16 - දිට්හ දාන

නූතන සාහිත්‍යාංගයක් වන කෙටිකතාව පුරාණ කතාන්දරයට නෑකම් කියන්නක් සේ සැලකේ. කතාන්දරවලට මනුෂ්‍ය ලෝකයේ පුවත් මෙන් ම සත්ත්ව හා දේව ලෝකවල පුවත් ද වස්තු වී ඇතත් කෙටිකතාව සත්‍ය හෝ කල්පිත පුවතක් පදනම් කොට ගනිමින් මානව ජීවිතය නිරූපණය හා විවරණය කෙරෙන සාහිත්‍යාංගයකි. අද කෙටිකතාව වස්තු විෂය අතින් මෙන් ම කාර්ය සිද්ධිය හා රචනා මාර්ගය අතින් ද නව ක්ෂේත්‍ර පුරා පැතිර පවතින්නකි. කෙටිකතා නිර්මාණයේ දී ලේඛකයාට අද්දැකීම් ඉතා වැදගත් වේ.

ජේ. සී. පී. එස්. සිරිවර්ධන විසින් රචිත ‘දිට්හ දාන’ කෙටිකතාව මානුෂික අද්දැකීම් මෙන් ම ආකල්ප ප්‍රකාශයට පත් කිරීම උදෙසා කෙටිකතා මාධ්‍යය භාවිත කළ ආකාරය පිළිබඳ නිදර්ශනයකි. එය 2013 පෙබරවාරි ‘සංස්කෘති’ සඟරාවෙන් උපුටා ගන්නා ලද්දකි.

තිස් වසරක සේවා කාලය තුළ, සිරිසෝම මින් පෙර මෙබඳු අකරතැබ්බයකට මුහුණ පා නැත. නව සේවා ප්‍රදේශයෙහි නිරත වූ පළමු රාජකාරියේ දී ම මෙවැනි බාධකයක් එළඹීම අසාමාන්‍ය සිද්ධියකි. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් මනා පරිචයකින් හෙබි හෙතෙම ඉන් මඳකුදු නො සැලූණේ ය.

නගරයෙන් සෑහෙන දුර බැහැරක පිහිටි ගම්බද පාසලක් වන මෙහි, ඉගෙනුම ලබන දරුදැරියෝ, දෙසීයයකට අඩු සංඛ්‍යාවක් වෙති. හෙට දින පාසලේ සියලූ ළමයින් නියමිත වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරනු පිණිස, කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතා පැමිණෙන්නේ ය. ඒ ඒ දරුවන්ට අදාළ වෛද්‍ය පරීක්ෂණ ආකෘති පත්‍රවල, ඔවුනොවුන්ගේ වයස, උස, බර, දෘෂ්ටි ශක්තිය හා ශ්‍රවණ හැකියාව යනාදි මූලික දත්ත මැන බලා වෙන වෙන ම සටහන් තැබීම සිරිසෝමට අද දින පැවරුණු අත්‍යවශ්‍ය මෙහෙය වේ.

"ඇස් පෙනීමේ අඩුකම, කන් ඇසීමේ බාධා, කතා කිරීමේ දුර්වලතා, හෘදයාබාධ යනාදි හේතු, ළමයින්ගේ ඉගෙනීමට හුඟක් බලපානවා. ඒ වගේ අඩුපාඩු සොයා බලලා ඉක්මනින් පිළියම් යොදන්න ඕනෑ. මේ සෞඛ්‍ය වැඩසටහනේ අරමුණ ඒකයි."

පාසල් වෛද්‍ය පරීක්ෂණයේ අවශ්‍යතාව පැහැදිලි කිරීමට සිරිසෝම එසේ වෑයම් කළ ද, පාසල් ප්‍රධානියා ඒ පිළිබඳව කිසි සැලකිල්ලක් නො දැක්වී ය. ගුරුවරු මුළු ගණනින් අඩකට ආසන්න සංඛ්‍යාවක් මෙදින සේවයට පැමිණ නො සිටියහ. ඊටත් වඩා පසුබෑමේ හේතුව, ළමා වෛද්‍ය පරීක්ෂණයේ ඵලදායකත්වය පිළිබඳ අගය, ඔහුට සංඛ්‍යාත්මක වශයෙන් බින්දුවක් සේ හැඟී යෑම ය.

