වප් මඟුල් උළෙල සුදොවුන් රජතුමාට මෙන් ම රජ මාලිගයේ සියලූ දෙනාට ද වැදගත් දිනයකි. කුඩා සිදුහත් කුමරු සමග කිරිමවුවරුන් ද මෙම ස්ථානයට පැමිණියේ රජු ඇතුළු රාජකීය පිරිස කුඹුරට බැස සීසාන අයුරු දැක බලා ගැනීමට ය. ප්රදේශය පුරා පැවතියේ උත්සවශ්රීයකි. වසරකට වරක් එළඹෙන මෙම සිත් ගන්නා සුලූ අවස්ථාව දැක ගැනීමට රැස් ව සිටි සියල්ලෝ ම යුහුසුළු වූහ. සිදුහත් කුමරු රැක බලා ගැනීමට නිරන්තරයෙන් වෙහෙසුණු කිරිමවුවරුන්ගේ අවධානය නිමේශයකට ගිලිහී ගියේ ය. සිදුහත් කුමරු හැරුණු විට සියල්ලන්ගේ සිත් උත්සවශ්රීයෙන් කුල්මත් විය. මේ අතර දඹ රුක් සෙවණේ සිසිල් පරිසරය කුමරුගේ සිත කෙමෙන් දැහැන්ගත කරවන්නට සමත් විය. කුමරු දෙස නෙත් යොමු කරන කිරිමවුවරුන්ට දක්නට ලැබුණේ විස්මිත දසුනකි. කුඩා සිදුහත් කුමරු දඹ රුක් සෙවණෙහි පලඟ බැඳගෙන භාවනානුයෝගී ව සිටියේ ය. නෙත් අදහාගත නොහැකි එම දසුනින් පුදුමයට පත් ඔවුහු රජු ඇතුළු පිරිසට මේ පිළිබඳ දැනුම් දුන්හ. පුතු පිළිබඳ දරු සෙනෙහස අභිබවා ගිය හැඟුමෙන් යුතු සුදොවුන් රජු සිය පුතුට වන්දනා කළේ ය. එය එතුමා සිදුහත් කුමරුට කළ දෙවන වැඳුමයි.
සිදුහත් කුමරු විසින් දඹ රුක් සෙවණේ පලඟ බැඳගෙන වඩන ලද්දේ ආනාපානසති භාවනාවයි. මෙම භාවනාව පිළිබඳ ඉගෙනුමට පෙර භාවනාවේ ඇති වැදගත්කම පිළිබඳව අප දත යතු කරුණු රැසකි. ඉන් කිහිපයක් විමසා බලමු.
මිනිස් සිරුර සැකසී තිබෙන්නේ සිත, කය දෙකෙනි. මිනිසාගේ වර්ධනය යනු මෙම දෙ අංශයෙහි ම වර්ධනයයි. මිනිසාගේ පිරිහීම නම් මෙම දෙ අංශයේ ම පිරිහීම ය. දියුණු මිනිසකු බිහි වන්නේ නීරෝගී කයක් හා නීරෝගී මනසක් ඇති විට ය. කායික වර්ධනය සිදු කරන විවිධ ආහාර පාන ද ඔසු වර්ග ද ඇත. අප විවිධාරකාරයේ ව්යායාම මගින් සිදු කරන්නේ ද කායික වර්ධනයයි. කායික වර්ධනයට අප දක්වන සැලකිල්ල මානසික වර්ධනය කෙරෙහි ද දැක්වීම අතිශය වැදගත් වේ. පරිපූර්ණ මිනිසකු වීමට ද අවසානයේ සාංසාරික විමුක්තිය ලබා ගැනීමට ද මනසෙහි දියුණුව අත්යවශ්ය වේ. භාවනාව මගින් මානසික දියුණුව ද ශක්තිමත් භාවය ද වර්ධනය කර ගැනීම සියලූ කටයුතුවල සාර්ථකත්වයට ඉවහල් වේ. බුදු දහමින් ලබා දෙන මූලික උපදෙස වන්නේ සියලූ පව් බැහැර කොට කුසල් සිත් වඩා සිත පිරිසිදු කිරීම ය. සිත එකඟකර ගැනීම ය. සොරකු තවත් සොරකුට හෝ වෛරක්කාරයකු තවත් වෛරක්කාරයකුට හෝ කරන නපුරට, වැඩි නපුරක් අයහපතක් නොමගට යොමු කළ සිත නිසා සිදුවෙයි. එසේ ම මාපියන් හෝ අන් ඥාතියකු කරන යහපතට වැඩි යහපතක් සුමගට යෙදූ සිත නිසා සිදු වන්නේ යයි ධම්ම පදයෙහි දැක්වේ. වැඩි දියුණු නොකිරීමෙන් අවැඩ සිදු කරන දේ අතර සිත ම ප්රධාන වේ. 