"චුන්ද, මා විසින් අවබෝධ කරගෙන යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද එම ධර්මය අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සංසන්දනය කරමින් සංගායනා කළ යුතු ය. විවාද නොකළ යුතු ය. එය සියල්ලන්ගේ යහපත පිණිස හේතු වෙයි."
බුදුරජාණන් වහන්සේ ශාක්ය ජනපදයෙහි වේධඤ්ඤ නම් වූ ශාක්ය රජදරුවන්ගේ උයනෙහි වැඩවසන සමයෙහි මෙම ප්රකාශය කර ඇත්තේ චුන්ද හිමියන් අමතමිනි. එයට හේතු වූයේ නිගණ්ඨනාතපුත්ත ශාස්තෘවරයාගේ අභාවයෙන් පසුව එම ශාසනයට අත්වූ ඉරණම චුන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේට දැනුම් දීමයි. ඉහත ප්රකාශයෙන් පැහැදිලි වන්නේ ශාසනික ගැටලූ විසඳීම සඳහා සංගායනා පැවැත්වීම අනුදැන වදාළ බවයි. ඒ අනුව සංගායනා පැවැත්වීමේ මූලික අර්ථය සාකච්ඡා මාර්ගයෙන් ධර්ම විනය නිරවුල් කර ගැනීම හා ගැටලූ විසඳා ගැනීමයි. ශාසන ඉතිහාසය තුළ එසේ ගැටලූ ඇති වූ අවස්ථාවන්හි දී ශාසන භාරධාරී මහතෙරවරුන් මුල් වී සංගායනා පවත්වා ඇත. එසේ පැවැත් වූ පළමු ධර්ම සංගායනාව පිළිබඳ ව අටවෙනි ශ්රේණියේ දී අපි උගතිමු. මෙහි දී දෙවන හා තෙවන සංගායනා පිළිබඳව විමසා බලමු.
දෙවන ධර්ම සංගායනාව
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන පැවැත් වූ පළමු ධර්ම සංගායනාව විවිධාකාරයෙන් ශාසන චිරස්තිථීයට හේතුවිය. එහෙත් එයින් සියවසක් ඇවෑමෙන් නැවත සසුන තුළ ගැටලූ මතුවිය. විශේෂයෙන් බුදුරදුන් විසින් නොපැනවූ නීති නොපැනවීමටත් පනවන ලද නීති කඩ නොකොට ආරක්ෂා කිරීමටත් ප්රථම සංගායනාවේ ගෙන තිබූ තීරණය ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් මේ වන විට නොසලකා හරින තත්ත්වයට පත් ව තිබුණු බව පෙනේ. වජ්ජිපුත්තක භික්ෂූන්ගේ ක්රියාකලාපය මෙයට නිදසුනකි. වජ්ජි රාජ්යයේ විසූ එම භික්ෂු පිරිස සාමාන්ය ජනතාවගේ පමණක් නොව එකල පාලකයා වශයෙන් කටයුතු කළ කාලාශෝක රජුගේ පවා අනුග්රහය ලැබීමට තරම් ශක්ති සම්පන්න කාකණ්ඩ පුත්ර යස හිමියන් විශාලාවෙහි චාරිකාවක නිරත වූයේ මේ කාලයේ ය. එදින පොහෝ දිනයකි. වජ්ජි පුත්තක භික්ෂූහු විහාරස්ථානයට පැමිණෙන උපාසක පිරිසෙන් පිරිකර ලබා ගැනීමට යැයි කියමින් ලෝහමය පැන් භාජනයකට කහවනු දමන ලෙස ඉල්ලා සිටියහ. යස හිමියෝ මෙම ක්රියාවලිය දැක එය අකැප බව දායකයනට පෙන්වා දුන්හ. එහෙත් උපාසකවරු පෙර පරිදි ම බඳුනට කහවනු දැමූහ. පසුව වජ්ජිපුත්තක භික්ෂූහු සම්මාදම් කළ කහවනුවලින් කොටසක් යස හිමියන්ට ද ලබා දීමට උත්සාහ කළහ. එහෙත් යස හිමියෝ එය ප්රතික්ෂේප කළහ. කහවනු සම්මාදම් කිරීමේ සිද්ධිය ද ඇතුළත් ව විනය විරෝධී ක්රියාකාරකම් දහයක් වජ්ජිපුත්තක භික්ෂූන් විසින් අනුගමනය කරන ලද බව යස හිමියන්ට දැනගන්නට ලැබුණි. චුල්ල වග්ග පාලියේ දැක්වෙන පරිදි එම අකැප දස වස්තුව මෙසේ ය.
