සීලය යනු කායික හා වාචසික ශික්ෂණයයි. පුද්ගලයාගේ හික්මීමයි; හැදිච්චකමයි. දුශ්චරිතයෙන් වැළකී සිටීම සහ සුචරිතය ආරක්ෂා කිරීම එයින් අදහස් වෙයි. චරිත සංවර්ධනය අරමුණු කොට පවත්නා සීලය නිවන් මගෙහි අත්තිවාරම ය; පදනම ය. එසේ වන්නේ එහි පිහිටා ගෙන ම සෙසු ප්රතිපදාවන් අනුගමනය කළ යුතු බැවිනි. "කෙලෙස් තවන වීර්යයෙන් යුත්, සසර බිය දක්නා, නුවණැති තැනැත්තා සීලයෙහි පිහිටා සමාධිය ද ප්රඥාව ද වැඩීමෙන් සියලූ අවුල් නිරවුල් කරන්නේ ය." යනු බුද්ධ වචනයයි.
මේ සසර දුක් සහිත ය. අසාර වූ සසර ඉක්මවා, දුක දිනා විමුක්තිය උදාකරගනු පිණිස බුදුරදුන් වදාළ මාර්ගය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව නම් වේ. එය සීල, සමාධි ප්රඥා යන ත්රිවිධ ශික්ෂාවකින් යුක්ත ය. එහි මුලින් ම දැක්වෙනුයේ ද සීලයයි. සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන මාර්ගාංග සීල ශික්ෂාවට ඇතුළත් වේ. කායික වාචසික දුසිරිත්වලින් වෙන්වී, සුසිරිත්වල නිරතවීම මින් අදහස් කෙරේ. පෙළ දහමෙහි සීලය විවිධාකාරයෙන් පැහැදිලි වී තිබේ.
පුද්ගලයකු විසින් රැස්කර ගත යුතු ආධ්යාත්මික ධන හතකි. එහි දෙවැන්න සීලයයි. එම ධනය රැස් කර ගත් තැනැත්තා දිළින්දෙක් නොවේ.
සඳුන් තුවරලාදි සියලූ සුගන්ධ, සීල සුගන්ධය විසින් පරදවනු ලැබේ. මල් සුවඳ පරිසරය සුවඳවත් කරයි. එය යටි සුළඟට සීමා වෙයි. උඩුසුළඟට හමා නොයයි. සත්පුරුෂයන්ගේ සීල සුගන්ධය උඩුසුළඟට ද හමා යන්නේ ය. අදත් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු; ගෞරව කරමු; පුද සත්කාර කරමු. සැරියුත්, මුගලන්, සීවලී ආදි මහ රහතන් වහන්සේලා වන්දනා කරමු. උන්වහන්සේලා පිරිනිවනට වැඩ වසර දෙදහස් පන්සියයක් ඉකුත් ව ගොසිනි. එහෙත් අපගේ වන්දනයට පාත්ර වන්නේ උන්වහන්සේලා උතුම් සීල සුගන්ධයෙන් ද සුගන්ධවත් වූ බැවිනි.
චාරිත්ර සීලය හා වාරිත්ර සීලය
චාරිත්රය හා වාරිත්රය සීලයේ මූලික ප්රභේදයක් වේ. චාරිත්රය සමාදානය ලෙස ද හැඳින්වෙයි. එනම් කළයුත්ත කිරීමයි. වාරිත්රය යනු විරමණය හෙවත් වැළකීමයි. නොකළයුත්ත නොකිරීමයි. පංච සීල ප්රතිපදාවෙන් මෙය වටහා ගත හැකි ය. අප පර පණ නැසීමෙන් වැළකී ක්රියා කළ යුතු ය. එය වාරිත්රය හෙවත් විරමණයයි. වාරිත්රයෙන් පමණක් සීලය අංග සම්පූර්ණ නොවෙයි. චාරිත්රය ද එහි ලා අවශ්ය ය. එනම් සියලූ සත්ත්වයන් කෙරෙහි දයාව හා මෛත්රිය දැක්විය යුතු ය. එය චාරිත්ර සීලය හෙවත් සමාදානය නම් වෙයි. නොදුන් දෑ ගැනීමෙන් (සොරකමෙන්) වැළකීම විරමණයයි. සමාදානය නම් දුන් දේ පමණක් ගනිමින්, සොර සිතින් තොර ව පිරිසිදු සිතින් වාසය කිරීමයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වාරිත්ර ශීලයයි. තම ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට හෝ පමණක් සීමාවෙමින් ශිෂ්ට සම්මත අඹුසැමි ජීවිතයක් ගත කිරීම චාරිත්ර ශීලයයි. බොරුකීමෙන් වැළකී සත්ය කතා කිරීම, කේළාම් කීමෙන් වැළකී සමගිය ඇති කරවන වචන කතා කිරීම, රළු වදනින් වැළකී මෘදුවදන් කතා කිරීම හා නිෂ්ඵල වචන කතා කිරීමෙන් වැළකී අර්ථවත් වචන කතා කිරීම ආදි වශයෙන් වාරිත්රය හා චාරිත්රය තුළින් සීලය සම්පූර්ණ වේ. දුරාචාරයෙන් තොර සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය වේ.