'වැඩිදියුණු කිරීමෙන් හිතසුව සැලසෙන දේ අතර ද කිසිවක් සිතට දෙවෙනි වන්නේ නැත' යනු බුද්ධ වචනයයි. බුදු දහමින් ඒ සඳහා උගන්වා ඇති පිළිවෙත වන්නේ භාවනාවයි. භාවනා අතර ආනාපානසති භාවනාව වඩාත් සුව ගෙනෙයි.
මේ අනුව,
හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳ සිහිය පිහිටුවීම ආනාපානසති භාවනාව නමින් හැඳින්වේ.
ආශ්වාසය හා ප්රශ්වාසය නිරායාසයෙන් සිදු වන කි්රයාවලියකි. සාමාන්ය ජීවිතයේ දී මෙම ක්රියාවලිය පිළිබඳ අප තුළ අවධානය පිහිටුවා ගැනීමක් දක්නට නොමැත. හුස්ම ගැනීමත් හුස්ම පිට කිරීමත් පිළිබඳ සිහිනුවණ පිහිටුවීමට මගපෙන්වන භාවනාව ආනාපානසතිය නමින් හැඳින්වේ.
දුහුවිලි ඇවිස්සුණු බිමකට වැසි පොද වැටෙන විට එම දුහුවිලි ක්රමයෙන් තැන්පත් වේ. එසේ ම ආනාපානසති භාවනාවෙන් චංචල සිතුවිලි නිශ්චල වේ. එමගින් සිත සමාධි ගත වේ.
සිසුන්ට මෙම භාවනාව ප්රගුණ කිරීමෙන් ලබා ගත හැකි ප්රයෝජන රැසකි. අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ දේ දැන උගත යුතු ය. විවිධ ආකාරයේ හැකියාවන් ප්රගුණ කර ගත යුතු ය. ඒ සඳහා උත්සාහය අත්යවශ්ය වේ. උත්සාහයෙන් නිසි ප්රයෝජන අත්පත් කර ගැනීමට නම් අප සිදු කරන කවර කටයුත්තක් වුව ද එකඟ වූ පිරිසිදු සිතින් කළ යුතු ය. එකඟ නොවූ අපිරිසිදු සිතින් කරන කිසිදු කටයුත්තකින් නිසි ප්රයෝජන ගැනීම අසීරු ය. විභාගවලින් මෙන් ම අනිකුත් කටයුතුවලින් ද ඉහළ ජයග්රහණ ලබන අය ඇත. එම සියලූ ජයග්රහණ තුළ සැඟවුණු රහස නම් මනා සිහිය යි. කිලිටි වූ වස්ත්රයකට කෙතරම් සායම් පොවනු ලැබුව ද උරා නොගනී. එහෙත් පිරිසිදු වස්ත්රයකට වහා සායම් උරා ගනී. එසේ ම අපිරිසිදු වූ චංචල සිතින් යුතු ව කරන ඉගෙනීමේ කටයුතුවලින් නුවණ, ධාරණය නොවැඩේ. උගන්වනු ලබන විෂය කරුණු පහසුවෙන් ධාරණය කර ගැනීමට පිරිසිදු එකඟ වූ සිතට ඉහළ හැකියාවක් ඇත. පාඩම මනසට හොඳින් කාවැදේ. තැන්පත් හා සුවපත් වූ මනස ඕනෑ ම පුද්ගලයකු සාර්ථකත්වය කරා රැගෙන යයි.
