9 ශ්රේණියේ ඉගෙනුම ලබන බාසුරු, දෙවි පියාණන් වහන්සේට ආදරය කරන ඉතා යහපත් දක්ෂ සිසුවෙකි. ඔහු නිතර සැම දෙනාගේ ප්රශංසාවට ලක් වූයේ සැබවින් ම ඔහු තුළ තිබූ යහපත් ගුණාංග නිසා ය. එම නිසා ඔවුන් නිතර ම උපදෙස් දෙමින් කියා සිටියේ; "අපි මේ කියන්නේ ඔය ළමයින්ට ආදර්ශයට ගන්න බලන්න, බාසුරු හොඳ දරුවෙක්. ඇයි ඔයාලට එහෙම හැදෙන්න බැරි? ඔයාලගේ හැසිරීම අන්තිම නරකයි. කිසි ම දෙයක් හරියට කරන්නේ නෑ. ඔයාලා ඉන්නේ මේ ලෝකේ නෙමෙයි." මෙසේ සැම විට ම විදුහල්පතිතුමාගේ හා ගුරුවරුන්ගේ අප්රසාදයට ලක් වූ සිසුන් කිහිපදෙනෙක් කෙසේ හෝ බාසුරු ව ද තම වසඟයට ගැනීමට තීරණය කළෝ ය.
පාසල නිම වී ගෙදර යන බාසුරුට ඉතා සුහද ව කතා කළ ඔවුහු ජංගම දූරකථනයක් පෙන්වමින්, එය ඉතා අගනා සුන්දර දසුන්වලින් සමන්විත බව ඒත්තු ගන්වන්නට වූහ. එය නැරඹීමට කෙසේ හෝ ඔහු පොලඹවා ගත් මොවුන් සුන්දර දෙයින් අසුන්දර දෙයට ඔහු ගෙන ගියේ ඉතා සූක්ෂම ලෙස ය. අවසානයේ බාසුරු ද ජංගම දූරකථනයට තම ජීවිතය බාර දී සියල්ල අහිමි කර ගත්තේ ඔහු ද නොදැනුවත් ව ය.
බාසුරු විභාග අසමත් වූවා පමණක් නොව සැමගේ අප්රසාදයට ලක් වූවෙකු බවට පත් විය. සියලූ දෙනා ඔහු අතහැර ගියෝ ය. ඔහුට ආදරවන්ත දෙවි පියාණන් වහන්සේ සිහි වූයේ එවිට ය. ඔහු පියතුමා ළඟට ගොස් සිදු වූ සියල්ල පවසා පාපෝච්චාරණය කළේ ය. පියතුමාගේ අවවාදයෙන් හා දේව ආශිර්වාදයෙන් සියල්ල තේරුම් ගෙන නැවත තමාට අහිමි වූ ජීවිතය ලබා ගැනීමට බාසුරු තීරණය කළේ, කිසිදු දිනක වැරදි වැඩ නොකිරීමේ අධිෂ්ඨානයෙන් ය.
දෙවි සමිඳාණන් වහන්සේ ආදම් සහ ඒව ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස එහි පදිංචි කරවූ සේක. එහි දී දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් අවවාදය කුමක් දැයි බලමු.
ඉහත දක්වා ඇති බයිබල් පාඨයෙන් අපට ගත හැකි පාඩම වන්නේ දෙවියන් වහන්සේ ආදර පියෙකු මෙන් අපට ද නිවැරදි මඟ යන්නට අවවාද දෙන බව ය. විශේෂයෙන් අපගේ හෘද සාක්ෂිය තුළින් කථා කරන සේක. එම නිසා අප සැම විට ම දේව හඬට සවන් දිය යුතු ය.