"ඔබ වහන්සේ මෙම කරුණුවලට විරුද්ධත්වය ප්රකාශ කිරීමෙන් උපාසක උපාසිකා පිරිස් අප කෙරෙහි කලකිරවතැ"යි චෝදනා කොට වජ්ජි පුත්තක භික්ෂූහු යස හිමියනට පටිසාරණීය කර්මය කළහ. (ගිහියන්ගෙන් සමාව ගැනීමට නිර්දේශ කරන දඬුවම පටිසාරණීය කර්ම නම් වේ.) තව දුරටත් මෙම දස වස්තුවට එරෙහි ව අදහස් දැක්වීම හේතු කොට ගෙන උන් වහන්සේට උක්ඛේපනීය කර්මය කිරීමට ද වජ්ජිපුත්තක භික්ෂූහු සැලසුම් කළහ. (වැරැදි හෙවත් ඇවැත් නොදන්නා, නොපිළිගන්නා භික්ෂූන්ට වරප්රසාද තහනම් කිරීම උක්ඛේපනීය කර්මයයි.) මේ ක්රියාවලිය දැනගත් යස තෙරණුවෝ ඊට පෙර ආපසු කොසැඹෑ නුවරට වැඩම කළහ. අනතුරුව පාවා හා අවන්ති ප්රදේශවල වාසය
කරන භික්ෂූන් වහන්සේලා ද දැනුවත් කොට වජ්ජි පුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස වස්තුවට එරෙහි ව ධර්ම විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්රියා කළහ. ඒ අනුව පළමුව පාවා ප්රදේශයෙන් භික්ෂූන් වහන්සේලා හැට නමක් ද අවන්ති ප්රදේශයෙන් භික්ෂූන් වහන්සේලා අසූඅට නමක් ද සම්බන්ධ කර ගන්නා ලදහ. එහි දී එවකට විසූ ජ්යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා වෙතින් උපදෙස් ලබා ගැනීමට ද සබ්බකාමී සහ යස යන හිමිවරුන් විසින් ක්රියා කළහ. වනවාසී සම්භූත, සෝරෙය්ය නුවර වැසි රේවත යන මහ තෙරුන් වහන්සේලාගේ උපදෙස් ලබා ගන්නා ලද්දේ ඒ අනුව ය.
වජ්ජිපුත්තක භික්ෂූහු තමනට එරෙහිව මතුවන විරෝධයන් මර්දනය කරලීමට අවශ්ය බොහෝ ක්රියාකාරකම්වලට යොමු වූහ. ඉන් එක් පියවරක් වූයේ රේවත හිමියන් වෙත විශාල වශයෙන් පිරිකර පූජා කොට උන් වහන්සේගේ සහාය තම පාර්ශ්වයට ලබා ගැනීමට උත්සාහ ගැනීම ය. එහෙත් රේවත හිමියන් ඒවා ප්රතික්ෂේප කිරීම නිසා එම උපක්රමය අසාර්ථක විය. අනතුරුව යොමු වූයේ මේ වන විට බුදු දහම පිළිබඳ ව අනවබෝධයෙන් සිටි කාලාශෝක රජතුමා තම වචනයට අවනත කර ගැනීමට ය. එම උත්සාහය තරමක් සාර්ථක විය. යස හිමියන් ඇතුළු පිරිස විසාලාවට පැමිණීම වැළැක්වීමේ නියෝග නිකුත් කිරීමට රජතුමා යොමු වූයේ එහි ප්රතිඵලයක් වශයෙනි. එහෙත් රජතුමාගේ නැගණියක