9 - ජනාසා වගකීම් ඉටු කරමු

නිසාම් හාජියාර්ගේ නිවසින් ජනාසාව පිටතට ගනියි. එක්රැස් වී සිටින ජනයා අතර ශිෂ්‍ය කණ්ඩායමක් ද සිටිති. මයියිතය මිහිදන් කර සුසාන භූමියෙන් ජනයා පිට ව යන තුරු ශෝකයෙන් සියල්ල දෙස හොඳින් අවධානය යොමු කළ සිසූහු නිසාම් ගුරුතුමා හමු වී දොඩමලූ වන්නෝ ය.

මුස්ලිම්වරුන් ජනාසාව දින කිහිපයක් නොතබා ගෙන ඉක්මනින් මිහිදන් කිරීම පිළිබඳ ව දැනගත හැකි ද?

ඉක්මනින් ඉටු කළ යුතු කරුණු කිහිපයක් ඉස්ලාම් දහම පෙන්වා දී ඇත. කෙනෙකු මිය ගියේ නම් ඔහු ඉක්මනින් මිහිදන් කළ යුතු ය, යන්න ඉන් එකකි. මිය ගිය පුද්ගලයා යහපත් අයෙකු නම් ඔහු යන ස්ථානය යහපත් ය. මේ තත්ත්වයේ දී ඔහු ප්‍රමාද කිරීම යහපත් නොවේ. තව ද මියගිය තැනැත්තා නිවසෙහි දිගට ම තබා ගැනීමෙන් නිවැසියන්ට හා ඥාතීන්ට ශෝකය අධික වේ. ඉක්මනින් මිහිදන් කිරීම මගින් එම තත්ත්වය නැතිව යයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අන් අය බැලීම සම්බන්ධ ව සීමා පනවා තිබේ ද? සියලූ දෙනාට ම ජනාසාව බැලීමේ අනුමැතිය ලබා දී නොමැති ද?

ඔව්, මුස්ලිම්වරුන්ට සීමා කිහිපයක් පවතී. පුරුෂ මයියතයක් පුරුෂයන්ට ද, ස්ත්‍රී මයියතයක් ස්ත්‍රීන්ට ද බැලිය හැකි ය. නමුත් "මහ්රම්" (විවාහ වීමට අනුමැතිය නොලත්) පුද්ගලයන් ද මයියතය බැලීමට අනුමැතිය ලත් පුද්ගලයන් වේ.

 

අපි මයියතයක් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් මොනවා ද?

මුස්ලිම්වරයකු මිය ගියේ නම් ඔහු වෙනුවෙන් යුතුකම් හතරක් ඉටු කිරීම අනෙකුත් මුස්ලිම්වරුන් හට වගකීමක් වේ.

  • නෑවීම
  • කෆන් කිරීම
  • සලාතය ඉටු කිරීම
  • මිහිදන් කිරීම

මෙම වගකීම් ඉටු නොකළ හොත් මුළු සමූහයා ම අපරාධකරුවන් ලෙස සැලකේ. මෙවැනි වගකීම් "ෆර්ලූ කිෆායා" නම් වේ.

කෙනෙකු මිය යනවාත් සමග ම කුමක් කළ යුතු ද?

කෙනෙකු මිය ගිය බව තහවුරු වුවහොත් ඔහුගේ ඇසි පිය වසා දැමිය යුතු ය. මුඛය වසා නිකට හිස සමග රෙදි පටියකින් ගැට ගැසිය යුතු ය. පාදවල මහපට ඇඟිලි දෙක එක්කර ගැට ගැසිය යුතු ය. සන්ධි කෙළින් කර තැබිය යුතු ය. පපුවේ සිට යටි උදරය දක්වා සෙමින් ඔබා උදරය තුළ ඇති අපද්‍රව්‍ය බැහැර කර ගෙන පසු ව සෝදා පිරිසිදු කළ යුතු ය. පසුව ඇල කර රෙද්දකින් වසා තැබිය යුතු ය.

ඉන් පසුව කුමක් කළ යුතු ද?

