අප විදුහල ඉදිරිපිට මහ මග අසල හොඳින් අතු පතර විහිද ගිය විශාල සියඹලා ගසක් ඇත. බස් නැවතුමට ද සෙවණ දෙන එම ගස යට මෑතක් වන තුරු ම කුඩා වෙළෙඳ සලක් තිබිණ. දැන් එතැන දක්නට ලැඛෙන්නේ කෙමෙන් දිරාපත් වන ගොඩනැගිල්ලක් පමණකි. එකල එම වෙළෙඳසලෙහි හිමිකරු අපි දැන සිටියේ නැත. බොහෝ විට අපේ, පාසලේ ගුරුතුමන්ලා මෙන් ම අප ද එම වෙළෙඳසලින් පෑන්, පැන්සල්, අභ්යාස පොත් ආදිය මිල දී ගත් සැටි මට මතක ය. මුදලාලි මාමා පසු කලෙක දුප්පත්ව සිටියේ ය. වෙළෙඳසලේ ද මුල දී මෙන් බඩුමුට්ටු නොතිබිණි. පසුව ඔහු විසින් එය වසා දමන ලදි. පසුගිය සඳුදා උදෑසන පළමුවැනි කාලපරිච්ඡේදයේ අප පන්තියට වැඩම කළ, අපට බුදු දහම උගන්වන ස්වාමීන් වහන්සේ සමග, 'මුදලාලි මාමාට සිදු වූයේ කුමක් ද? ඔහුගේ වෙළෙඳාම අසාර්ථක වූයේ ඇයිදැ?'යි අපි සාකච්ඡා කළෙමු. එම කථාබහේ දී අපේ ගුරු හාමුදුරුවෝ මෙසේ පැවසූහ.
"දරුවනේ ලෝකෙ ඕනෑ ම කෙනෙක් සැපසේ ජීවත් වෙන්න කැමැතියි. කවුද දුක් විඳින්න කැමැති? කවුරුත් නැහැ නේද? මුදලාලි මාමාත් එහෙමයි. අපිත් එහෙමයි. ඒ මනුස්සයට මොකද වුණේ. කඩේ ආදායමට වඩා වියදම වැඩි කර ගත්තා. අය වැය සමානව තියාගත්තේ නැහැ. සුඛෝපභෝගී ජීවිතයක් පතාගෙන අත්යවශ්ය නොවන දේටත් දරන්ටත් බැරි විදියට වියදම් කළා. අන්තිමේ දී දිගට හරහට අඳුනන අයගෙන් ණයට ගන්න සිදු වුණා. ණය ගෙවාගන්න බැරි වුණා. ණය බර නිසා මහ සිත් වේදනා විඳින්නත් ණය දුන්නු අයගේ නින්දා අපහාසවලට මුහුණ දෙන්නත් සිදු වුණා. සමහරු ණය ඉල්ලා නඩු මගට ගියා. අන්තිමේ දී ගෙදර දොර ඉඩකඩම් විකුණමින් ණය ගෙවන්නත් කඩේ වසා දමන්නත් මුදලාලි මාමට සිද්ධ වෙලා. දරුවනේ ණය වීම මහ දුකක්. ණය නොවීම සැපයක්. ඒකට බුදු බණේ කියන්නේ අනණ සැපය කියලයි. අනුන්ට ණය නැති කෙනා සමාජය ඉදිරියට නොබියව යනවා. කවුරු කවුරුත් බොහොම සුහදව ආශ්රය කරනවා. කොයි ගෙදරටත් යනවා එනවා. කවුරුත් එයාට ආදරෙයි. එයා සැපෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. එහෙම ණය නොවී ජීවත් වෙන්න නම් හොඳ කළමනාකරණයකින් මිල මුදල් වගේ ම අනෙක් දේත් පරිහරණය කරන්න ඕනෑ. අරපරිස්සමින්, හොඳ සැලැස්මක් ඇතුව, අයට ඔරොත්තු දෙන වැය රටාවක් ඇතුව ක්රමවත් ව අය ගැනත් වැය ගැනත් හොඳ අවධානයකින් හරියට තරාදියෙන් බඩු කිරා බලනවා වගේ කටයුතු කරන්න ඕනෑ. ඒකට බුදු බණේ කියන්නේ සමජීවිකතාව කියලා. ඒ වගේ ම ණය නොවී ඉන්න නම්, ණය නොවීමේ සැපය විඳ ගන්න නම් කෑම් බීම් ඇතුළු එදිනෙදා වියදම් සීමාව දැන ගෙන කරන්න ඕනෑ. මිල මුදල් තිබුණට සරල, චාම් ජීවිතයක් ගත කරන්න පුරුදු ඕනෑ. මේ හැම දේකට ම අදාළ ක්රියාත්මක කළ හැකි ප්රායෝගික උපදෙස් බුදු දහමේ තියෙනවා.