වූ නන්දා රහත් මෙහෙණින් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව රජතුමාට යථාර්ථය තේරුම් ගැනීමට හැකි විය. ඉන් සිදු වූයේ ධර්මවාදී භික්ෂූන් වහන්සේලාට සහාය දීමට රජතුමා යොමු වීමයි. අනතුරුව විසාලා මහනුවර මහවනයෙහි කූටාගාර ශාලාවට ධර්මවාදී විශාල භික්ෂු පිරිසක් එක් රැස් වූහ. එහිදී භික්ෂූන් අතර විවිධ මතවාද වූයෙන් දසවස්තුව පිළිබඳ ව සම්මතයකට පැමිණීමට නොහැකි විය. අනතුරුව රැස් වූ භික්ෂු පිරිසගෙන් කාරක සභාවක් (උබ්බාහිකාවක්) පත් කරගෙන මෙම ගැටලූව විසඳීමට ක්රියාකිරීම සුදුසු බවට රේවත හිමියන් ගෙනා යෝජනාව සභා සම්මත වූයේ ය. ඒ අනුව එතැන රැස්ව සිටි පාචීන හෙවත් පෙරදිග ප්රදේශය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලාගෙන් හතර නමක් එම උබ්බාහිකාවට (කමිටුවට) පත්කර ගන්නා ලදහ. උන් වහන්සේලා නම් සබ්බකාමි, සාල්හ, බුජ්ජසෝභිත, වාසභගාමී යන ස්වාමීන් වහන්සේලා ය. පාවෙය්යක හෙවත් බටහිර ප්රදේශය නියෝජනය කරමින් පත් වූයේ රේවත, සම්භූත, යස, සුමන යන ස්වාමීන් වහන්සේලා සිව් නම ය. එම කාරක සභාව විසින් පුළුල් අධ්යයනයකින් පසුව තීරණය කළේ දස වස්තුව විනය විරෝධී බවයි. කාරක සභාවේ සභාපතිත්වය දරන ලද්දේ සබ්බකාමී තෙරණුවන් විසිනි. මේ අවස්ථාවේ ශාසනයේ චිර පැවැත්ම උදෙසා සංශෝධනයක් ඇතිකරලීමටත් දසවස්තුව විනය විරෝධී බව තහවුරු කිරීමටත් අවශ්ය සංඝ සම්මුතිය ලබා ගැනීම උදෙසා දෙවන ධර්ම සංගායනාව පවත්වන ලදි.
සංගායනාව පිළිබඳ තොරතුරු සම්පින්ඩණය
1. හේතුව
වජ්ජි පුත්තක භික්ෂූන් විසින් ක්රියාත්මක කරගෙන එනු ලැබූ විනය විරෝධී දසවස්තුව.
2. මූලිකත්වය
කාකණ්ඩ පුත්ත යස හිමියන් වජ්ජි පුත්තක භික්ෂූන් පිළිගත් අකැප දස වස්තුවට එරෙහිව සුවිශාල කාර්යභාරයක් ඉටු කළ ද ජ්යෙෂ්ඨත්වය අනුව සංගායනාවේ මූලිකත්වය හෙබවූයේ සබ්බකාමී මහරහතන් වහන්සේ ය.
3. අනුග්රාහකත්වය
කාලාශෝක රජතුමා.
4. සහභාගි වූ පිරිස
ත්රිපිටකය පිළිබඳ ව පුළුල් දැනුමක් ඇති මහ රහතන් වහන්සේලා හත්සිය නමකි. එබැවින් මෙම දෙවැනි ධර්ම සංගීතිය සත්තසතික සංගීතිය ලෙස හැඳින්වේ.
