ඕනෑ ම සමාජයක යහපැවැත්ම උදෙසා සමාජයේ ජීවත්වන සැවොම තම තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු කිරීම අත්යවශ්ය වේ. පසුගිය ශ්රේණිවල දී අපි මානව යුතුකම් පිළිබඳ තරමක් දුරට උගෙන ඇත්තෙමු. මෙහි දී අවධානය යොමු වන්නේ සිගාලෝවාද සූත්රය ඇසුරින් සේව්ය-සේවක සබඳතා සහ ගිහි-පැවිදි සබඳතා බෞද්ධ සාරධර්ම අගයමින් ක්රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ය. සමාජයේ සෑම සාමාජිකයකු ම සුචරිත ක්රියාවන්හි යෙදීමෙන් ආධ්යාත්මික දියුණුව මෙන් ම සමාජ සංවර්ධනය ද ඇති කර ගැනීමට උත්සාහවත් වීමේ අවශ්යතාව බුදු දහම පෙන්වා දෙයි.
සේව්ය - සේවක යුතුකම්
කිසියම් ආයතනයක අයිතිකරුවන්, කළමනාකරුවන්, අධ්යක්ෂවරුන් හෝ පාලකයන් සේව්ය පක්ෂය ලෙස සැලකිය හැකි ය. ඔවුන් යටතෙහි සේවය කරන්නෝ සේවකයෝ ය. සේව්යයාත් සේවකයාත් ආයතනික කාර්යභාරයක් ඉටු කරන බැවින් පොදුවේ ගත් කල්හි සියල්ලෝ ම ඵලදායක වැඩක නිරත වන අය වෙති. සේව්ය-සේවක සබඳතාව රිය සකෙහි, චක්රය (රෝදය) නාභිය (බොස්ගෙඩිය) සහ අර (ගරාදි) අතර සම්බන්ධය මෙනි. රියසක නොකැඩී නොබිඳී කැරකෙන්නේ එකිනෙකට උපකාරීව බොස්ගෙඩිය හා ගරාදි අතර සම්බන්ධය ඇති කල්හි ය. එබැවින් දෙපක්ෂයට ම ඉහළ ඵලදායිතාවක් සඳහා සුහද සබඳතාවක් අවශ්ය ය. ඒ අනුව සේව්යයා විසින් සේවකයාත්, සේවකයා විසින් සේව්යයාත් ඇගයීමට පොලඹවන ඉගැන්වීමක් සිගාලෝවාද සූත්ර දේශනාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.
මානව ප්රජාවේ පැවැත්ම වෙනුවෙන් නිෂ්පාදන සහ සේවා අත්යවශ්ය වේ. එහි දී බුද්ධිමය සහ කායික ශ්රම දායකත්වය ප්රධාන ය. ඒ මත මානව ප්රජාවේ ඉදිරි ගමන රඳා පවතින අතර සේවකයා එහි පදනම ය. සිගාලෝවාද සූත්රයෙහි සේව්ය සේවක සබඳතාව සඳහන් කිරීමේ දී එය යට දිශාව ලෙස දක්වා තිබේ. එහි දී සේව්යයා විසින් අවධානය යොමු කළ යුතු කරුණු පහක් ඇත. ඒවා මෙසේ ය.
නූතන ලෝකයේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තීන්ට ද අනුගත අන්තර්ජාතික මට්ටමේ ඉගැන්වීමක් වශයෙන් මෙම කරුණු අගය කළ හැකි ය. සේවකයා ලවා කෙසේ හෝ වැඩ කරවා ගැනීම නොව ඉතා ළෙන්ගතු ව ඔහුගේ ද යහපත උදා කරමින් සේවය ලබා ගැනීම මෙමගින් සිදු වන බව පැහැදිලි ය.