ප්‍රථමයෙන් මයියතය නෑවිය යුතු ය. මිය ගිය තැනැත්තාගේ අව්රතය, අඩුපාඩු හා රහසිගත කරුණු හෙළි නොකරන අන්දමේ විශ්වාසවන්ත ඥාතියකු මගින් මෙය කිරීම ඉතා සුදුසු ය. ඔවුන්ට අපහසු නම් අත්දැකීම් සහිතවූවන් සම්බන්ධ කර ගත හැකි ය. සීතල ජලය, උණු ජලය, ලූණු ජලය යනාදියෙන් සුදුසු ජලයක් භාවිත කළ හැකි ය. මසං ගසේ කොළ ද, සබන් ද භාවිත කරනු ලැබේ. කපුරු ද භාවිත කළ හැකි ය. අපද්‍රව්‍ය (නජීස්) කිසිවක් තිබේ නම් ජලය වත් කිරීමට පෙර ඒවා ඉවත් කළ යුතු ය. පළමුව වුළුඃ කරවා පසුව ජලය වත්කරනු ලැබේ. ජලය වත් කර අවසන් වූ පසු සිනිඳු රෙද්දකින් පිස දැමිය යුතු ය.

දිය නෑමෙන් පසු කුමක් කළ යුතු ද?

මයියතය කෆන් කළ යුතු ය.

කෆන් යනු කුමක් ද?

මයියතයට අන්දවන සුදු පැහැති වස්ත්‍රය "කෆන්" නම් වේ. මෙය පරණ පිරිසිදු රෙද්දක් ද විය හැකි ය. නමුත් අලූත් රෙදි භාවිත කරනු ලැබේ. පුරුෂයකු නම් රෙදි තුනකින් ද, ස්ත්‍රීන් නම් රෙදි පහකින් ද මයියතය ඔතනු ලැබේ. අව්රතය හෙළි නොවන සේ සමහර ස්ථානයන් හි සරල මැස්මක් දමනු ඇත. එයට සරල සේ නිවැරදි ව රෙදි කපා තබනු ලැබේ. අවසානයේ දී කෆන් රෙදිවල සුවඳ විලවුන් ගල්වනු ලැබේ. කෆන් කළ පසු හිසට ඉහළින් එක් ගැටයක් ද, පාදයට යටින් එක් ගැටයක් ද, ඉණ අසලින් තවත් ගැටයක් ද දමනු ලැබේ. පසුව මිහිදන් කිරීම සඳහා සන්දූක්හි තබා උරහිසින් දරා ගෙන යනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල දී පමණක් වාහනවල ගෙන යනු ඇත.

සලාතය ඉටු කරන්නේ කුමන වේලාවේ දී ද?

දිය නා කෆන් කළ පසු සලාතය ඉටු කරනු ලැබේ. මයියතය වෙනුවෙන් ඉටු කරන සලාතය අනෙකුත් සලාතයන්ට වඩා සුළු වශයෙන් වෙනස් ය. සිටගෙන සිටින තත්ත්වයේ දී ම ඉටු කරනු ලැබේ. මයියතය රඳවනු ලැබූ සන්දූක්, ඉමාම් ඉදිරියේ හරස්කොට තබයි. ඉමාම් ලෙස සිටින්නා මයියතය පුරුෂයකුගේ නම් මුහුණ කෙළින් ද ස්ත්‍රියකගේ නම් ඉණ කෙළින් ද සිට ගනියි. ඔහු පසුපස ජනයා පේළි වශයෙන් සිටගෙන ඉමාම් පිළිපදිමින් සලාතය ඉටු කරති.

"මෙම මයියතය වෙනුවෙන් අනිවාර්ය වූ තක්බීර් 4කින් යුක්ත සලාතය අල්ලාහ් වෙනුවෙන් ඉටු කරමි" යන නියියතය සමග සලාතය ආරම්භ කරනු ලැබේ. සලාතය මෙහෙයවන්නා "අල්ලාහු අක්බර්" යැයි හඬ නඟන විට මඃමූම්වරුන් තක්බීර් බඳිනු ඇත. පසු ව සූරතුල් ෆාතිහා උසුරිය යුතු ය.

දෙවන තක්බීරයට පසුව නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමානන් වෙත සලවාත් පවසනු ලැබේ. සලාතයේ අවසාන අත්තහියියාත්හි අන්තර්ගත "සලවාත් ඉබ්රාහිමියියා" උසුරීම යහපත් ය.