තව ද අද හෙට ම, කොට්ඨාස අධ්‍යක්ෂ පාසලට පැමිණීමට නියමිත ය. ඒ ආ විට ඔහු නිරීක්ෂණය කරනුයේ, ළමයින්ගේ සෞඛ්‍ය මට්ටම් ගැන නො වේ. වසරට නියමිත විෂය මාලා ඉලක්ක සපුරා ඇති ප්‍රමාණය පිළිබඳව ය. එදාට මේ හීල් සෙවණේ කරගෙන යන විදුහල්පතිකමත් සුං. ආයෙත්, නිකම්ම නිකං උප ගුරුවරයෙක් හැටියට, මීටත් වඩා කැලෑ මණ්ඩියට බඩගාපල්ලකො.

එවැනි චිත්තවේගයකට පත් විදුහල්පතිවරයා උද්වේගකර ලෙස, සිරිසෝමගේ මුහුණට කඩා පැන්නේ ය.

"පී. එච්. අයි. මහත්තයා නං බණ කියයි. ඉස්කෝලෙ ළමයින්ගෙ ඉගෙනීම කඩාකප්පල් වුණා ම, දෙපාර්තමේන්තුව දොස් කියන්නේ අපට. තමුන්නාන්සෙලගෙ ඔය මහලොකු රාජකාරියට, අද හෙට නම්, මේ ගුරු මණ්ඩලේ සොච්චමෙන් කිසි උදව්වක් දෙන්න බෑ."

සේවා සහාය දීම එසේ තරයේ ප්‍රතික්ෂේප කළ මුල්ගුරුවරයා, සිරිසෝම විසින් පෙර දිනක සපයන ලද ආකෘති පත්‍ර මිටිය, 'දඩාස්' යන හඬින් මේසය මත තැබුවේ ය. එය සිරිසෝමට දුන් අතුල් පහරක් වැන්න.

"තරහ ගන්න එපා, සර්! අපි මේ කරන්නෙත් අසරණ දරුවන්ගේ ඉගෙනීමට උදවු දීමක් තමා" යි, සිරිසෝම සිනාමුසුව පිළිතුරු ලෙස පැවසුවේ, නිවට නියාලූ ස්වරයෙනි.

"ඕක මොන උදව්වක් ද, මහත්තයෝ? මීට කලිනුත් අවුරුද්දක් පාසා, කාණ්ඩයක් ඔහොම ඇවිදිං, දවසක් පුරා මෙතෙන නෙයියාඩගමක් නැටුව, අපටත් මතකයි. ඒත් ඒකෙං, මේ ඉස්කෝලෙ එක කොලූ කෙල්ලකුට හරි වෙච්චි සුබසිද්ධියක් ගැන නං, මං කියන්ඩ දන්නෙ නෑ." පාසල් ප්‍රධානියා ගත් කටට ම එසේ කී ය.

එහෙත් ඉන් පසුබට වූයේ සිරිසෝම නො වේ. "හොඳයි, ඔබතුමන්ලා කවුරුවත් මට උදව් වෙන්න එපා. මගේ කාරිය තනියම කරගන්ට මට පුළුවනි. ඉස්කෝලෙ ළමයි පන්තියෙන් පන්තිය, මිදුලෙ අන්න අර කොස් ගහේ සෙවණට ගෙන්වා ගන්න ඔබතුමා අවසර දුන්නොත්, මට ඒ හොඳටෝම ඇති" යි හෙතෙම බැගෑපත්ව ඉල්ලා සිටියේ ය.

එම ආයාචනය කෙරේ විදුහල්පතිවරයා මඳ අනුකම්පාවක් දැක්වූවා විය හැකි ය.

"හොඳයි, තමුන්නාන්සේ ඕනෑ කෙංගෙඩියක් කරගත්තට කාරි නෑ. හැබැයි අපේ ඉගැන්වීම් කටයුතුවලට කිසි බාධාවක් කරනව හෙම නෙමෙයි." තර්ජනාංගුලිය පාමින් පාසල් ප්‍රධානියා කළ තරවටුව, සිරිසෝම මැදහත් සිතින් ඉවසී ය.

එහි එක ම පාසල් ගොඩනැගිල්ලට සමීප කොස් ගසේ සෙවණ, ඔහුගේ කාරියට කදිමට ගැළපෙයි. ගොඩනැගිල්ල කෙළවර අගුවෙහි තිබුණු අබලන් ඩෙස්කුව සහ පුටු කබල තුරු සෙවණට ගෙන ඒමට පවා, සිරිසෝමට කිසිවකුගේ සහායක් නො ලැබිණ.