හිරි ඔත්තප්ප
හිරි ඔත්තප්ප දෙක සීලයෙහි පදනමයි. ඒවා දේව ධර්ම, ලෝක පාලක ධර්ම ලෙස ද හැඳින්වෙයි. මෙහි 'හිරි' යනු පව් කිරීමට ඇති ලජ්ජාව ය. ඔත්තප්ප යනු පව් කිරීමට ඇති බියයි. "දෙවියන් සතු ගුණ ධර්ම" නැතහොත් "කෙනකු දේවත්වයට උසස් කරවන ගුණ ධර්ම" යන අර්ථයෙන් මේවා දේව ධර්ම නම් වේ. යමකු පවට ලජ්ජාවක් හෝ බියක් නැත්නම් සිල්වත් ජිවිතයක් ගොඩනඟා ගැනීමට පෙලඹෙන්නේ නැත. ඔහු ඕනෑ ම දුසිරිතකට පහසුවෙන් ම පෙලඹේ. සිල්වත් ජීවිතයකට පෙලඹෙන්නේ හිරි ඔත්තප්ප ඇති තැනැත්තා ය. එම නිසා හිරි ඔත්තප්ප දෙක සීලයේ පදනමයි. සීලයට ඉතා ම ළඟින් සිට උපකාර කරන්නේත් ඒ දෙක ය. මෙහි ලජ්ජාව හා බය යනු සාමාන්ය ජීවිතයේ සමහර අවස්ථාවල දී අපට ඇතිවන බය හෝ ලජ්ජාව නොව, පවු කිරීමට ඇති ලජ්ජාවක් හා බියයි. එහෙයින් බුදුරදුන් විසින් මෙම ගුණ ධර්ම දෙක 'ලෝවැස්සාගේ හැසිරීම පාලනය කරන කරුණු' හෙවත් ලෝක පාලක ධර්ම ලෙස හඳුන්වා දී ඇත.
'පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි' මම පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි යැයි කියන විට කරනුයේ තමන් තමන්ට ම පොරොන්දු වීමකි. අප අපට ම දෙන පොරොන්දුවක් කඩ කරන්නේ නම් එය තමන් විසින් තමන් රවටා ගැනීමක් වේ. සිල් සමාදන්වීම යනු බුදුරජාණන් වහන්සේගේ ආඥාවක් පිළිපැදීමට එකඟවීමක් නොවේ. බුදු දහමෙහි ආඥා නැත. එහෙයින් බුදුරදුන්ට හෝ අන් කෙනකුට හෝ බිය වී සිල් රැකීමක් ද සිදුවන්නේ නැත.
සීලයෙහි ත්රිකෝටි පාරිශුද්ධිය
"ත්රිකෝටි පාරිශුද්ධිය" යනු අංශ තුනකින් හෙවත් තුන් ආකාරයකින් සීලය ආරක්ෂා කිරීමයි. එනම්,
මේ ආකාරයට සෙසු ශික්ෂාවන් කෙරෙහි ද පැවතිය යුතු බව මෙහි උගන්වා තිබේ.
මෙහි දී ඝාතන, හිංසන මෙන් ම ඒවා සඳහා අනුබල දීම් අනුමත කිරීම් ආදියෙන් වැළකීම අදහස් වෙයි. ඒ අනුව සීලයෙන් පුද්ගලයාගේ දියුණුව සැලසෙයි. එසේ ම කරුණාව දයාව ආදි උසස් මානව ගුණ ධර්ම සමාජයට දායාද කිරීම මගින් සමාජ සදාචාරය ද වර්ධනය වේ.
අත්තූපනායක ධර්ම පර්යාය
සිල් රැකීමේ දී අත්තූපනායක ධර්ම පර්යාය අනුව ක්රියා කිරීම ඉතා වැදගත් ය. ප්රාණඝාත ශික්ෂාව ආරක්ෂා කිරීමේ දී අත්තූපනායික ධර්ම පර්යාය මෙසේ භාවිත කළ හැකි ය. තමා ජීවත් වීමට කැමැති ය; මරණයට අකැමැති ය. සෙසු සත්ත්වයෝ ද ජීවත් වීමට කැමැති ය; මරණයට අකැමැති ය; දඬුවමට, දඬුමුගුරුවලට බිය ය. එලෙස තමා උපමා කොට අනුන් නැසීමෙන් වැළකිය යුතු ය. සත්ත්වයින්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම මෙයින් අදහස් කෙරේ. එසේ ම තමාගේ දේපළ තමා සන්තකයේ පවත්වාගෙන යාමට සෑම පුද්ගලයා ම කැමැති ය. එය අවබෝධ කොට ගෙන අනුන්ගේ දේපළ පැහැර ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. සෙසු ශික්ෂා පද සම්බන්ධයෙන් ද මෙලෙස ක්රියා කිරීම අත්තූපනායික ධර්ම පර්යායට අනුව ක්රියා කිරීමකි.
කෙනකු ධනවත් හෝ උගත් වුව ද රුවැති හෝ කුලැති වුව ද සීලයෙන් තොර වූයේ නම් ඔහුගේ ජීවිතය නිෂ්ඵල ය. එහෙයින් අපි ද සිල්වත් වෙමු.