මහිච්ඡතාව කියන්නේ මහත් බලාපොරොත්තු ඇතිකම, අසීමිත ආශාවල් ඇතිකම. එසේ වූ විට හරි හම්බකරන සම්පත් සීමාවක් නැතිව වැය කරන්න මිනිස්සු පෙලඹෙනවා. මොකද්ද වෙන්නෙ? අයට වඩා වැය වැඩිවෙනවා. එවිට ණය වෙනවා. බුදු දහමේ උගන්වන්නේ අල්පේච්ඡතාව. අවම බලාපොරොත්තු අසාවල් ඇතිකම. ලද පමණින් සතුටු වීමට හැකි, පහසුවෙන් පෝෂණය කළ හැකි සැහැල්ලූ චාම් ජීවිත ගත කරන්න යැයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. එහෙම වුණාම සම්පත් මිල මුදල් වුණත් අනවශ්ය විදියට වැය වෙන්නේ නැහැ. ණය වෙන්න සිදුවන්නෙත් නැහැ. මම කාටවත් ණය වෙලා නැහැ කියලා සතුටු වෙන්න, සැපෙන් ඉන්න අවස්ථාව උදා වෙනවා. ණය වෙලා ණය හිමියන්ගෙන් චෝදනා අසමින් ඔවුන්ගේ වහලෙක් වගේ ජීවත් වෙන එක, ණය හිමියන්ට බයේ හැංගිලා ඉන්න එක මහ දුකක්. ණය නොවී දැහැමිව උපයාගෙන කා බී ජීවත් වෙන එක සැපයක්."
ස්වාමීන් වහන්සේගේ මේ කෙටි දේශනයෙන් පස්සේ උන් වහන්සේ අවසර දුන්නා අපට ප්රශ්න තියෙනවා නම් අහන්න කියලා. ඒ වෙලාවේ විචක්ෂණ ප්රශ්නයක් ඇහුවා. "හාමුදුරුවනේ, ණය නොවී සිටීම වගේ ම දුසිරිත් නොකර සිටීමත් සැපයක් නේද?"