ගුරුභවතුන් සිප් සතර උගන්වන හඬ පන්ති කාමරවලින් නිරතුරුව ඇසේ. උදා හිරු රැස් පතිත පාසල් පරිසරය පිරිසිදු ය; පියකරු ය. මිදුල කෙළවර පිළිවෙළකට වවන ලද බටු, මිරිස්, බණ්ඩක්කා සහ මෑ ආදි එළවළු වගාව, දුටුවන් නෙත් සිත් සනසන රමණීය දසුනකි. අසරණ ගැමි දරුවන් යහපත් අනාගත පුරවැසියන් කිරීමෙහි වැර දරන ගුරු මවුපියන් කෙරේ සිරිසෝමගේ සිත කිසි කහටක් නො ඉපදෙයි.

පළමුව මුතු පබළු වැලක් සේ විනීතව පෙළ ගැසුණු බාලාංශ පන්තියෙහි ළමා පැටවු තුරු සෙවණ කරා පැමිණියහ. ඔවුහු ගණනින් පහළොවක් වෙති. එහෙත් දරු පැටවුන් කැටුව පන්ති භාර ගුරු භවතකු නොපැමිණීම, සිරිසෝම තරමක අපහසුවට පත් කරවී ය.

එක් නමක් බැගින් සටහන් කරන ලද ආකෘති පත්‍රය අනුව, එක් එක් දරුවා පිළිවෙළින් තමා සමීපයට කැඳවමින් ඔවුනොවුන්ගේ උස සහ බර මැන ආකෘති පත්‍රයෙහි සටහන් කිරීම, සිරිසෝමට වැඩි වෙහෙසක් ගෙන නුදුන්නේ ය. එකිනෙකාගේ මුඛය විවෘත කරවමින් දන්තාබාධ ඇත් දැයි පිරික්සීම ද වැඩි අපහසුවකින් තොරව කළ හැකි විය.

ඉක්බිති දෘෂ්ටි පරීක්ෂණ සටහනේ ඉහළ සිට පහළට ක්‍රමානුකූලව කුඩා වන පරිදි පෙළින් පෙළට මුද්‍රිත අකුරු, අහඹු ලෙස අතරින් පතර කියවීමේ හැකියාව අනුව දෘෂ්ටි ශක්තිය මැනීම පිළිගත් න්‍යාය වෙයි. වම් ඇසෙහි සහ දකුණු ඇසෙහි පෙනීම වෙන වෙන ම නිරීක්ෂණයත් අත්‍යවශ්‍ය දත්තයකි. ඇසේ පෙනීම දරුවකුගේ අධ්‍යාපනය සඳහා කොතෙක් දුරට ඉවහල් වේ ද යන්න, සිරිසෝම ප්‍රත්‍යක්ෂයෙන් දනී. එම අවශ්‍යතාව නිසි පරිදි සපුරා ගැනීමට ඔහු වඩාත් උනන්දු වූයේ එහෙයිනි.

එහෙත් කොස් ගසේ කඳෙහි ගැසූ ඇණයක ඇස් මට්ටමට එල්ලන ලද දෘෂ්ටි පරීක්ෂණ සටහන් පත ඉදිරියේ සම්මත දුරකින් පිහිටවනු ලැබූ දරුවකු ලවා, සටහන් පතේ මුද්‍රිත අකුරු පෙළින් පෙළ කියවීම, තරමක් අසීරු කටයුත්තක් සේ දැනිණි.

පන්තියේ අනෙක් දරුවකුගේ සහාය ලබා, පළමු දරුවාගේ එක් ඇසක් කාඩ්පතකින් ආවරණය කරවා, අහඹු ලෙස තෝරා දක්වන අකුරින් අකුර ඔහු ලවා කියවීමට ගත් උත්සාහය සඵල නොවී ය. කාකි නිල ඇඳුමින් සැරසුණු ආගන්තුක නිලධාරියකු ඉදිරියේ ගැමි දරුවන් බොහෝ විට ගොළු වීම සිරිසෝම අත්දැකීමෙන් හඳුනන්නකි.

පන්ති කාමරවල ඉගැන්වීමෙහි නිරත ගුරුවරු පවා, විටින් විට තුරු සෙවණ දෙස විපරමින් බලති. සෞඛ්‍ය නිලධාරියා දරන දුෂ්කර වෑයම ඔවුන් කිසිවකුට විහිළුවක් සේ හැඟී යෑම සාධාරණ ය. ඇතැමකුගේ කට කොනට නැඟුණේ සරදම් නොහොත් සාවඥ සිනාවකි.

