මෙලොව උත්පත්තිය ලබා ප්රසාද ස්නාපනය මගින් කතෝලිකයන් වන සැම කෙනෙකු ම ජීවිත දෙකකට හිමිකම් කියයි. එනම්, ලෞකික ජීවිතය සහ සදාතනික ජීවිතයයි. ලෞකික ජීවිතය කෙටිකාලීන වුවත් සදාතනික ජීවිතය සදාකාලික වේ. සදාතන ජීවිතය අත්කර ගැනීමට ලෞකික ජීවිතය තුළ පින් කුසල් රැස්කර ගත යුතු ය. එදිනෙදා ජීවිතයේ දී මෙන් ම අප යාච්ඤා කරන විට තමාගේ මෙන් ම අන් අයගේ යහපත වෙනුවෙන් යාච්ඤා කිරීමට යොමු විය යුතු ය. ශුද්ධ බයිබලයේ ද යහපත් දේ අයදීම පිළිබඳ ව උගන්වයි.
සලමොන් රජතුමාගේ යාච්ඤාව
ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්රියේ දී ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වී, "මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ"යි වදාළ සේක. සලමොන් රජතුමා කතා කොට, මෙසේ ඉල්ලී ය; "ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව" (1 රාජාවලිය 3:9). සලමොන් රජතුමා මේ දේ ඉල්ලු නිසා දෙවියන් වහන්සේ ඊට ප්රසන්න වූ සේක. තියුණු නැණ නුවණ ද ධනය ද ගෞරවය ද සලමොන් රජතුමාට ලැබෙන බව දැන්වූ සේක.
අයහපතින් යහපත හඳුනා ගැනීමේ වරම ද තමන්ට ගැළපෙන දේ තෝරා ගැනීමට ශක්තිය ද දානය කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාච්ඤා කිරීම වැදගත් වන බව මෙයින් සනාථ කරයි. එසේ ම දෙවියන් වහන්සේගෙන් ඈත් ව හුදකලා වූ විට දුර්විපාක අත්වන බව ද මතක් කර දෙයි. මිනිසෙකු පාපයෙන් ඈත් වන විට ඔහුගේ අවැසිතා සියල්ල දෙවියන් වහන්සේ ලබා දෙන බව මෙයින් අපට උගන්වයි.
යහපත දෙස බැලිය යුත්තේ භෞතික ව නොව ආධ්යාත්මික ව ය. ඔබේ ජීවිතය අර්ථවත් වන්නේ ඔබ අනෙක් අය සඳහා ජීවත් වුවහොත් පමණකි. අනුන් සඳහා ජීවත් වීමටත්, අනුන් සතුටු කිරීමටත් උදාර පෞරුෂයක් ගොඩනඟා ගත යුතු ය. යහපත තුළින් සිදු විය යුත්තේ දෙවියන් වහන්සේ වෙත තව තවත් ළං වීමයි. පුද්ගලයෙක් භෞතික සැප සම්පත් තුළින් යහපත දෙස බලන්නේ නම් ඇතැම් විට ඔහු විනාශය කරා ගමන් කළ හැකි ය. එනම්, භෞතික සම්පත් ලැබීම තුළ දෙවියන් වහන්සේගෙන් ඈත්වීමට ඉඩ ඇත. මේ නිසා යහපත් දේ කුමක් ද යන්න තීරණය කරන්නේ දෙවියන් වහන්සේ ය.