5. ස්ථානය
විශාලා මහනුවර වාලූකාරාමය
6. වකවානුව
බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසු
7. ගත වූ කාලය
මාස අටකි
8. ප්රතිඵල
තෙවන ධර්ම සංගායනාව
අශෝක සමය ශාසන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ යුගයකි. කාලාශෝක රාජ්ය සමයෙන් පසුව භාරතයේ බුදු සසුන නැවත ප්රබෝධයට පත්වූයේ අශෝක රාජ්ය සමයෙහි දී ය. එයට හේතු වූයේ බොහෝ පාලකයන් ශාසන උන්නතිය පසෙක ලා රාජ්ය උන්නතිය පමණක් සලකා කටයුතු කිරීමයි. රාජ්ය අනුග්රහය නොමැති සෑම අවස්ථාවක ම සිදුවනුයේ ශාසනික පරිහානියකි. කාලාශෝක රජුගෙන් පසුව බලයට පත් ඔහුගේ දරුවන්ගෙන් ද අනතුරුව බලයට පත් නන්ද රාජ පෙළපතට අයත් පාලකයන්ගෙන් ද ශාසන අභිවෘද්ධියට අදාළ ප්රමාණවත් මෙහෙවරක් ඉටු නොවුණු තරම් අශෝක සමයේ දී බුදු සසුනට රජු විසින් දක්වන ලද ඇල්මත්, පුද සත්කාරත් නිසා අන්යාගමිකයින්ට ලැබුණ වරප්රසාද හීන විය. බෞද්ධ බලය ක්රමයෙන් වර්ධනය වන්නට විය. මෙයින් නොසතුටු වූ අන්යාගමිකයෝ විවිධ ලාභ ප්රයෝජන අපේක්ෂාවෙනුත් බුදු සසුන කෙලෙසීමේ අපේක්ෂාවෙනුත් තමන් විසින් ම සිවුරු පොරවාගෙන ව්යාජ ලෙස භික්ෂු වෙස් ගත්හ. වැඩි වශයෙන් මෙබඳු පිරිස් සසුනට එක් වීම නිසා ඔවුන්ගේ බලය ද වැඩි විය. ඔවුන් තමන්ගේ මතය උපක්රමශීලී ව සමාජගත කිරීමට යොමුවීම හේතුවෙන් සිල්වත් භික්ෂූන්ට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය. උපසම්පදා භික්ෂූන්ට අදාළ ප්රධාන විනය කර්මයක් වන පොහොය කර්ම පවා සත්වසක් මුළුල්ලෙහි සිදු නොවිණි.
ධර්මාශෝක අධිරාජයාට මෙම වාතාවරණය සැලවිය. ඒ පිළිබඳව සොයා බැලීමට හෙතෙම පැලලූප් නුවර අශෝකාරාමයට ඇමැතියකු පිටත් කර හැරියේ ය. ඔහු එහි වැඩසිටි උපසපන් භික්ෂූන් වහන්සේලාට පොහොය කර්ම කිරීමට නියෝග කළ නමුත් සිල්වත් භික්ෂූහු එය ප්රතික්ෂේප කළහ. මෙයින් කිපුණු ඇමැතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ඝාතනය කරන ලදි. ඒ අතර රජතුමාගේ සහෝදරයකු වූ තිස්ස තෙරුන්ගේ මැදිහත්වීම නිසා භික්ෂු ඝාතන නැවතිණි. රජුට මේ ගැන දැන ගැනීමට ලැබීමෙන් පසු නැවතත් එතුමා දැඩි චිත්ත පීඩාවට පත්විය. තමනුත් මෙම පාපකාරී ක්රියාවේ කොටස්කරුවකු වී ඇත් දැයි දැන ගැනීමට රජුට අවශ්ය විය. දිගින් දිගට ම මේ පිළිබඳ ව භික්ෂූන් වහන්සේලාගෙන් විමසූ කල ලැබුණ පිළිතුරුවල පොදු එකඟතාවක් නොවුණි. මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබාගත හැකි රහතන් වහන්සේ නමක වශයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන් පිළිබඳව රජතුමන්ට සැල විය. රජතුමා විසින් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ට තම ගැටලූව ඉදිරිපත් කරන ලදි. එයට ලැබුණ පිළිතුර වූයේ රජතුමාගේ දැනුම්වත්භාවයකින් තොරව භික්ෂු ඝාතනය සිදුවීම නිසා එම පාපකාරී ක්රියාවේ ඔහු කොටස්කරුවකු නොවන බවයි. අනතුරුව බුදු සසුනට මේ වනවිට අත් වී ඇති ඉරණම පිළිබඳ ව දෙදෙනා අතර දීර්ඝ පිළිසඳරක් ඇතිවිය. ධර්මාශෝක රජතුමාට ශාසනයෙහි පැවති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිවූයේ එවිට ය. මේ තත්ත්වයෙන් ශාසනය මුදවා ගැනීමට කළ යුතු කාර්යය ලෙස තීරණය වූයේ ශාසන සංශෝධනයක් කිරීමයි. මොග්ගලීපුත්තතිස්ස මාහිමියන්ගේ උපදෙස් පරිදි පළමුවෙන් සිදුකළ කාර්යය වූයේ මේ වනවිට සසුනට ඇතුළත් වී සිටි දුර්මතධාරී භික්ෂූන් වහන්සේලා ඉවත් කිරීමයි. නිසි ක්රමවේදයක් තුළින් එම ඉවත් කිරීම සිදුකෙරුණි. ඉවත් කරන ලද අන්ය ලබ්ධික භික්ෂු පිරිස හැටදහසකි. ඉන් අනතුරුව මොග්ගලීපුත්තතිස්ස හිමියෝ තවදුරටත් සසුනේ පාරිශුද්ධත්වය හා චිර පැවැත්ම සහතික කරලීම උදෙසා සංගායනාවක් කිරීමේ අවශ්යතාව ද රජුට පෙන්වා දුන්හ. තෙවන ධර්ම සංගායනාවට පසුබිම සකස් වූයේ ඒ අයුරිනි.