එහෙත් නොබෝ වේලාවකින් ගොඩනැගිල්ලේ ඈත කෙළවර පන්ති කාමරයක ඉගැන්වීමෙහි නිරතව සිටි ගුරු භවතකු, කඩිනමින් තුරු සෙවණ කරා පැමිණෙනු දක්නා ලදි. බෝතල් අඩි වැනි අවතල කාච සහිත උපනෙත් සඟළක් පැලඳ හුන් ඔහු, යොවුන් විය නො ඉක්මවූවෙකි. සුදෝසුදු ජාතික ඇඳුම, ඔහුගේ උස මහත කළුවන් දේහයට පැහැපත් පෙනුමක් ගෙන දුනි.

"සර්... මට ඔය කාරියට උදවු වෙන්ට අවසර දෙන්ට! 'ස්නේලන්' පරීක්ෂණ සටහන ළඟ ඉඳන් මේ දරුවන්ට අකුරු එකින් එක පෙන්වා දෙන්ට මට පුළුවනි. ඒක සර්ට ලොකු පහසුවක් වේවි."

තරුණ ගුරුවරයාගේ ගත හා වත මෙන් ම කතා බහ ද ප්‍රසන්න ය. එහෙත් සෞඛ්‍ය පරීක්ෂකගේ සිත නැඟුණේ තරමක නොසන්සුන්කමකි. පාසල් ප්‍රධානියා දුටුව හොත්, උපගුරුවරයා නොවරදවා ම දෝෂ දර්ශනයට ලක් වනු නිසැක ය.

"නෑ... මහත්මයා, ඔබතුමා නියමිත පන්තියට යන්න. මම තනිවම මේ කටයුත්ත කර ගන්නම්" යි සිරිසෝම ඔහු වළක්වන්නට උත්සාහ කළේ එහෙයිනි.

එහෙත් ඉන් පසුබට නො වූ තරුණ ගුරුභවතා සිරිසෝමගේ සහාය පිණිස සිය කැමැත්තෙන් එහි රැඳුණේ ය. සිරිසෝම විසින් කාඩ් පතකින් එක් ඇසක් ආවරණය කෙරුණු දරුවා, ගුරුවරයා පරීක්ෂණ සටහන් පත අසල හිඳ අහඹු ලෙස තෝරමින් පෙන්වා දෙන අකුරු, එකිනෙක හඳුනාගෙන පැකිළීමෙන් තොරව උස් හඬින් කියවී ය. ගුරුභවතා විසින් දෙන ලද සහායෙන් සිරිසෝමට ලැබුණු පහසුව සුළුපටු නො වේ.

එසේ වුව ද, බාලාංශයේ සියලූ දරුවන්ගේ පූර්ව නිරීක්ෂණ අවසන් කිරීමට අවකාශ නො ලැබිණ. පාසල් ප්‍රධානියා වහ වහා තුරු සෙවණ කරා දිව එනු දක්නා ලදි.

හෙතෙම අවට සිටි කුඩා දරුවන් ද බියපත් කරවන තරම් උස් හඬින් උපගුරුවරයාගේ මුහුණට කඩා පැන්නේ ය.

"සුගුණපාල මහත්තයා, ඔහේ මේ නෙයියාඩමට අත් උදවු දෙන්ට ආවේ, කොයි ඩිරෙක්ඩර් උන්නාන්සෙගෙ අවසරයක් පිට ද ඕයි?"

ගුරුභවතා පමණක් නො ව සිරිසෝම ද අන්දමන්ද විය. කුඩා ළමයි පෙළ බියෙන් අසරණව ඔබමොබ බැලුහ. එහෙත් උපගුරුවරයා සන්සුන් ලෙස විනීතව නො පමාව පිළිතුරු දුන්නේ ය.

"සමා වෙන්න සර්, මම සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාට උදවු වෙන්ට ආවේ, එතුමා මෙතන තනියම විඳින වදේ දැකලයි. ඒ මිස කාගෙ වත් අවසරයකින් නො වෙයි."

"මිස්ට සුගුණපාල, මුන්නැහේ මෙතන ඕනෑ වදයක් විඳගත්තාවේ. ඔහේට මේ කාල පරිච්ඡේදයේ නියමිතව තියෙන්නේ පහේ පන්තියෙ වාක්‍ය රචනය පාඩම. ඒ ළමයි අද හෙට ශිෂ්‍යත්වෙටත් ලියන්ඩ ඉන්න අය. එහෙව් එකේ ඔහේ මෙතන ඇවිත් අහවල් නෙයියාඩමක් නටනව ද? "

"මම මෙතනට ආවේ, ඒ ළමයින්ට අදාළ පාඩමට වුවමනා කරුණු කියා දීලයි සර්. ඒ ළමයි තවම රචනය ලියනව ඇති. කවුරු හරි නියමිත කාරිය නො කර, කලබැගෑනියක් කළොත්, මට ඇවිත් කියන්ට කියාල, මම පන්ති නායකයටත් උපදෙස් දුන්නා."