සේවකයාගේ ශක්ති ප්රමාණයට වැඩ පැවරීම වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීමට මූලික වශයෙන් උපකාරී වන්නකි. කිසියම් කාර්යයක් සේවකයා ලවා ඉටු කර ගැනීමට ක්රියා කිරීමේ දී ඊට අදාළ කායික ශක්තිය මෙන් ම මානසික ශක්තිය ද ඔහු සතු ව ඇත්තේ දැයි සේව්යයා විසින් සැලකිය යුතු ය. දැරිය නොහැකි තරම් වැඩ පැවරීමෙන් සේවකයා අතෘප්තියට පත් වන අතර එමඟින් වැඩ මගහැර සිටීමට හෝ මැනවින් නොකිරීමට හෝ ඔහු පෙලඹෙයි. පළපුරුදු විශේෂඥ දැනුම සහ පුහුණුව සහිත අයට ඒ ඒ කාර්යය පැවරීමෙන් එය වඩාත් ඵලදායී ව ඉටුකරවා ගත හැකි ය.
ගිහි ජීවිතයක් ගත කිරීමේ දී සෑම අයකුට ම මුදල් අවශ්ය ය. සෑහීමට පත්විය හැකි, ප්රමාණවත් ආර්ථීක ශක්තියක් උදාකර දෙන සේව්යයා කෙරෙහි කැපවීමෙන් සේවය කිරීමට සේවකයා පෙලඹෙනු ඇත. එබැවින් සේවකයාට ජීවත් වීමට ප්රමාණවත්, ශ්රමයට සරිලන වැටුපක් සහ යැපීමට ප්රමාණවත් ආහාර පාන ලබාදීම සේව්යයා සතු යුතුකමකි. එවිට වැඩ වර්ජන, වැඩ පැහැර හැරීම, දූෂණ, අල්ලස් වැනි ක්රියා අවම වනු ඇත.
සේවක පක්ෂයෙහි මානසික තෘප්තිය, සතුට ඉතා වැදගත් වේ. සේවකයාගේ කායික පෝෂණය පමණක් නොව මානසික පෝෂණය ද කෙරෙහි සේව්යයා උනන්දු විය යුත්තේ එබැවිනි. සේවකයාට ලෙඩක් දුකක් ඇති වූ කල්හි ඊට අවශ්ය වෛද්ය පහසුකම් ලබාදීම මගින් ලබාගත හැකි ප්රයෝජන කිහිපයකි. නීරෝගී සේවකයා මැනවින් කාර්යයෙහි නිරතවීම ඉන් එකකි. දෙවැන්න නම් තමා රෝගී වූ විට අත් නොහැර තමාට පිහිට වූ සේව්යයා හෝ ආයතනය හෝ කෙරෙහි කෘතවේදී ව, ළබැඳියාවෙන්, කැපවීමෙන් සේවකයා තම සේවයේ නිරත වීම ය. එසේ අවශ්ය සෞඛ්ය පහසුකම් ලබාදීම මනා සේව්ය-සේවක සම්බන්ධතාවකට බලපාන වැදගත් කරුණකි.
සේවකයාගේ ශ්රමය මත තම සමෘද්ධිය රඳා පවතින බව සේව්යයා නිතර සිහි කළ යුතු ය. එබැවින් රසවත් ආහාරපාන ආදිය සේවක - සේවිකාවන්ට ද බෙදා හදා දී අනුභව කළ යුතු ය. එවැනි සංග්රහ ලබන සේවකයා, ස්වාමියා හෝ ආයතනය හෝ කෙරෙහි මනා බැඳීමක් ඇතිකර ගනී.
ජාත්යන්තර කම්කරු ප්රඥප්තීන්ට අනුව පැය අටක වැඩමුරය සේවකයාගේ අයිතිවාසිකමකි. බුදුරදුන් විසින් ඈත අතීතයේ දී පවා එය අවධාරණය කොට තිබේ. උන් වහන්සේ වැඩ සිටියේ අධික ලෙස ශ්රමිකයන් පීඩාවට පත් වූ යුගයක ය. ශ්රමිකයන්ගෙන් මනා සේවාවක් ලබා ගැනීම සඳහා සුදුසු පරිදි විවේකය ලබා දිය යුතු බව බුදුදහමේ දැක්වේ.
මෙසේ ස්වාමියාගෙන් සංග්රහ ලබන සේවකයා ද අවංකව සහ කැපවීමෙන් තම වගකීම් ඉටුකළ යුතු ය. එහි දී ඔහු හෝ ඇය හෝ විසින් ස්වාමියා කෙරෙහි ක්රියා කළ යුතු ආකාරය ද බුදුරදුන් දේශනා කොට ඇත. ඒ මෙසේ ය.
