25 - හලාල් හරාම් පිළිපදිමු

අල්ලාහ් අනුමත කළ දෑ පිළිපැදීමත්, තහනම් කළ දෙයින් වැළකී සිටීමත් හලාල්, හරාම් පිළිපැදීම යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය ඉස්ලාමයේ මූලධර්මවලින් එක් අංගයකි.

ඉස්ලාම් ධර්මයේ අනුමත දේ හලාල් යැයි ද අනුමත නොකළ දේ හරාම් යැයි ද හඳුන්වනු ලැබේ. හරාම් වූ දේ කිරීම වරදක් මෙන් ම පාපී ක්‍රියාවක් ද වේ. අල්ලාහ්ට බිය වී, ඔහුගේ නීතියට ගරු කර හලාල් වූ සීමාවේ ජීවත් වීමෙන් පමණක් මෙලොව හා පරලොව යහපත් ආනිශංස ලබා ගැනීමට හැකි වන්නේ ය.

"හලාල් කුමක් ද, හරාම් කුමක් දැයි තීරණය කිරීමේ බලය ඇත්තේ අල්ලාහ්ට පමණි. අල්ලාහ්ට තිබෙන එම බලයට මිනිසුන් හිස දැමීම මහා පාපයකි,"(16 : 116 - 117)

අල්ලාහ් මිනිසා මැවීමට පෙර ම ලොවේ සියලූ දේ මිනිසා වෙනුවෙන් ම මැව්වේ ය. පසුව මිනිසා පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඒවායින් සමහරක් හරාම් කළේ ය. මිනිසාගේ පරම විරෝධියකු වන ෙෂෙතාන් මිනිසා හරාම් දෙසට ම හරවමින් සිටියි. ෂෛතාන්ගේ අරමුණ මිනිසා පාපී ක්‍රියාවන් කිරීමට පොළඹවා ඔහු නිරය වෙත ඇදගෙන යාමයි.

සත්‍ය වශයෙන් ම හලාල් දේවල්හි ම අධික වූ යහපත ඇත්තේ ය. හරාම් දේවල්හි අයහපතම අධිකව පවතී. අල්ලාහුතආලා මිනිස් යහපතට ම වැදගත්කම දී හලාල් හරාම් ඇති කොට තිබේ.

අල්ලාහ් හරාම්කළ දේ පහත සඳහන් අයුරින් වර්ග කළ හැකි ය

1. ආහාර හා සම්බන්ධ දේ

ඌරුමස්, මළමිනී, රුධිරය (ලේ), ශරීරයට හා ප්‍රාණයට හානි කරන දේ, මත් භාවය ඇති කරන දේ, රත්තරන්, රිදී භාජනවල ආහාර පාන ගැනීම.

2. ඇඳුම් හා සම්බන්ධ දේ

පිරිමීන්ට සේද රෙදි, රත්තරන් ආභරණ, පිරිමීන් ස්ත්‍රීන් ලෙස වෙස් ගැනීම, ස්ත්‍රීන් පිරිමි වෙසින් ඇඳුම් ඇඳීමත්, ඉස්ලාමීය ෂරීආවට පටහැනි වූ ඇඳුම්.

උදා : ශරීර අවයව පෙනෙන ඇඳුම්

3. ඉපැයීම හා සම්බන්ධ දේ

පොළිය මෙන් ම ඒ හා සම්බන්ධ ගනුදෙනු, අනෙකුත් තහනම් කළ ගනුදෙනු ක්‍රියා හා සම්බන්ධ පටිපාටීන්

4. පිරිමි හා ගැහැනු සම්බන්ධ දේ

අජ්නබි - මහ්රමි සීමාවන් නොසලකා හැරීම.

5. දුරාචාරය සම්බන්ධ දේ

  • (z)සිනා (දුරාචාරය)
  • ලිවාත් (සමලිංගික සේවනය) යනාදිය

6. අන් අයගේ අයිතිවාසිකම් හා සම්බන්ධ දේ

  • සොරකම
  • නිකරුණේ අවලාද කීම
  • අවමානයට ලක් කිරීම
  • ජීවිතක්ෂයට පත් කිරීම
  • දේපළවලට හානි කිරීම යනාදිය.

7. සාරධර්ම හා සම්බන්ධ දේ

  • බොරු කීම
  • රැවටීම
  • ඊර්ෂ්‍යාව
  • අසභ්‍ය වචන කතා කිරීම
  • බොරු සාක්කි දීම
  • අසභ්‍ය ක්‍රියා
  • අල්ලාහ් වැළැක් වූ දේ බැලීම
  • ඇසීම යනාදිය.

ඉහත සඳහන් ආකාරයට අල්ලාහ් හරාම් කළ දේ ලැයිස්තු ගත කළ හැකි ය. මෙසේ කිරීම අල්ලාහ්ගේ අණට පිටුපෑමක් වන්නේ ය. ඉහත සඳහන් දේවලින් සම්පූර්ණයෙන් ම වැළකිය යුතු ය.

නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ.

"හලාල් පැහැදිලි ය. හරාම් ද පැහැදිලි ය. ඒ දෙක මධ්‍යයෙහි සැක සහිත දෑ ද ඇත. බොහෝ දෙනා ඒ පිළිබඳව නොදැනුවත්ව සිටිති. කවරෙක් සැක සහිත දේවලින් වැළකී සිටින්නේ ද ඔහු ආගම හා ආත්මගරුත්වය ආරක්ෂා කර ගත්තේ ය. කවරෙක් අවිනිශ්චිත වූ දේවල් කරන්නේ ද ඔහු හරාම් කළ තැනැත්තා ය. ඔහු ආරක්ෂිත සීමාවන් දමා තිබෙන භූමියේ ගොපල්ලකු වැනිය. ඔහුගේ සතුන් එම භූමියට ඇතුළු වීමට හැකියි නේ ද? දැනගන්න, හැම රජෙකුට ම ආරක්ෂිත සීමාවක් තිබේ. අල්ලාහ්ගේ ආරක්ෂිත ප්‍රදේශය ඔහු හරාම් කළ දේවල් ය." (බුහාරි, මුස්ලිම්)

හරාම් වූ දේවලින් වැළකී සිටීමෙහි වැදගත්කම අල්කුර්ආන්, සුන්නාහ් යන දෙක ම නොයෙකුත් පදමාලාවන්ගෙන් විදහා පා ඇත. 'හරාම් වූ දේට ළං නොවන්න.' 'එය නොකරන්න, වළකින්න, අනුගමනය නොකරන්න, එය පවකි, නොකරන්න' යනාදිය ඒවායින් සමහරකි.

එනිසා මේවා තේරුම් ගෙන හරාම් වූ දෙයින් වැළකී
ජීවත් වීමට උත්සාහ දරමු.