පුරුෂයාත් ස්ත්රියත් උයනේ ජීවත් වුහ. අවශ්ය ප්රමාණයට ආහාර ලදහ. දෙවියන් වහන්සේ ඔවුන් සමග මිත්ර වූ නිසා ඉතා සතුටින් ජීවත් වූහ. දෙවි පියාණන් වහන්සේ මැවූ අනෙක් සියලූ සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. සර්පයා ස්ත්රිය පරීක්ෂාවට ලක් කළේ ය. සර්පයා ස්ත්රියට කතා කොට ඒදන් උයනේ ඇති කිසියම් ගසකින් ගෙඩි නොකන ලෙස, දෙවියන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක් දැයි ප්රශ්න කළේ ය. සියලූ ගස්වල ගෙඩි කෑමට අවසර ඇති නමුත් උයන මැද ඇති ගසෙන් පමණක් කන්න තහනම් බව කීවා ය. එසේ කළහොත් ඔවුන් මැරෙන බව ඇය කීවා ය. එහෙත් ඔවුන් නොමැරෙන බවත් එම ගසේ ගෙඩි කෑවොත් ඔවුන්ගේ ඇස් පෑදී දෙවියන් වහන්සේ හා සමාන වී හොඳ නරක දැනගන්නට ඔවුන්ට හැකි වන බවත් සර්පයා දැන්වී ය.
සර්පයාගේ රැවටිලි බස්වලට අසු වූ ස්ත්රිය ඒ ගසේ ගෙඩි ඉතා රසවත් යැයි ද තමනට බුද්ධිය ලබා දෙනු ඇතැයි ද සිතුවා ය. ඕ ගෙඩි කිහිපයක් ගෙන කෑවා ය. පුරුෂයාට ද ගෙඩි සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය.
ඉහත කථාවෙන් අපට පෙන්නුම් කරන්නේ ආදම් සහ ඒව පාපයට වැටුණු ආකාරයයි. එසේ ම අප ද නිතර ම දෙවි පියාණන් වහන්සේට කිට්ටුවෙන් නොසිටියහොත් ආදිමවුපියන් රැවටූ ආකාරයට සාතන් අප ද නිසැක ව රවටනු ඇත. විශේෂයෙන් දුර්පරීක්ෂාවල දී හෘද සාක්ෂියට සවන් දී එයට අවනත විය යුතු ය. පාප පරීක්ෂාවලට නොවැටී ඒවා ජය ගත යුතු ය. දුර්පරීක්ෂා ජය ගත් ජේසුස් වහන්සේ අපි අනුගමනය කළ යුතු වෙමු.
දෙවියන් වහන්සේ ආදි මවුපියන්ට දඬුවම් කළේ වෛරයෙන් නොව ප්රේමයෙනි. අප වරදක් කළ විට දෙමාපියන් දඬුවම් කරන්නේ අපට ඇති ආදරය නිසා ය. එය අප තේරුම් ගත යුතු ය.
දෙවියන් වහන්සේට අකීකරු වූ ආදම් සහ ඒවට අනුකම්පා කර දෙවියන් වහන්සේ ඔවුන්ට විමුක්තියේ පොරොන්දුවක් දුන් සේක. පාපයට වැටුණු මිනිසාට නොවෙනස් ව ප්රේම කළ දෙවියන් වහන්සේ ඔහු ව පාපයෙන් ගලවා ගැනීමට ගැලවුම්කරුවකු එවීමට පොරොන්දු වූ සේක. එම පොරොන්දුව උත්පත්ති 3:15 වගන්තියේ මෙසේ සඳහන් වේ.
මේ පොරොන්දුවේ ස්ත්රියගේ වංශය යනුවෙන් හැදින්වෙන්නේ මානව වංශය යි. සර්පයා සාතන් ය. යක්ෂයාත් මිනිසාත් අතර සදහට ම වෛරයක් පවතින බව මෙයින් කියැවේ.
"ඔහු තගේ හිස පොඩි කරන්නේ ය" යන වැකියෙහි "ඔහු" යනුවෙන් අදහස් කරන්නේ ගැලවුම්කරුවාණන් වූ ජේසු සමිඳාණන් වහන්සේ ය. අකීකරු වූ මිනිසාට පවා ඉතා ආදරය කළ දෙවියන් වහන්සේ පාපයේ වහල්කමින් මිනිසා මුදා ගැනීම සඳහා ගැලවුම්කාරයකු එවන බව එම පොරොන්දුව තුළ ගැබ් වී තිබේ.
ආදම් සහ ඒවට හම් වස්ත්ර සාදා දීමෙන් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව ආදරය හා රැකවරණයයි. මිනිස් දුර්වලතා අභියස දෙවියන් වහන්සේ අපට ද කරුණාව දක්වන සේක. එම නිසා අප ද අන් අයට කරුණාව දැක්විය යුතු ය.