7 - විධි ක්‍රියා - ආශීර්වාද ක්‍රියා

කිරීමක්, සිදු වීමක් හෝ විඳීමක් ගැන කියැවෙන පද ක්‍රියා පද යි. එම ක්‍රියා පද අතරින් වාක්‍යයක ආඛ්‍යාතය ලෙස යෙදෙන ක්‍රියා, අවසාන ක්‍රියා බවත් එසේ ආඛ්‍යාතය ලෙස නො යෙදෙන ක්‍රියා, අනවසාන ක්‍රියා බවත් මීට ඉහත ශ්‍රේණිවල දී ඔබ උගෙන ඇත. මේ පාඩමෙන් අවසාන ක්‍රියා ගණයට අයත් වන ක්‍රියා පද වර්ග දෙකක් උගනිමු.

විධි ක්‍රියා

(අ) කරුණාකර මැද පේළිය ඉස්සරහට යන්න. (බස් රථයක දී අසන්නට ලැබෙන විධි ක්‍රියාවකි)

(ආ) ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනු
      බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනු
      කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනු
      තමුන්ගේ තරම දැන ගෙන කල් හරිනු

(ඇ) මා කීව අසා තැති නො ගෙන නිසලව හිඳිනු මැන සොඳුර. මොවුහු මේ වනයේ වැද්දෝ වෙති...

(මනමේ නාටකය)

ඉහත නිදර්ශනවල සඳහන් තද කළු අකුරින් මුද්‍රිත ක්‍රියා පදවලින් ඇඟවෙන්නේ යම් විධානයක්/නියෝගයක්/ඉල්ලීමක් කිරීමකි. මේ නියෝග ආදරයෙන් මෙන් ම අනාදරයෙන් ද සිදු කෙරේ. කපනු, පනිනු, බඳිනු, හරිනු යන විධි ක්‍රියාවල ආදරය ගැබ් වී නොමැති අතර හිඳිනු මැන කී විට එහි ආදරාර්ථය සහිත ය. මේ අනුව යම් අණ කිරීමක් හෝ නියෝගයක් මෙන් ම ආයාචනයක් හෝ ඉල්ලීමක් කිරීම සඳහා භාවිත වන ක්‍රියා පද, විධි ක්‍රියා වන බව පැහැදිලි ය.

සිංහල භාෂාවේ විධි ක්‍රියා නිර්මාණය වන ආකාර කිහිපයකි.

1. ක්‍රියා මූලය ම (ක්‍රියා පදයක මූලික ස්වරූපය) විධි ක්‍රියා අර්ථය දීම.

උදාහරණ: බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන
            අස දැන් ත යන මග සලකුණු මෙතැන් සිට
            සැල කර ත ගිය කටයුතු සිටැ එකත් පස

(සැළලිහිණි සන්දේශය)

2. ක්‍රියා මූලයට පරව 'ව' හා 'වු' ප්‍රත්‍ය එක් කිරීම.

'ව' ප්‍රත්‍යය ඒක වචන අර්ථයෙහිත් 'වු' ප්‍රත්‍යය බහු වචන අර්ථයෙහිත් යෙදෙයි.

'ව' ප්‍රත්‍යය

උදාහරණ: "මඳක් ඉවසව කොල්ල, මගේ වචනය අසව"
                                         (මනමේ නාටකය)

ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
ළසල් රුකෙක සැතපෙව ළපලූ සිහිලළ
                      (සැළලිහිණි සන්දේශය)

'වු' ප්‍රත්‍යය

උදාහරණ: "වැද්දෙනි, තෙපි මෙතනින් නික්ම යවු"
             "යොමා කර නෙත් බලවු මනමේ කුමරු පැමිණේ"
                                            (මනමේ නාටකය)

... මගේ වැරයෙන් ම නිදහස් කොට තැබු ම
මගේ යුතුකමයි සලකවු හැම දෙන ම
(නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි)

3. 'නු' ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප ඒක වචනය හා බහු වචනය යන දෙවර්ගය ම හැඟවෙන විධි ක්‍රියා පද ලෙස යෙදේ.

උදාහරණ: ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
             උතුම් අදහසින් මෙය කියවනු සිතනු
             ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කන් යොමා....
                                          (සිංහබාහු නාට්‍යය)

4. ක්‍රියා මූලයට -න්න/-න්ට/-න්ඩ ප්‍රත්‍යය එක් වීමෙන් විධි ක්‍රියා නිර්මාණය වෙයි. මෙය කථා ව්‍යවහාරයෙහි යෙදෙන විධි ක්‍රියා රූපයක් වන අතර ඒක වචන හා බහු වචන භේදයෙන් තොර ය.

උදාහරණ: එන්න/එන්ට/එන්ඩ
             කන්න/කන්ට/කන්ඩ
             ලියන්න/ලියන්ට/ලියන්ඩ

  • ගංවතුරින් අසරණ වූ මිනිසුන්ගේ ජීවිතවලට සරණක් වන්නට ඔබත් දායක වෙන්න.
  • නිට්ටඹුව බහින අය ඉස්සරහට එන්ඩ.
  • දරුවනේ, අභ්‍යාස පොත් අරන් පෙළ පොතේ කි්‍රයාකාරකම කරන්න.

