කරමින් ජීවත් වීමට වඩා ධර්මානුකූල වූත් යහපත් වූත් යමක් කර මිය යෑම වටියි. බුදුන් වහන්සේ දේශනා කළ මේ දහම අවබෝධ කර ගෙන පින් දහම් කරමින් නිවන් මග සලසා ගන්න.

5. ළි ප ගි නි මොළොවන තෙක් දිය සැළියේ
    සැ ප ය ක් යැයි කකුළුව දිය කෙළියේ
    එ ප ව ත් තොප සිතතොත් නො පැකිළියේ
    සැ ප ය ක් නම් නැත කම් රස කෙළියේ

අදහස:
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් වැරදි ලෙස පිනවීමට යාම සැපයක් ලෙස සිතා සිටියත් අවසානයේ එය මහා දුකකි; පාපයකි. ළිප මත තැබූ දිය පිරුණු හැළියක, බොහෝ සතුටින් ජල ක්‍රීඩා කරමින් කකුළුවා සිටින්නේ ඒ හැළියට ගින්දර දමන තෙක් පමණි. සැපක් යැයි සිතා කරන කම් සැප විඳීම ද එසේ ම ය.

6. අ ස ල් ගෙයෙක සොරකම් ගිය දවසෙක
    කු හු ල් සිතින් ඉන්නේ තම ගෙය රැක
    සි ය ල් සතුන් මරු ගෙන යනු දැක දැක
    කු ස ල් නො කැර ඉන්නේ ඇයි නො ව සැක

අදහස:
සොරුන් අසල නිවසකට පැන එහි සියලූ වස්තුව රැගෙන ගිය දා සිට තම නිවස රැක ගන්නේ තමන්ගේ නිවසටත් සොරුන් එති'යි යන සැකයෙනි. එහෙත් සියලූ සත්ත්වයන් මාරයා විසින් ගෙන යනු ලබන බව දැක දැකත්, කිසිදු සැකයක් නැතිව තමන් වෙත ද මාරයා එන බව දැන දැනත් කුසල් නො කර සිටින්නේ ඇයි?

7. ප ර සතුරන් එති එති යන බසටා
    හැ ර අඹු දරුවන් යන තොප වලටා
    ගොර ජර මරු එනු දැක දැක වෙතටා
    ප ර මාද ව ඉන්නේ ඇයි පිනටා

අදහස:
විදේශයකින් සතුරන් එන බව අසා දරුවන් බිරිඳ ආදීන් පවා අතහැර දමා කැලෑවට යන ඔබ, ඉතා දුෂ්කර වූ මහලූ වයසත්, මරණයත් ළඟට එන ආකාරය දැක දැක පින් කිරීමට ප්‍රමාද වන්නේ ඇයි?

8. ග ඟ වතුරෙහි යන මිනිසකු දුකිනේ
    ළ ඟ කළ ඔරුවට නො නැෙඟන ලෙසිනේ
    ස ග මොක් දෙන බණ අදහා නොගෙනේ
    දු ග තියෙ වැද තොප කිම දුක් විඳිනේ

අදහස:
ගංවතුරට හසු වී ගඟෙහි ගසා ගෙන යන මිනිසකු සමීපයට ඔරුවක් ළං කළ විට එයට ගොඩ නො වුව හොත් ගඟට වැටී විනාශ වීමට ඒ මිනිසාට සිදු වෙයි. එසේ ම දෙව්ලොව සැපත හා නිවන් සැපත ලබා දෙන බුදු බණ විශ්වාස නො කර අපායේ වැටී දුක් විඳ විනාශ වීමට උත්සාහ කරන්නේ ඇයි?

9. වැ නු වා නම් බුදු ගුණ වැනුවා ම ය
    තැ නු වා නම් තම සිත තැනුවා ම ය
    දෙ නු වා නම් දන් පින් දෙනුවා ම ය
    දි නු වා නම් පර ලොව දිනුවා ම ය

අදහස:
වර්ණනා කරන්නේ නම් බුදුන් වහන්සේගේ ගුණය ම වර්ණනා කළ යුතු ය. තනා ගන්නේ නම්, සකස් කර ගන්නේ නම් තම සිත ම තනා ගත යුතු ය; සකස් කර ගත යුතු ම ය. දෙනවා නම් දාන මාන හා පින් ම දිය යුතු ය. දිනන්නේ නම් පරලොව ම දිනිය යුතු ය.

10. කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ
      එළි කොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ
      විළි වැස්මක් නො ම විය දෙවි වුවත් අනේ
      කෙළියට වත් නො කරවු සොර කමක් දැනේ

අදහස:
සෙල්ලමට හා විහිළුවට මෙන් යහළුවකුගේ රෙදි කඩක් සොරකම් කළ කෙනකු තමා විහිළුවක් කළ බව පවසමින් එම රෙදි කඩ නැවත ආපසු දුන්නත් එයින් පාපයක් ම සිදු විය. එම පාපය නිසා ඒ තැනැත්තා දෙවියකු වී ඉපදුණත් ඔහුට විළි වසා ගැනීමට සළුවක් නො ලැබිණි. එබැවින් විහිළුවටවත් සොරකමක් නො කරන්නට සිතට ගත යුතු ය.

 

විරුද්ධාර්ථ පද

පහත සඳහන් වාක්‍ය කියවන්න.

  1. අයහපත් දේ අතහැර යහපත් දේ තෝරා ගැනීම සඳහා ලෝවැඩ සඟරාව උපකාරි වෙයි.
  2. අකුසලය අතහැර කුසලය අවබෝධ කර ගෙන දුදනන්ගෙන් මිදී සුදනන්ගෙන් ගුරු හරුකම් ගන්නට මිනිසා පොලඹවන ලෝවැඩ සඟරාව උපදේශ කාව්‍යයකි.
  3. නැවතුණු බුදුන් වහන්සේ නොනැවතුණු අංගුලිමාල දමනය කළ සේක.
  4. අඳුර දුරු කොට සඳ එළිය පැතිරෙයි.

ඉහත සඳහන් වැකිවල තද පැහැයෙන් යෙදී ඇති පද විමසා බලන්න. 

පදයක අර්ථයට විරුද්ධ අර්ථයක් දෙන පද විරුද්ධාර්ථ පද යනුවෙන් හැඳින්වේ. විරුද්ධාර්ථ පදයක් සකස් කර ගන්නා විධි කීපයක් ඇති බව ඉහත සඳහන් උදාහරණය මගින් පැහැදිලි වෙයි.

යහපත් - අයහපත් (අ+යහපත්)
කුසලය - අකුසලය (අ+කුසලය)
සුදනන්ගෙන් - දුදනන්ගෙන් (දු+දනන්ගෙන්)

මෙහි දී විරුද්ධාර්ථවත් පදය සකස් කර ගෙන ඇත්තේ 'උපසර්ග' යෙදීමෙනි. 

'නො' නිපාතය යෙදීමෙන් ද විරුද්ධාර්ථවත් පද සැකසෙයි.

හොඳ - නො හොඳ (නො + හොඳ)
නැවතුණු - නො නැවතුණු (නො + නැවතුණු)
කැඩුණු - නො කැඩුණු (නො + කැඩුණු)

දී ඇති පදයට විරුද්ධ අදහසක් දෙන පදයක් යොදා ගැනීමෙන් ද විරුද්ධාර්ථ පද සැකසිය හැකි ය.

උඩ - බිම                අහස - පොළොව
උස් - මිටි                හොඳ - නරක