උපගුරුවරයා කළ ප්‍රකාශයෙහි සත්‍යතාව විමසන්නා සේ, පාසල් ප්‍රධානියා පාසලේ ඈත කෙළවර පන්ති කාමරය වෙත හෙළුවේ උකුසු බැල්මකි. ගුරුභවතා සඳහන් කළා සේ ම, පන්ති කාමරය මීයට පිම්බාක් සේ නිහඬ ය. එය දරුවන් තමන්ගේ පාඩුවේ නියමිත අභ්‍යාසයේ යෙදී සිටින බවට කදිම සාක්ෂියකි.

එහෙත් ගුරුවරුන් දෙපළ අතර සිදු වන සංවාදය සිරිසෝමගේ සිත බිහි කළේ, සානුකම්පිත හැඟීමකි. හෙතෙම තවදුරටත් නිහඬව නො සිට ඔවුන් අස්වසන්නට සිතී ය.

"සුගුණපාල මහත්මයා, විදුහල්පතිතුමාගේ කතාව හරි. ඔබතුමා කරුණාකරලා නියමිත පන්තියේ පාඩමට යන්න! මට අපහසුවෙන් වුණත් පුළුවන් හැටියකට මගෙ කටයුත්ත කරගෙන යන්නම්."

එහෙත් උපගුරුවරයා ඔහු කළ ඉල්ලීමට අවනත නො වී ය.

"නෑ... සර්, සර්ට මේ රාජකාරිය තනියම කර ගන්න අමාරුයි. මම සෑහෙන වේලාවක් මේ පැත්ත බලාගෙන හිටියා. ඔබතුමා විඳින වදේ මට හොඳහැටි තේරුණා. මම කැමැත්තෙන්m ම මෙතනට දුවලා ආවේ ඒකයි."

"සුගුණපාල, ඔහෙට වත් මට වත් වැටුප් ගෙවන්නෙ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නො වෙයි. ඔහෙගෙ තක්කඩිකම ගැන, මම අද ම කලාප අධ්‍යක්ෂතුමාට රපෝර්තු කරනවා" යි වඩාත් ප්‍රචණ්ඩ වූ පාසල් ප්‍රධානියා කෝපයෙන් ගුගුළේ ය.

"සමා වෙන්න සර්! කමක් නෑ සර්ට කැමැත්තක් කරන්ට! පාසල් වෛද්‍ය පරීක්ෂණයක වටිනාකම සර්ට නොතේරුණාට මට අගේට තේරෙනවා. අද ගෙදර යන්ට සිද්ධ වුණත්, සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාට මේ කාරිය හොඳින් කරගන්ට උදවු වෙලා තමයි මම ගෙදර යන්නෙ" සුගුණපාල පිළිතුරු ලෙස එසේ පැවසුවේත් පෙර පරිදි ම සන්සුන් හා විනීත ඉරියව්වෙනි.

"කෙහෙල්මල් වෛද්‍ය පරීස්සනේ...! මළඉලවු වටිනාකම...? මේ ඊයේ පෙරේදා පේරාදෙණියෙං එළිබැස්ස ඔහේ දන්නෙ මොන ඉටිගෙඩිය ද සුගුණපාල? විස්ස විජ්ජාලවල දැං ඔහෙලට උගන්නන්නෙ ඔය වගේ තක්කඩිකම් කරන හැටි ද?"

විදුහල්පතිවරයාගේ වදන් බෙහෙවින් කර්කශ ය; ස්වරය ද උපහාසයෙන් හා සරදමින් අනූන ය.

එහෙත් උපගුරුවරයා සුපුරුදු සංයමය සුරැකී ය.

"මට සමා වෙන්න සර්, ඔබතුමා නොදන්නා නමුත්, මේ වෛද්‍ය පරීක්ෂණයෙ අගය මට අතැඹුලක් වගෙ වැටහෙනවා. ඒ විතරක් නො වෙයි. ඔබතුමාට කියන්ට, අසරණ මට පේරාදෙණි යන්ට පාර කපාල දුන්නෙත්, මේන්න මේ උත්තමයා තමයි සර්."

"මොනවා... ඕයි?" පාසල් ප්‍රධානියා සිත උපන් විස්මය පළ කළේ ඒ අයුරිනි.