සංගායනාව පිළිබඳ තොරතුරු සම්පිණ්ඩනය
1. හේතුව
ලාභ ප්රයෝජන අපේක්ෂාවෙන් මිථ්යා ලබ්ධික පිරිස් භික්ෂු වෙස් ගැනීමෙන් උපන් ගැටලූ.
2. මූලිකත්වය
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
3. අනුග්රාහකත්වය
ධර්මාශෝක මහ රජතුමා
4. සහභාගි වූ පිරිස
ධර්මධර විනයධර බහුශ්රැත භික්ෂූන් වහන්සේලා දහසක් මේ සඳහා සහභාගි වූ නිසා මෙම සංගායනාව සාහස්සිකා සංගීතිය නමින් හැඳින්වේ.
5. ස්ථානය
පැලලූප්නුවර අශෝකාරාමය
6. වකවානුව
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයක් ගිය පසු
7. ගත වූ කාලය
මාස නවයකි
8. ප්රතිඵල
මේ ආකාරයට ශාසනයේ චිරස්ථීතියට හා ව්යාප්තියට අදාළ ව තෙවන ධර්ම සංගායනාවෙන් ප්රතිඵල රැසක් උදා වූ බව පැහැදිලි ය. ඉහත සටහන අනුව තම්බපණ්ණිය යනුවෙන් එවකට හඳුන්වා ඇත්තේ ශ්රී ලංකාවයි. මිහිඳු මහ රහතන් වහන්සේ ප්රධාන ධර්ම දූත පිරිස එදා මෙරටට පැමිණීම අතිවිශිෂ්ට ඓතිහාසික සිදු වීමකි. එයින් ථෙරවාද බුදු දහමෙහි කේන්ද්රස්ථානයක් බවට මෙරට පත් වීම ද, නොයෙක් අයුරින් ශ්රී ලාංකේය සංස්කෘතිය බුදු දහම මුල්කොට සංවර්ධනයට පත් වීම ද සිදු විය.
ශාසනික වශයෙන් ඇති වූ ගැටලූ නිරාකරණයට උපකාරී වූ පළමු, දෙවන, තෙවන ධර්ම සංගායනා වත්මන් සමාජයේ ගැටලූ නිරාකරණයට අගනා ආදර්ශයකි. කාරක සභාවක් තුළින් දස වස්තුව විනිශ්චය කිරීමට යොදා ගත් ක්රියාමාර්ගය වර්තමානයේ සාමාජික, දේශපාලනික හා ආර්ථීක ආදි විවිධ අංශයන්ට අදාළ ව පැන නගින ගැටලූ නිරාකරණයට භාවිත කළ හැකි ය. එමෙන් ම මේ කුමන හෝ අංශ සම්බන්ධ ව ඇතිවන අර්බුද විසඳා ගැනීමට රාජ්ය මැදිහත් වීම වැදගත් ය. එසේ නොවුණහොත් එම ගැටලූව තව දුරටත් වර්ධනය වනු ඇත. ගැටලූ ඇති වූ විට තනි තනිව විසඳුම් සෙවීමට නොගොස් බුද්ධිමතුන්ගේ හා විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට යොමුවීම ඉතා වැදගත් ය. සාකච්ඡාවෙන් ද සම්මුතියෙන් ද එළැඹෙන විසඳුම් බොහෝ සෙයින් සාර්ථක වේ. මෙම කරුණු තේරුම් ගෙන අපි ජීවත් වන සමාජයේ විවිධ ක්ෂේත්රයන්ට අදාළ ව පැන නගින ගැටලූවලට විසඳුම් සෙවීමට යොමු වෙමු.