5.2 - පීඩනය කෙරෙහි බලපාන සාධක

පීඩනය කෙරෙහි බලපාන සාධක අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරකම 5.1 හි නිරත වෙමු.

ක්‍රියාකාරකම 5.1 දී වැලි මලූ එකක් එල්ලු විට සබන් කැටය කැපී නො යාමට ඉඩ ඇත. වැලි මලූ ගණන වැඩි වන විට බලය වැඩි වන අතර සබන් කැටය කැපී යයි. බලය වැඩි වන විට සබන් කැටය කැපීමට ගත වන කාලය අඩු වේ.

මෙයින් තහවුරු වන්නේ, කරුණු දෙකකි. එනම්,

  • ඝන ද්‍රව්‍යයක් මත යෙදෙන පීඩනය කෙරෙහි බලය බලපාන බව.
  • බලය වැඩි කරන විට පීඩනය ද වැඩි වන බව.

ක්‍රියාකාරකම 5.2 න් ඒ බව තව දුරටත් තහවුරු කර ගත හැකි ය.

ඉහත ක්‍රියාකාරකමේ සෑම අවස්ථාවක දී ම ස්පොන්ජ් කැබැල්ල සමග ස්පර්ශ වී ඇති ලී කුට්ටියේ පෘෂ්ඨ වර්ගඵලය සමාන ය. එක් එක් අවස්ථාවේ දී ස්පොන්ජ් එක මත ඇති කරන බලය ක්‍රමයෙන් වැඩි වේ. ඒ සමග ම ස්පොන්ජ් කැබැල්ලේ සිදු වන හැකිළීම ද ක්‍රමයෙන් වැඩි වී ඇත. එනම් ස්පොන්ජ් කැබැල්ල මත යෙදෙන පීඩනය වැඩි වී ඇති බව පෙනේ. මේ අනුව බලය වැඩි කරන විට පීඩනය වැඩි වන බව තහවුරු වේ.

ක්‍රියාකාරකම 5.3 දී මහත කම්බිය හා සිහින් කම්බිය යෙදූ අවස්ථා දෙකේ දී ම භාවිත කරන ලද්දේ එක ම බරක් සහිත වැලි මල්ලකි. එනිසා එම අවස්ථා දෙකේ දී ම සබන් කැටය මත යෙදූ බල සමාන වේ. නමුත් සබන් කැටය පහසුවෙන් කැපෙන්නේ සිහින් කම්බිය භාවිත කරන අවස්ථාවේ දී ය. මෙයට හේතුව, සිහින් කම්බිය භාවිත කරන අවස්ථාවේ දී එම කම්බිය සමග ස්පර්ශ වී ඇති සබන් පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් මතට යෙදෙන බලය මහත කම්බිය භාවිත කරන අවස්ථාවේ දී එම බලයට වඩා වැඩි වීම යි. එනම්, සිහින් කම්බිය භාවිත කරන අවස්ථාවේ දී යෙදෙන පීඩනය මහත කම්බිය භාවිත කරන අවස්ථාවේ දී පීඩනයට වඩා වැඩි වීම යි. සබන් කැටය පහසුවෙන් කැපෙන්නේ වැඩි පීඩනයක් යෙදෙන අවස්ථාවේ දී ය.

බලය යෙදෙන පෘෂ්ඨයේ වර්ගඵලය අනුව පීඩනය වෙනස් වන ආකාරය ක්‍රියාකාරකම 5.4 මගින් තව දුරටත් අවබෝධ කරගත හැකි ය.

මෙම ක්‍රියකාරකමේ දී ස්පොන්ජ් කැබැල්ල මත තබන ලද්දේ එක ම ලී කුට්ටිය නිසා සෑම ස්පොන්ජ් කැබැල්ලක ම පෘෂ්ඨය මත ඇති කළ බලය සමාන නමුත්, ලී කුට්ටිය සමග ස්පර්ශ වූ එක් එක් ස්පොන්ජ් කැබැල්ලේ පෘෂ්ඨ වර්ගඵලය වෙනස් ය.

මෙහි දී පෘෂ්ඨ වර්ගඵලය වැඩි අවස්ථාවේ දී ස්පොන්ජ් කැබැල්ලේ සිදු වූ හැකිළීම අඩු ය, පෘෂ්ඨ වර්ගඵලය අඩු අවස්ථාවේ දී හැකිළීම වැඩි ය.

පෘෂ්ඨ වර්ගඵලය වැඩි අවස්ථාවේ දී පීඩනය අඩු බවත්, පෘෂ්ඨ වර්ගඵලය අඩු අවස්ථාවේ දී පීඩනය වැඩි බවත් මෙයින් පැහැදිලි වේ.

මේ අනුව පහත නිගමනවලට එළඹිය හැකි ය.

  • ඝන ද්‍රව්‍යයක් මගින් ඝන පෘෂ්ඨයක් මත ඇති කරන පීඩනය, බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය මත බලපායි.
  • පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට පීඩනය අඩු වේ.
  • පෘෂ්ඨ වර්ගඵලය අඩු වන විට පීඩනය වැඩි වේ.

ඉහත ක්‍රියාකාරකම්වලට අනුව ඝන ද්‍රව්‍යයක් මගින් පෘෂ්ඨයක් මත ඇති කරන පීඩනය සාධක දෙකක් මත බලපාන බව තහවුරු වේ. එනම්,

  1. පෘෂ්ඨය මත වස්තුව මගින් ක්‍රියාකරන අභිලම්බ බලය
  2. බලය ක්‍රියාකරන පෘෂ්ඨ වර්ගඵලය

ඒකක වර්ගඵලයක් මතට, එම වර්ගඵලයට අභිලම්බව යෙදෙන බලය පීඩනය ලෙස හැඳින්වේ. ඝන පෘෂ්ඨයක් මත ඝන ද්‍රව්‍යයක් මගින් ඇති කරන පීඩනය පහත සමීකරණය භාවිතයෙන් ගණනය කළ හැකි ය.