ඔහු පමණක් නො ව, සිරිසෝම ද මවිත ව ගල්ගැසුණේ ය.

"එහෙමයි සර්! මීට පාළොස් අවුරුද්දකට ඉහත, දැදුරු ඔයබොඩ හද්දා පිටිසර වන්නි හත්පත්තුවේ, අපේ ගමේ කටගොමුවෙ පොල් අතු ඉස්කෝලෙ, පාසල් වෛද්‍ය පරීක්ෂණේටත් මෙතුමා වෙහෙස මහන්සි වුණේ මෙයාකාරයෙන් ම යි. මට තවමත් අද වගේ මතක යි."

"එහෙනම් ඔහේ මුන්නැහැව ඒ කාලෙ ඉඳල දන්නව?"

මුල් ගුරුවරයා විස්මිත ස්වරයෙන් විමසී ය.

"එහෙමයි. මං එතකොට හතරෙ පන්තියෙ. පහුවදා ඉස්කෝලෙට ආ දොස්තර මහත්තයෙක් පරීක්ෂා කරල, මගේ ඇස් දෙකේ ම පෙනීම දුර්වලයි කීවා."

"දොස්තර එහෙම කිවුවමයි කියමුකො. ඉතිං මුන්නැහැගෙං ඔහෙට වුණු සෙතේ මොකක් ද?"

පාසල් ප්‍රධානියා එසේ ප්‍රශ්න කරද්දී, අතීතය සිහිව උපගුරුවරයාගේ දෙනුවන් කඳුළින් බොඳ විය.

ඒ හිමිදිරි උදෑසන කන් බිහිරි කරවන යතුරුපැදි හඬින් අවදිව, නිදි පැදුරින් නැඟී එළිපත්තට එන විට නිලධාරියා අප්පච්චි හා පිළිසඳරේ යෙදී හුන් අයුරු, චිත්තාකර්ෂණීය සිනමා පටයක් සේ, සුගුණපාලගේ මනැසට නැඟිණ.

"කොලූගෙ දෑහැ ඔය පේන තරම හොඳටෝම ඇති ආයුබොවං! ඌ ඉතිං මින් මත්තටත්, මේ හේංකොටේ වල්උදලූ ගාල එකලාසයක් කරගන්ට මට උදවු වෙනව මිසක, ඩීආරෝ උන්නාන්සෙ ගාව කුරුටු ගාන්ට යන්ට දෑ?" උදැල්ලට මිටක් ගසමින් හුන් අප්පච්චි දුන් පිළිතුරු, අද මෙන් ම සානුකම්පිතව ඉවසූ මහත්මා ගුණය සුගුණපාලට දැනුත් අමතක නොකළ හැකි ය.

"මේ උත්තමයගෙ රාජකාරිය එතනිං ඉවර වුණේ නෑ... සර්! පසුවදා උදේ ම අපේ පැළට ඇවිත්, බෑ කියද්දි ම, අප්පච්චිත් මාත් දෙන්නා ඒ මොටෝසයිකලේ ම නංවගෙන, වාරියපොළ ඉස්පිරිතාලෙ ලොකුමහත්තයා ගාවට ගියා."

"ඩීඇම්ඕත් ඉතිං අරක ම කියන්ඩ ඇති. කතාව ඔච්චරයි නේ?" මුල් ගුරුවරයා එසේ ඇසුවේ, උපගුරුවරයා නිහඬ කරවන අදහසිනි.

"එහෙ ම කීවා විතරක් නෙමෙයි, ඩීඇම්ඕ මහත්මයා තවත් හොඳින් පරීක්ෂා කරල තුණ්ඩුවකුත් ලියා දුන්නා, සර්!"

"එහෙනං, ඒකත් බලලා මුන්නැහැ ඇස්ගෙඩි දෙක ගලෝල ඔහේට පූජා කළා වත් ද?"

"හිනැහෙන්ට එපා සර්! මෙතුමා ඒ ගමං ම අපිවත් කැන්දාන ඩීආරෝ කන්තෝරුවට ගියා."

"දෙයියන්ට ම ඔප්පු වෙච්චාවේ... එහෙනං ඩීආරෝ උන්නැහැත් ඔහෙගෙ ඇස් පරීක්ෂා කළා?"

"ඇස් පරීක්ෂා කළා නෙමෙයි සර්! ඉස්පිරිතාලෙ වාර්තාව බලලා, එදා ඒ මොහොතෙ ම, සමාජ සේවා ආධාරෙ ලියල දුන්න. ඒ ආධාරෙං ගත්තු කණ්ණාඩි කුට්ටමට පිං සිද්ධ වෙන්ට මං අද මෙතන."