5. 'නු' ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූපවලට පසුව මැනවි/හොඳයි/යෙහෙකි/මනා ය වැනි නිපාත පද යෙදීමෙන් ද විධි ක්‍රියා සෑදේ. මෙම විධි ක්‍රියාවලින් ආදරාර්ථය ප්‍රකාශ වෙයි.්‍

උදාහරණ: "... බරණැස් පුරයට යෙහෙන් පැමිණ දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරනු මැනවි"
             "හිමියනි, ඔහුට සමාව දෙනු මැනවි"
                                       (මනමේ නාටකය)

            "... නුඹලා තිදෙනා මගියන් විය නො හැකි ය. ඇත්ත කියනු යෙහෙකි"
                                                         (සිංහබාහු නාට්‍යය)

6. ක්‍රියා මූලයට හෝ පූර්ව ක්‍රියාවට '-පිය' සහ '-පියවු' ප්‍රත්‍යය එක් වීමෙන් ද විධි ක්‍රියා නිර්මාණය වේ. 'පිය' යන්න ඒක වචනාර්ථයෙහිත් '-පියවු' යන්න බහු වචනාර්ථයෙහිත් යෙදේ. වර්තමාන ව්‍යවහාරයෙහි මෙය අනාදරාර්ථය ගැබ් වූ විධි ක්‍රියා විශේෂයක් සේ සැලකේ. එහෙත් පැරණි ව්‍යවහාරයෙහි දී මෙය සාදර අර්ථයෙහි යෙදී තිබේ.

උදාහරණ: රාං කිරිල්ලියෙ, රාං කිරිල්ලියෙ - රාං කුරුල්ලට එන්ඩ කියාපිය
             බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ - තෝත් නටාපිය මාත් නටන්නං

7. ක්‍රියා මූලයට -පන් හා -පල්ලා ප්‍රත්‍යය එකතු වීමෙන් සෑදෙන විධි ක්‍රියා ද සිංහල කථා ව්‍යවහාරයෙහි එයි. -පන් ඒක වචන අර්ථයත් -පල්ලා බහු වචන අර්ථයත් ප්‍රකාශ කරයි.

උදාහරණ: ඉණේ බලාපන් ඉණ වට සේල බලාපන්
            දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි බලාපන්
            පවු කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
            බලාපල්ලා මේ මූණේ හැටි...
            සතර දෙනෙක් සිට කළ පිඹපල්ලා
            කලා වැවට පින් දීලා පලයල්ලා

ආශීර්වාද ක්‍රියා

යමකුට සුබ හෝ අසුබ පැතුමක් කිරීමේ දී භාවිත වන ක්‍රියා විශේෂය ආශීර්වාද ක්‍රියා නම් වෙයි. ආශීර්වාද ක්‍රියා අනතීත කාලයෙහි, පුරුෂ තුනෙහි, ඒක වචන හා බහු වචනයෙහි යෙදෙන බව හඳුනාගත හැකි ය.

උදාහරණ:

  • සුබ පැතුම් අර්ථයෙහි යෙදෙන ආශීර්වාද ක්‍රියා

සුබ උපන් දිනයක් වේවා!
සුබ නව වසරක් වේවා!
"..සකල සම්පත්තියෙන් වැජඹේවා, ධනුද්ධර කුමරුනි"
"...චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙත්වා, දරුවනි"
                                   (මනමේ නාටකය)
"කැලේ තිඛෙන කොයි දේවත් රස වේවා"

  • සුබ පැතුම් අර්ථයෙහි යෙදෙන ආශීර්වාද ක්‍රියා

සතුරෝ වැනසෙත්වා!
හොරාට මේ කළ දේ පළ දේවා!

ආශීර්වාද ක්‍රියාව නිර්මාණය වන්නේ ප්‍රකාශන ක්‍රියා රූපයෙ අගට 'වේවා' යන අරුත් ඇති 'වා' නිපාතය එක් වීමෙනි. එබඳු ආශීර්වාද ක්‍රියාවක් උත්තම, මධ්‍යම හා ප්‍රථම යන පුරුෂ තුනෙහි වර නැගෙන්නේ මෙසේ ය.

සමහර අවස්ථාවල දී විධි ක්‍රියා රූප ද ආශීර්වාදාර්ථයෙහි යෙදෙයි.

උදාහරණ: දියෙන් ගොඩෙන් ගිනි ජාලා මැවීයන්
             සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා
             පමා වෙලා වැහැපන් වැහි වලාවේ
             තබන තබන පය ලිස්සා වැටීයන්
             මුතු මැණිකා මට හීනෙන් පෙනීයන්

තවත් අවස්ථාවක දී 'වා' ප්‍රත්‍යය නොමැතිව කි්‍රයා මූලය ම ආශීර්වාද ක්‍රියා ලෙස යෙදේ.

උදාහරණ: සුරවර සැරද විබිසණ දෙව් කැලණි පුර

ශුභ ප්‍රාර්ථනයක දී මෙන් ම අශුභ ප්‍රාර්ථනයක දී ද යෙදෙන බැවින් මෙම ක්‍රියා හැඳින්වීමට ප්‍රාර්ථනා ක්‍රියා යන්න ද භාවිත කෙරේ.