ගෘහ සේවයේ නිරත සේවක සේවිකාවන් විසින් ස්වාමියාට පළමුව අවදි වී දෛනික කටයුතු ආරම්භ කිරීම ස්වාමි පක්ෂයේ සිත් දිනා ගැනීමට ඉවහල් වන්නේ ය. ස්වාමියාට පසුව නිඳන සේවකයා දොර ජනෙල් මැනවින් වසා තබා, අනවශ්ය විදුලි පහන් නිවා තබා, නිම කළ යුතු දෛනික කටයුතු නිමවා නින්දට යාම එම ස්වාමියාට මහත් අස්වැසිල්ලකි.
නූතන ලෝකයට අදාළ ව මෙම කරුණ පැහැදිලි කර ගැනීමේ දී නියමිත වේලාවට පෙර සේවා ස්ථානයට පැමිණීමත් නියමිත කාර්යය මනාව ඉටුකර ආයතනික ආරක්ෂාව පිළිබඳ අවශ්ය විධිවිධාන නිමවා ආයතනයෙන් බැහැරවීමත් වශයෙන් විග්රහ කරගත හැකි ය. එය ස්වාමියාගේ සිත් දිනා ගැනීමටත් ආයතනයේ දියුණුව හා ක්රමවත් බව ඇති කර ගැනීමටත් උපකාරී වේ.
සේවකයා වෙනුවෙන් සේව්යයාගේ යුතුකම් මැනවින් ඉටුවන ආයතනයක සේවකයා තමාට දුන් දෙය පමණක් ගැනීමට පුරුදු විය යුතු ය. තමාට නිසි පරිදි බත් වැටුප් ලබා දෙන ලෙඩට, දුකට පිහිට වෙන සෙනෙහසින් රැකබලා ගන්නා ආයතනයට අප එරෙහි නොවිය යුතු ය. එය රැක බලාගෙන දියුණු කිරීමට ඇප-කැප විය යුතු ය. එය ආයතනයේ මෙන් ම පුද්ගලයාගේ ද යහ පැවැත්ම තහවුරු කරනු නියත ය.
තමාට පැවරී ඇති වැඩ කොටස මැනවින්, අවංක ව, කැපවීමෙන්, නිසි කලට වේලාවට ඉටු කිරීමට සේවකයා නිතර උත්සාහවත් විය යුතු ය. එය ඔහුගේ පරම වගකීමකි. එය ඉටු නොවන කල ස්වාමි - සේවක සබඳතාව ආරක්ෂා වන්නේ නැත.
එමෙන් ම සේවකයා විසින් ද තම ස්වාමියා, ආයතනය හා ආයතන ප්රධානියා අගය කිරීම ද ඉතා හොඳ ස්වාමි සේවක සබඳතාවක් පවත්වා ගැනීම කෙරෙහි උපකාරී වේ. "නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත" යන කියමන අනුව මෙලොව ඕනෑ ම කෙනකු තුළ කුඩා හෝ වරදක් තිබිය හැකි ය. ඒවා මහත් කොට නොදක්වා හෝ ඒ පිළිබඳව පමණක් ම නොසිතා හෝ ස්වාමියා සතු කුඩා හෝ ගුණයක් ඇත්නම් එය අගය කිරීම සේවකයාගේ යුතුකමයි.
මෙලෙස සේව්ය-සේවක අන්යෝන්ය යුතුකම් ඉටුවන කල්හි අයිතිවාසිකම් වෙනුවෙන් කරන වැඩවර්ජන, උද්ඝෝෂණ, අරගල අවම වනු ඇත. එවන් ආයතනයක්, නිවසක් ඉතා ප්රසන්න හා සාමකාමී වනු නොඅනුමාන ය.
අපගේ ජීවිතයේ විවිධ කාලවල දී අප විසින් සේව්ය-සේවක යන භූමිකා දෙක ම නියෝජනය කරනු ලැබෙයි. එබැවින් එම භූමිකා දෙකට ම අදාළ යුතුකම් මැනවින් ඉටු කිරීමට පුහුණු වෙමු.