උපගුරුවරයාගේ අතීත කතාව සරදමින් වුව ද අසා හුන් පාසල් ප්‍රධානියා, කඳුරකින් ඇද හැලෙන දියවැලක් සේ පැහැදිලි සත්‍යය හමුවේ, කන්වෑයකු පරිදි හැකිළුණේ ය.

ඉක්බිති ඔහු, පසෙක සිටි සිරිසෝම වෙත හෙළුවේ, කතරගම මහ දෙවොලේ, ඔද තෙදින් බබළන ස්කන්ධකුමාර දේවරාජයාණන්ගේ ප්‍රෞඪ ප්‍රතිමාරූපය වෙත යොමු කරන්නාක් වැනි, භක්ති පූර්වක බැල්මකි.

"මේ ඉන්නෙ නිකම් ම නිකම් හිස් මනුස්සයෙක් නො වෙයි සර්! මතු බුදු වෙන්ට පෙරුම් පුරන බෝධිසත්ත්ව උත්තමයෙක් ම යි කියාල, මට අදටත් හිතෙනවා!"

එසේ තෙපළ ගුරුභවතා එතෙකින් නොනැවතුණේ සැණෙකින් මුලිනුදුරා ලු සද්දන්ත නුග රුකක් සේ, සිරිසෝමගේ දෙපා අබියස වැලි පොළොවේ වැඳ වැටුණේ ය.

"මේ වැඳුම් පිදුම් කිසි දෙයක් මට හිමි නෑ සුගුණපාල මහත්මයා... මම එදත් අදත් කළේ, මට ලැබෙන වැටුපට නියමිත රාජකාරිය විතරයි."

දෙනුවන් නැගු කඳුළු අතරින් කොඳුළ සෞඛ්‍ය නිලධාරියා, වහා ඔහු දෙවුරින් අල්ලා නඟා සිටුවද්දී, කුඩා ළමයින් පෙළ පවා අයාගත් මුවින් හා සංවේදී හැඟීමෙන් යුතුව බලා හිඳිනු පාසල් ප්‍රධානියා විසිනුදු දක්නා ලදි.

 

නිර්මාණාත්මක ප්‍රබන්ධකරණය‍

සංක්ෂිප්ත ගද්‍ය කාව්‍ය විශේෂයක් ලෙස කෙටිකතාව හැඳින්විය හැකි වේ. සංකීර්ණ මානුෂික අද්දැකීම් හා මනෝභාවයන් පිළිබඳ හැඟීම් ප්‍රබල ලෙස නිරූපණය කිරීමට කෙටිකතා කලාව භාවිත කළ හැකි ය.

නිර්මාණාත්මක ප්‍රබන්ධකරණයෙන් අපේක්ෂා කරනුයේ නිර්මාණාත්මක කෙටිකතාවක් ලියන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඔබට අද්දැකීමක් ලබා දීමට ය. කෙටිකතා මාධ්‍යය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම සඳහා කෙටිකතාවක් රචනා කිරීමේ දී හෝ රස විඳීමේ දී අපගේ සැලකිල්ලට යොමු විය යුතු කරුණු කිහිපයක් තිබේ:

කථා වස්තුව
චරිත නිරූපණය
පසුබිම
දෘෂ්ටිකෝණය
භාෂාව

මෙකී ලක්ෂණවලට අමතරව සංකේත භාවිතය ආදි තවත් ලක්ෂණ රැසකි.

සෑම කෙටිකතාවකට ම කථා ප්‍රවෘත්තියක් මුල් වේ. කථා ප්‍රවෘත්තියක් යනු කාලයට අනුව ඒකාබද්ධ කරන ලද සිදුවීම් සමුදායකි. බොහෝ කෙටිකතාවල සාර්ථකත්වය රඳා පවතින්නේ මේ කථා ප්‍රවෘත්තියෙහි අපූර්වත්වය උඩ ය. මේ කතා පුවත පාඨකයා විශ්වාස කළ හැකි එකක් වීම වැදගත් ය. අද්දැකීම් පාඨකයාට සමීප වන්නේත්, පොදු බවට පත් වන්නේත් එවිට ය. නිදසුනක් ලෙස ‘මීටර් සියය’ කෙටිකතාව ගනිමු.