"ඔව්, ඒ සැපයට කියන්නෙ අනවජ්ජ සැපය කියලා. බුද්ධ දේශනාවේ ඒ සැපය විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. 'මෙලොව ආර්ය ශ්රාවක තෙමේ නිවැරැදි කාය කර්මයෙන් යුක්ත වෙයි. නිවැරැදි වාක් කර්මයෙන් යුක්ත වෙයි. නිවැරැදි මනෝ කර්මයෙන් යුක්ත වෙයි. හෙතෙම "මම එසේ කායික වාචසික හා මානසික වූ නිවැරැදි චර්යාවෙන් යුක්ත වෙමි" යැයි සුව විඳින්නේ ය. සොම්නසට පත් වන්නේ ය." නිවැරැදි කාය කර්මය කියන්නේ ප්රාණඝාතය, හිංසනය ඒ සඳහා අවි ආයුධ දඬු මුගුරු දැරීමාදියෙන් තොර ව සියලූ සත්ත්ව ප්රජාව කෙරෙහි කරුණා, මෛත්රී පෙරදැරිව ක්රියා කිරීම. නිවැරැදි වාක් කර්මය කියන්නෙ බොරුවෙන් වංචාවෙන් අනුන් රැවටීමෙන් තොරව සත්යවාදී වීම, කේලාම් කියා අනුන් භේද කිරීමෙන් තොරව අන් අයගේ සමගිය කැමැති ව සමගි බව ඇතිවන වචන කීම, හිස් වචන කතා කිරීමෙන් තොරව අර්ථවත් වචන කතා කිරීම හා රළු පරුෂ වචන කතා කිරීමෙන් තොරව කනට මිහිරි හෘදයංගම හිතවත් බව වඩන වචන කතා කිරීම. නිවැරැදි මනෝ කර්මය කියන්නේ විසම වූ දැඩි ලෝභයෙන් තොරව පරිත්යාගශීලි වීම, ව්යාපාදයෙන් ක්රෝධයෙන් තොරව කරුණා, මෛත්රී සහගත වීම, මිථ්යා දෘෂ්ටියෙන් වැරැදි දැකීමෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් දැක්ම. මේ හැටියට කායික, වාචසික, මානසික වැරැදි ක්රියාවන්ගෙන් ඒ කියන්නේ අකුසල කර්මවලින් වැළකිලා ඒ තිදොරින් කුසල කර්මවල, හරි ක්රියාවල යෙදීමයි අනවජ්ජ සැපය. මේ පැවැත්මටමයි සම්මා කම්මන්ත කියන්නේ."
"ස්වාමීන් වහන්ස, ධාර්මික දිවි පැවැත්මත් මේ එක්ක බැඳිලා තියනවා නේද?" එහෙම ඇහුවේ සුදර්ශනී.
"ඔව්, දැහැමි දිවි පැවැත්මට කියන්නෙ සම්මා ආජීව කියල. නීති විරෝධී ධර්ම විරෝධී විදිහට පාපකාරී කටයුතු කර්මාන්ත, වෙළෙඳාම් ආදියෙන් ධනය උපයා දිවි පැවැත්වීමට කියන්නේ මිච්ඡා ආජීව කියලා. ඒ අධාර්මික ජීවිකාවන්ගෙන් මිදිලා ධර්මානුකූලව, නීත්යානුකූලව, සාධාරණව ධනය උපයා දිවි පැවැත්වීම සම්මා ආජීව ය. ඔය ඉස්සරහ කඩේ කරපු මුදලාලි මාමටත් චෝදනාවක් තියෙනවා අධාර්මික වෙළෙඳාම් කරපු බවට. එයා දෙතුන් වතාවක් ම නීතියේ රැහැනට අහු වුණා. මත් පැන්, මත් ද්රව්ය වෙළෙඳාම් කරලා. ඒ වගේ ම වැඩි මිලට බඩු විකුණලත් අහු වුණා. එක සැරයක් එයා මැදිවුණේ බාල බඩු හොඳ බඩු කියලා විකුණලා. ඒ විදිහෙ වෙළෙඳාම් නොකළ යුතුයි කියලා බුදු බණේ උගන්වලා තියෙනවා. මොන විදිහකින් හරි පව්, අකුසල් සිද්ධ වෙන, තමාටත් අනුන්ටත් අවැඩදායක නීති විරෝධී රැකියාවකින් ජීවත් වීම වරදක්. ඒ විදිහෙ මිථ්යා ජීවිකාවක් අත් හැර ධාර්මිකව සම්මා ආජීවයෙන් දිවි පවත්වන්නයි බුදු දහම උගන්වන්නෙ. විශේෂයෙන් ම තුලා කූට (හොර කිරුම් උපකරණ භාවිතය) මාන කූට (හොර මිණුම් ක්රම භාවිතය) කංස කූට (ව්යාජ භාණ්ඩ අලෙවිය) සතුන් වෙළෙඳාම, මස් වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, වස විස වෙළෙඳාම, මද්යසාර වෙළෙඳාම බුදු දහමට පටහැනියි. ඒවා ආධාර්මිකයි. තමන්ටත් අනුන්ටත් හානිදායකයි.