ගිහි පැවිදි යුතුකම්
ගිහි-පැවිදි යනුවෙන් සමාජයක දෙඅංශයක් පවතී. බෞද්ධ සමාජය භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා යන සිව්වණක් පිරිසෙන් යුක්ත ය. එහි උපාසක - උපාසිකා යනු ගිහි සමාජය වන අතර භික්ෂු - භික්ෂුණී යනු පැවිදි සමාජයයි. ඕනෑ ම සමාජයක ගිහි පැවිදි දෙපිරිස අතර අන්යෝන්ය සම්බන්ධයට සහ අභිවෘද්ධියට අදාළ කරගත හැකි උපදෙස් මාලාවක් සිගාලෝවාද සූත්රයෙහි ඇතුළත් ය.
ශ්රී ලාංකේය ඉතිහාසය දෙස අවධානය යොමු කරන කල්හි පෙනී යන වැදගත් කරුණක් නම් සමාජය ලෞකික, ලෝකෝත්තර අභිවෘද්ධිය උදෙසා ඉතා සුවිශේෂ මගපෙන්වීම ලැබුවේ භික්ෂූන් වහන්සේලාගෙන් බවයි. රජුගේ සිට සාමාන්ය පුරවැසියා දක්වා සියල්ලෝ ම ඉතා ඉහළ ආධ්යාත්මික සහ සදාචාරාත්මක දියුණුවක් ඇති පිරිසක් බවට පත් වීමෙහිලා ද, අහස උසට දිවෙන මහා දාගැබ්, මහා සාගරය වැනි විශාල වැව් අමුණු නිර්මාණය වීමට ද බුදු දහමින් සුපෝෂිත ශ්රේෂ්ඨ කලා නිර්මාණ බිහි වීමට ද භික්ෂූන් වහන්සේලාගෙන් ලද මග පෙන්වීම ප්රමුඛ වී තිබේ. ශ්රී ලාංකේය ජනතාව විසින් ඉතා දුර්දශාසම්පන්න කාලවාකවානුවල දී පවා ජීවිත පරිත්යාගයෙන් උන් වහන්සේලා ආරක්ෂා කළේ එබැවිනි. සිගාලෝවාද සූත්රයට අනුව ගිහියා විසින් පැවිදි උතුමන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම් පහකි. ඒවා මෙසේ ය.
පැවිදි සංස්ථාවේ පැවැත්ම වෙනුවෙන් ගිහියා විසින් කරනු ලබන සියලූ කාර්යයන් මෛත්රී සහගත ව ඉටු කිරීම මෙහි අවධාරණය කෙරෙන කරුණකි. බස් රථයේ දී ආසනයක් ලබාදීම, මහ මග දී පවා ගරු කිරීම, විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආදි සියලූ කටයුතු කිසිවකුගේ මෙහෙයවීම නිසා නොව ශාසනික හැඟීමෙන්, මෛත්රී සහගතව ම කළ යුතු ය. මෛත්රී සහගත කාය කර්ම පැවැත්වීම යනු එයයි.
'අපේ හාමුදුරුවෝ' යනුවෙන් කටපුරා හිතපුරා ගෞරව සම්ප්රයුක්ත ව භික්ෂූන් වහන්සේට ආමන්ත්රණය කිරීම බෞද්ධ අපගේ ඉපැරණි සම්ප්රදායයි. ඒ වදන මෛත්රී සහගත ය. ජීවිතයේ පළමු වරට දුටු ස්වාමීන් වහන්සේ නමකට වුවත් එසේ ආමන්ත්රණය කිරීමට බෞද්ධයන් පුරුදු ව සිටීමෙන් ඒ බව තහවුරු වේ. උන් වහන්සේගේ අනුශාසනා සාධුකාර පවත්වමින් ශ්රවණය කිරීම ද මීට අදාළ ය. භික්ෂූන් වහන්සේ සමග කතා කරන සෑම වචනයක් ම මෛත්රී සහගත විය යුතු බව මෙයින් ඉගැන්වෙයි.
උන් වහන්සේ පිළිබඳ සිතන සෑම සිතුවිල්ලක් ම මෛත්රී සහගත විය යුතු බව ද උගන්වා ඇත. ගිහියන්ගේ මෛත්රී සහගත සිතුවිලි පදනම් කරගත් කටයුතු නිසා ම භික්ෂුවගේ පැවැත්ම පහසු වන අතර එය ගිහියාට ද මහත් පිනකි.
භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩින කල්හි ගෞරවයෙන් යුතු ව ආසන පනවා පිළිගැනීම හා ශාසනික අවශ්යතා ඉටු කරගැනීමට හැකි උපරිමයෙන් දායකවීම ගිහි බෞද්ධයාගේ සිව්වැනි යුතුකම වේ.
භික්ෂූන් වහන්සේලා පෝෂණය කිරීම ගිහි බෞද්ධයාගේ වගකීමකි. එබැවින් උන් වහන්සේලාගේ දන් පැන්, සිවුරු පිරිකර, වාසස්ථාන, බේත් ආදී අවශ්යතා සොයා බලා ඒවා සම්පූර්ණ කිරීම පිළිබඳ ව ගිහි පින්වතුන් උද්යෝගවත් ව ක්රියා කළ යුතු ය.
මෙලෙස ආමිස දානයෙන් උපකාර ලබන ස්වාමීන් වහන්සේ විසින් ගිහියා කෙරෙහි ධර්ම දානයෙන් ප්රතිඋපකාර කළ යුතු යැයි බුද්ධ දේශනාවේ දක්වා තිබේ. එය මූලික වශයෙන් සය වැදෑරුම් වේ යැයි සිගාලෝවාද සූත්රය සඳහන් කරයි.
සත්පුරුෂ ආශ්රය සමස්ත සමාජයේ ම යහපත පිණිස උපකාරී වේ. සුවඳ මල් නිසා පරිසරය ද සුවඳවත් වන්නාක් මෙනි. එබැවින් සමාජය නැමැති මඩගොහොරුවේ පිපුණ පියුමක් බඳු ස්වාමීන් වහන්සේගේ ඇසුර සමස්ත සමාජය නැමැති පොකුණ සුගන්ධවත් කරනු නොඅනුමාන ය.
ස්වාමීන් වහන්සේ උපායශිලී ව හෝ ගිහියා පාපයෙන් වළක්වා ගත යුතු ය. උන් වහන්සේ තරම් දහමින් ශික්ෂණය නොලද ගිහියා පව්කම් මිහිරි යැයි සිතනවා විය හැකි ය. එහෙත් ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනා කොට ගිහියා පවින් වළක්වා ගත යුතු ය. මුගලන් හිමියන් මෙන් ඍද්ධි ප්රාතිහාර්ය නොපෑහැකි වුව ද කෝසිය සිටාණන් වැනි මසුරු ලෝභීන් පිංකම්හි නිරත කරවීමට තරම් උන් වහන්සේ උපාය කුසලතා සම්පන්න විය යුතු ය.
තමන් වහන්සේ සිවුපසයෙන් පෝෂණය කරන ගිහියාගේ ශාසනික සහ ආධ්යාත්මික අභිවෘද්ධිය දැක ඉතසිතින් ආශීර්වාද කිරීම ස්වාමීන් වහන්සේගෙන් විය යුක්තකි. ඒ මගින් ගිහියාට මානසික සුවයක් ද සතුටක් ද උපදනා බැවිනි.
බුදු දහම පිළිබඳ මනා අවබෝධයක් ඇති භික්ෂූන් වහන්සේ ගිහියා කෙරෙහි අනුකම්පාවෙන්, නොඇසූ දහම් දේශනා කරමින්, ඔහු බණ දහමින් පෝෂණය කිරීමත් ඇසූ දහම්හි සැක තැන් ඇතොත් ඒවා පහදා දීමත් කරුණා පෙරදැරිව කළ යුතු ය. එය භික්ෂූන් වහන්සේගේ පරම යුතුකම බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
මෙලොව භෞතික සහ ආධ්යාත්මික දියුණුව ඇති කර ගැනීමට මෙන් ම පරලොව සුගතිගාමී වීමට ද බුදු දහම අදාළ කරගත හැකි බව සහේතුක ව ගිහියාට අවබෝධ කරවීම ස්වාමීන් වහන්සේ නමකගෙන් ඉටු විය යුතු කාර්යයකි. නැතහොත් අපායගාමී වීමට මෙන් ම සසර විවිධ දුක්පීඩා විඳීමට ද සිදු වන බව අවබෝධ කරවීම සමස්ත සමාජයට ම මහත් ශාන්තියකි.