12.3 - ජෛව විවිධත්වය සඳහා ඇති තර්ජන

ජෛව විවිධත්වය සඳහා විවිධ තර්ජන පවතී. එම තර්ජන හේතුවෙන් ජෛව විවිධත්වය හායනය වීමේ තත්ත්වයක් උද්ගතව ඇත. ජෛව විවිධත්වය හායනය සඳහා හේතු, ප්‍රධාන කරුණු දෙකක් යටතේ සාකච්ඡා කළ හැකි ය.

ස්වාභාවික ක්‍රියාවලි

අතීතයේ සිට ම විවිධ ස්වාභාවික ක්‍රියාවලි නිසා ජෛව විවිධත්වය හායනය වී ඇත. උල්කාපාත පතිත වීම, ගිනි කඳු පිපිරීම, ළැව්ගිනි, සුනාමි, නායයෑම් හා ජල ගැලීම් එවැනි ස්වාභාවික හේතු කිහිපයකි.

නිදසුන් ලෙස උල්කාපාතයක් කඩා වැටීම හේතුවෙන් ඩයිනොසෝරයින් ක්ෂය වූ බව සැලකේ. එමෙන් ම මැමත් වඳවී යාම සඳහා ස්වාභාවිකව ගෝලීය උණුසුම ඉහළ යෑම බලපා ඇතැයි සැලකේ (12.7 රූපය).

මානව ක්‍රියාකාරකම්

මානව ජනගහනයෙහි ශීඝ්‍ර වර්ධනයත් සමග ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වනාන්තර යොදා ගැනීම අසීමිත ලෙස සිදු වෙමින් පවතී. වනාන්තර ශීඝ්‍ර ලෙස හායනයට ලක් වීම නිසා ජීවීන්ගේ වාසස්ථාන විනාශ වේ. එමෙන් ම විවිධ ගොඩනැගිලි, මංමාවත්, ජලාශ ආදිය ඉදි කිරීම හේතුවෙන් ජීවීන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වේ.

මානව ජනගහනය ඉහළ යාම නොයෙක් පරිසර ගැටලූ සඳහා හේතු වේ. සම්පත් අධි පරිහරණය සහ පරිසරයට විවිධ දූෂක එකතු වීම මානව ක්‍රියාකාරකම් නිසා නිරන්තරයෙන් සිදු වේ. එසේ පරිසරයට එකතු වන බාහිර කාරකවල බලපෑම හේතුවෙන් පරිසරයේ තුලිතතාව බිඳී යාම පරිසර දූෂණය ලෙස හැඳින්විය හැකි ය. පාංශු, ජලජ හා වායු පරිසර පද්ධති මෙලෙස දූෂණයට ලක් වීම නිසා එම පරිසර පද්ධති, ජීවීන්ගේ පැවැත්මට නුසුදුසු වේ. මෙම හේතු ජෛව විවිධත්වය සඳහා දැඩි බලපෑමක් ඇති කරයි.

ආගන්තුක ආක්‍රමණකාරී ජීවීන් පරිසර පද්ධතියක ව්‍යාප්ත වීම ජෛව විවිධත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි (12.8 රූපය).

 

ජාන විකිරණය කළ නව ජීවීන් පරිසරයට හඳුන්වාදීම ද ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ පිළිබඳව නිශ්චිතව පැවසීමට තවම හැකියාවක් නැතත් අනාගතයේ ජෛව විවිධත්වය සඳහා එම ජීවීන් තර්ජනයක් වනු ඇතැයි සැලකිය හැකි ය.

ඕසෝන් වියන හායනය හා ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ප්‍රශ්න නිසා සිදු වන දේශගුණික විපර්යාස ද ජෛව විවිධත්වය හායනය වීමට බලපායි.

මෙම තර්ජන හේතුවෙන් ලෝකය පුරා ජෛව විවිධත්වය හායනය සිදු වෙමින් පවතී. මේ නිසා ඇතැම් ජීවී විශේෂ මිහිතලයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. එබැවින් ජෛව විවිධත්වය සංරක්ෂණය සිදු කළ යුතු ය. සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ ජෛව විවිධත්ව උණුසුම් කලාප (Hot Spots) ලෙස හැඳින්වේ. උණුසුම් කලාපයක් ලෙස හැඳින්වීමට අවේණික ජීවී විශේෂ වැඩි සංඛ්‍යාවක් සිටිය යුතු අතර ඔවුන් සඳහා ඇති තර්ජන ද වැඩි විය යුතු ය. ජෛව විවිධත්ව උණුසුම් කලාපයකට ශ්‍රී ලංකාව ද අයත් වේ. එබැවින් අප රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට දායක වීම අප සැමගේ යුතුකමකි.