‘මීටර සියය’ කෙටිකතාවේ අද්දැකීම බවට පත්ව ඇත්තේ ගමේ ඉස්කෝලයට අලූතින් පත්ව එන ඉස්කෝලේ මහතාගේ මෙහෙයවීමෙන් ‘මුදලිහාමි’ නම් දරුවා සමස්ත ලංකා මීටර් සියය තරගයෙන් ජයග්‍රහණය කිරීම යි.

‘චරිත නිරූපණය’ කෙටිකතා රචනයේ දී වැදගත් වේ. විශාල කාල පරිච්ඡේදයක් ඇතුළත විකාශනය වන අද්දැකීම් විශාල සංඛ්‍යාවක් ඇතුළත් නවකතාවක මෙන් නොව, කෙටිකතාවක පරිපූර්ණ චරිත නිරූපණයක් කිරීම දුෂ්කර ය. කෙටිකතාවක නිරූපණය වන්නේ චරිතයකින් අංශුවක් පමණි. එමෙන් ම කෙටිකතාව තුළ ඉස්මතු වන්නේ එක් ප්‍රබල චරිතයක් හෝ දෙකකි. නිදසුන් ලෙස ‘මීටර් සියය’ කෙටිකතාව ගනිමු.

මීටර් සියය කෙටිකතාව කේන්ද්‍රගත වන්නේ මුදලිහාමිගේ චරිතය වටා ය. එනම් ඔහු මීටර් සියය ධාවන තරගයට ඉදිරිපත් වීමේ සිදුවීම පසුබිම් කර ගෙන ය. මේ කතාව විකාශනය වීමට ඉස්කෝලේ මහතාගේ චරිතය ද හේතු වී තිබේ.

කෙටිකතා නිර්මාණයේ දී වැදගත් වන තවත් ලක්ෂණයක් නම් පසුබිම යි. එනම්: කෙටිකතාවේ අන්තර්ගත ක්‍රියාවට පිටුපසින් ඇති පරිසරය යි. කෙටිකතාවේ අද්දැකීම් කිසියම් නිශ්චිත ස්ථානයක නිශ්චිත අවස්ථාවක සිදු වන්නක් හැටියට දැක්වීම නිසා පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීමට පසුබිම උපකාරී වේ.

කොළඹ නගරයේ ක්‍රීඩා පිටියකට කැකිරාව ගමේ ළමයකු පැමිණීම හා ඔහු අද්දකින වෙනස කෙටිකතාවේ මූලික පසුබිම යි.

දෘෂ්ටි කෝණය හෙවත් කථන ක්‍රමය කෙටිකතාවක් රචනා කිරීමේ දී වැදගත් වන ලක්ෂණයකි. දෘෂ්ටිකෝණය යනුවෙන් අදහස් කරනුයේ සිය අද්දැකීම් නිරූපණය කිරීම පිණිස රචකයා විසින් තෝරා ගනු ලැබ ඇති මාර්ගය යි. කෙටිකතා රචනයේ දී බහුල ලෙස ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය හා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා ගැනේ.

‘දිට්හ දාන’ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය අනුගමනය කර ඇති කෙටිකතාවකි. එහි දී සියලූ චරිත බාහිර පුද්ගලයන් ලෙස විස්තර කෙරේ.

උත්තම පුරුෂයෙන් හෙවත් ‘ම’ ශබ්ද කාරකයෙන් කෙටිකතාවක් රචනා කිරීමේ දී සිදු වන්නේ ‘මම’ නැමැති පුද්ගලයාට විඳීමට සිදු වූ අද්දැකීමක විලාසයෙන් කෙටිකතාව නිරූපණය වීම යි. ‘මීටර් සියය’ එලෙස උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචිත කෙටිකතාවකි.

කෙටිකතා රචනයේ දී වැදගත් වන ලක්ෂණයක් ලෙස භාෂාව හැඳින්විය හැකි ය. කෙටිකතාවෙන් නිරූපණය කිරීමට බලාපොරොත්තු වන අද්දැකීමට පාඨකයා හැකි තාක් දුරට සමීප කරවා ගැනීමට ඉවහල් වන පරිද්දෙන් කෙටිකතාකරුවා වචන භාවිත කරයි.

මීටර් සියය කෙටිකතාවේ දී මුදලිහාමිගේ චරිතයට ගැළපෙන ආකාරයට භාෂාව යොදා ගෙන තිබේ.

‘දිට්හ දාන’ කෙටිකතාවේ ද විදුහල්පතිවරයාගේ චරිතය ඉස්මතු වී පෙනෙන ආකාරයට ඔහුගේ භාෂා භාවිතය නිරූපණයට කතුවරයා උත්සුක වී තිබේ.