භාවනාවට සූදානම් වෙමු
භාවනාවට පෙර ඇඟ පත මුහුණ කට සෝදා පිරිසිදු විය යුතු ය. දෙවනුව අවශ්ය පූජා ද්රව්ය පිළියෙල කොට තබා තෙරුවන් වැඳිය යුතු ය. තෙවනුව පන්සිල් සමාදන් විය යුතු ය. සිව්වනුව භාවනාවට එළඹිය හැකි ය.
ආනාපානසති භාවනාව ප්රගුණ කිරීමේ දී ගැහැනු දරුවන් අර්ධ පර්යංකයෙන් ද පිරිමි දරුවන් බද්ධ පර්යංකයෙන් ද සිටීම වඩාත් සුදුසු ක්රමය වේ. අසනීප තත්ත්වයක් නිසා බිම වාඩි විය නොහැකි අයකුට මිටි අසුනක් පරිහරණය කිරීමේ හැකියාව පවතී. භාවනා කිරීමේ දී හිස හා කය සෘජු ව තබා ගැනීම අවශ්ය ය.
නිවැරැදි ව භාවනා කිරීම
දෑස් පියාගෙන දොහොත් මුදුන් තබා සාධුකාර දී තෙවරක් නමස්කාරය කියන්න. තිසරණ සහිත පංචශීලය සමාදන් වන්න. දෑස් පියාගෙන හොඳින් හුස්ම ගන්න. සැහැල්ලූවෙන් පිට කරන්න. මෙසේ තෙවරක් කරන්න. අනතුරුව සුපුරුදු ආශ්වාස ප්රශ්වාසයට ඉඩ හරින්න. එහෙත් ආයාසයෙන් හුස්ම ඉහළ පහළ නොයවන්න.
පියවර 1
ආශ්වාස කරන විට හුස්ම වදින ස්ථානය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගන්න. එය නාසයේ අග හෝ උඩු තොල මතුපිට විය හැකි ය. සිහිය පිහිටුවා ගත යුතු වන්නේ එසේ හුස්ම ගැටෙන ස්ථානයේ ය. ආරම්භයේ දී නාසයට ඇතුළු වන වාතය හෝ නාසයෙන් පිට වන වාතය ගැන නොසිතන්න. උඩු තොල මත හෝ නාසය අග ගැටෙන වාතය ගැන පමණක් අවධානය රඳවා ගන්න. ක්රමයෙන් භාවනාව ප්රගුණ කරන විට ආශ්වාස ප්රශ්වාස වාතය එම ස්ථානවල ගැටෙන ආකාරය මැනවින් පසක් වනු ඇත.
පියවර 2
මෙහි දී කළ යුත්තේ ආශ්වාස කරන වායුව උඩු තොල මත හෝ නාසය අග වදින විට එකයි යනුවෙන් මෙනෙහි කිරීමයි. දෙවන වර ආශ්වාස කරන විට දෙකයි යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ ආශ්වාස වායුව පස්වතාව දක්වා ගණනය කරන්න. එමගින් සිත ක්රමයෙන් සන්සුන් වේ. ආශ්වාස වායුව නාසය අග හෝ තොල් අතර ගැටෙන අයුරු ඔබට මැනවින් දැනෙනු ඇත. ශිෂ්යයකු වශයෙන් ආනාපානසති වැඩීමට අදාළ පියවර කිහිපයකි. භාවනා කරන්නකු විසින් අවසානයේ සිදු කළ යුතු ප්රාර්ථනයක් ඇත.
මාගේ මේ භාවනාමය කුසලය මෙලොව සැනසීම පිණිසත්, පරලොව සැනසීම පිණිසත්, නිවන් සුවයෙන් සැනසීම පිණිසත්, හේතු වේවා. වාසනා වේවා. සාධු! සාධු! සාධු!