අර්ථය :- යා අල්ලාහ් ! ඉබ්රාහීම් නබිතුමා වෙත ද, එතුමා පිළිපදින්නන් වෙත ද, ඔබ දයාව දැක්වූවාක් සේ මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමා වෙත ද, එතුමා පිළිපදින්නන් වෙත ද දයාව දැක්වනු මැනව. තව ද, යා අල්ලාහ් ! ඉබ්රාහීම් නබිතුමා වෙත ද එතුමා පිළිපදින්නන් වෙත ද, ඔබ අභිවෘද්ධිය ලබා දුන්නාක් සේ ම මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් වෙත ද, එතුමා පිළිපදින්නන් වෙත ද අභිවෘද්ධිය ලබා දෙනු මැනව ! (බුහාරි)

තෙවන තක්බීරයට පසුව මයියතය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එවිට පහත දැක්වෙන දුආව පාරායනය ඉතා යහපත් ය.

අර්ථය: "ඕ අල්ලාහ්! මොහු සමා කරනු මැන. මොහුට දයාව දක්වනු මැන. මොහුට සුවය දෙනු මැන. මොහු සමාකරනු මැන. මොහුගේ සත්කාරය ගෞරවය පිණිස කරනු මැන. මොහු ප්‍රවේශ ස්ථානය පුළුල් කරනු මැන. මොහුව ජලය, හිම හා සිසිල් වූ පැන් මගින් දෝවනය කරනු මැන. තව ද කිළිටි වූ වස්ත්‍රය දියෙන් සෝදා පවිත්‍ර කරන්නේ කෙසේ ද එලෙසින් මොහුව පාපයන්ගෙන් සුවිශුද්ධ කරනු මැන. මොහුගේ නිවස වෙනුවට යහපත් නිවසක් ද මොහුගේ නිවැසියන් වෙනුවට වඩාත් යහපත් නිවැසියන් ද, මොහුගේ බිරිය වෙනුවට වඩාත් යහපත් බිරියක් ද, මොහුට ලබා දෙනු මැන. තව ද, මොහුව ස්වර්ගයට ඇතුල් කරනු මැන. තව ද, සොහොන් වේදනාවෙන් ද, නිරයේ දඬුවමින් ද මොහු ආරක්ෂා කරනු මැන."

සිව්වන තක්බීරයට පසු සලාම් පවසා සලාතය අවසන් කරනු ලැබේ. සලාම් පැවසීමට පෙර,

පහත දුආව පාරායනා කළ හැකි ය.

අර්ථය: "ඕ අල්ලාහ්! මොහුගේ කුලියෙන් අප නොවළක්වනු මැන. තව ද, මොහුගෙන් පසුව අප පරීක්ෂාවලට ලක් නොකරනු මැන. ඔබ අප ද, ඔහු ද සමා කරනු මැන." ඉන්පසු ජනාසාව ඔසවා ගෙන ගොස් මිහිදන් කරනු ලැබේ.

මයියතය කබ්රය මත තබා මිහිදන් කරන්නේ කෙසේ ද?

හිස් පොළොව මත මයියතය තබනු ලබයි. මේ සඳහා විශේෂිත වූ ආකාරයකින් කබ්රය හාරනු ලබයි. මයියතයේ ප්‍රමාණයට අනුව දිග ද, පළල ද, සහිත වන සේ කබ්රය සකසනු ලැබේ. එහි අභ්‍යන්තර වළ, බාහිර වළ ලෙස වළවල් දෙකක් ඇත. කිබ්ලාව පෙරටු කරගෙන මයියතය අභ්‍යන්තර වළ තුළ තබනු ලැබේ. එවිට මයියතයේ දකුණු පෙදෙස පොළොවේ රැෙඳන ලෙස ද පිට පෙදෙස කබ්රයේ බිත්තියේ ස්පර්ෂ වන ලෙස ද තබනු ලැබේ. මයියතය අභ්‍යන්තර වළ තුළ රැඳවීම සඳහා පටියක් හෝ ශක්තිමත් රෙද්දක් භාවිත කරනු ලැබේ. අභ්‍යන්තර වල තුළ මයියතය රැඳවූ පසු කෆනයෙහි දැමූ ගැට 3 ලිහිල් කරනු ලැබේ. දකුණු කම්මුල මත වැදෙන සේ පස් පිඩක් තබනු ලැබේ. අභ්‍යන්තර වළ ලෑලිවලින් වසනු ලැබේ. බාහිර වළ පස්වලින් පුරවනු ලැබේ. පසු ව මයියතය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලැබේ.

මෙලෙස අදහස් හුවමාරු වූ පසු ව සිසූහු නිසාම් ගුරුතුමාට ස්තුති කර සමුගත්හ.