මල නොතලා රොන් ගන්න බඹරකු වගේ සමාජයට හානි නොකර, පීඩාවක් නොකර උපයා දිවි පැවැත්වීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. අධර්මයෙන් ජීවත්වීමය, ධර්මයෙන් මිය යාමය යන මේ දෙකෙන් දෙවෙනි ක්රියා මාර්ගය පළමු වැනි එකට වැඩිය උතුම් බවයි දහමෙහි සඳහන් වන්නේ. ධර්ම ගරුකව කටයුතු කරන්නාට ධර්මයෙන් ම රැකවරණ ලැඛෙනවා. ධනයත් එයින් ලබන දියුණුවත් ධාර්මිකව ම ප්රාර්ථනා කළ යුතු බවත් ඒ කිසිවක් අධාර්මික ව නොපතන තැනැත්තා සිල්වතෙක් හා නුවණැත්තෙක් හැටියටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. උත්සාහයෙන්, වීර්යයෙන්, දෑතේ ශක්තියෙන්, මනා පුහුණුවකින් ධනය ඉපයිය යුතු බව උගන්වන බුදු දහම ධාර්මික ක්රමෝපායයන්ගෙන් උපයා සපයා ගත් භෝග සම්පත් ඇත්තකු වීමටයි ගිහියාට මග පෙන්වන්නෙ."
"ස්වාමීන් වහන්ස, ගොවිතැන ඒ විදිහෙ ධාර්මික ධනෝපායන මාර්ගයක් නේද?" එහෙම ප්රශ්න කළේ බුද්ධිකයි.
"ඔව්. ගොවිතැන ඉතා ම හොඳ ධාර්මික ධනෝපායන මාර්ගයක්. බුද්ධ චරිතයත්, බුද්ධ ධර්මයත්, බෞද්ධ සංස්කෘතියත් ගොවිතැන එක්ක බැඳිලයි තියෙන්නෙ."
මෙම සාකච්ඡාව අවසන් වූයේ ස්වාමීන් වහන්සේ විසින් ලබා දුන් පැවරුමකින්. ඒ අනුව ධාර්මික ධනෝපායන මාර්ග ලැයිස්තුවක් පිළියෙල කිරීමට සිසුන්ට පවරන ලදි. අප සියලූ දෙනා සකස් කළ එම ලැයිස්තු අතුරින් වැඩි ම ලකුණු ප්රමාණයක් හිමි වූයේ ප්රසාදිනි විසින් ඉදිරිපත් කළ පත්රිකාවට ය. එහි ධනෝපායන මාර්ග දොළහක් දක්වා තිබුණි.
පාසල් දරුවන් වන අප ද, කවර ලෙසකින්වත් අනුන්ට ණය නොවන්නකු වීමටත්, සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වාගෙන යාමටත්, ධාර්මික ධනෝපායන මාර්ගයක් තෝරා ගැනීමටත් අදිටන් කරගත යුතු බව පැහැදිලි කළ ස්වාමීන් වහන්සේ සාකච්ඡාව එතෙකින් නිම කළහ. දහම නොදැනීමෙන් හා එයට පිටුපෑමෙන් මුදලාලි මාමා විශාල කරදර රැසකට මුහුණ දී තිඛෙන බව අපි උන් වහන්සේ සමග කළ සාකච්ඡාවෙන් අවබෝධ කරගත්තෙමු.