උපන් බිම පිළිබඳව තම හදවත තුළ නැගෙන සාඩම්බර හැඟීම හා ආදරය, ‘දේශාභිමානය’, ‘දේශානුරාගය’, ‘දේශවාත්සල්යය’ යනුවෙන් හැඳින්වේ. රට, ජාතිය විනාශයට පත් වෙද්දී එහි ජීවත්
වන්නන් උදාසීනව සිටින විට සාහිත්යකරුවෝ ඒ ඒ ජාතීන්ගේ සිත් තුළ රට, ජාතිය ගැන හැඟීම් පණ ගන්වා, ඔවුන් පොලඹවා, ඉදිරියට යවන්නට සමත් නිර්මාණ බිහි කරති; එකී ජාතීන් අතර ඒ නිර්මාණ පතුරුවා හරිති. ඒවායෙහි ගැබ් වී ඇති සංකල්පනා ඔවුන් තුළ ජාති වාත්සල්යය හා දේශාභිමානය ඇති කරවයි. යටත් විජිතවාදීන්ගෙන් රට ජාතිය නිදහස් කර ගැනීමේ අවශ්යතාව මතු වූ අවධියක සිංහල සාහිත්ය නිර්මාණකරුවන් අතින් ද දේශාභිමානී සාහිත්ය නිර්මාණ බිහි විණි. කාලීන අවශ්යතාව ඉටු කිරීම සඳහා නිර්මාණකරුවෝ පෙළ ගැසුණාහ. ජාතිකාභිමානී හැඟීම් දනවන නිර්මාණ හඳුනා ගෙන රස විඳීමට මග පෙන්වීම මේ පාඩමෙන් අපේක්ෂා කෙරෙයි.
අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගය දක්වා විවිධ වූ ආක්රමණවලට මුහුණ දී මවුබිම බේරා ගන්නට රණ බිමෙහි රුහිරු හෙළා දිවි දී කැප වුණු රණශූරයන්, සාගර බඳු වැව් නිර්මාණය කරමින් රට සහලින් ස්වයංපෝෂිත කරන්නට උර දුන් රජවරුන්, නැණ නුවණ වඩවන්නට පන්හිඳ මෙහෙයවූ මහ පඬිවරුන්, ලක්මවගේ ශ්රී විභූතිය ලොව පතළ කරන්නට තම දස්කම් පෑ මහා කලාකරුවන් මෙන් ම ස්වභාව ධර්මයෙන් අප ලද උරුමයන් දේශානුරාගයේ හා දේශාභිමානයේ උල්පත් බඳු ය. මවුබිම ගැන අප සිත්හි නැඟෙන සාඩම්බරයට හේතු වූවෝ එකී ජනයෝ යත එකී වස්තූහු ය.
දේශාභිමානී සාහිත්ය නිර්මාණ වැඩි වශයෙන් ම රචනා වූයේ කොළඹ අවධියේ මුල් වකවානුවේ දී ය. යටත් විජිත පාලනයේ නොයෙකුත් මදිපුංචිකම්වලට මුහුණදෙමින් සිටි ලක්වැසියෝ නිදහස ලබා ගැනීමේ අවශ්යතාවෙන් පෙළෙන්නට වූහ. ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, අරීසෙන් අහුබුදු වැනි කවීන් තම නිර්මාණ මගින් ජාතිය පුබුදු කරවන්නට සිතුවේ මේ නිසා ය. නිදහසෙන් පසුව ද, දේශාභිමානී සාහිත්ය නිර්මාණ රැසක් බිහි විය. වර්තමාන කවීන් අතින් ද රට ජාතිය ගැන ආදරයක්, ගෞරවයක් ජනිත වන ආකාරයේ නිර්මාණ බිහි වෙමින් පවතී.
ජාතියක අනන්යතාව භාෂාව යි. භාෂාවට ආදරය කරන්නා ජාතියටත් මාතෘ භූමියටත් ආදරය කරයි. මේ බව කුමාරතුංග මුනිදාසයෝ මෙසේ පවසති.
රට ජාතිය රැක ගන්නට නම් මුලින් ම භාෂාව රැක ගත යුතු බව කවියාගේ අදහස යි.
සතුරන්ගේ එඩිය පරදමින් විජය දද නැංවූ වීරයන් ගැන කියැවෙන මේ කවිවල, සිත් තෙද ගැන්වීමේ හාස්කමක් ඇතැයි හැඟේ. හදවත නමැති මිණි බැම්මෙහි ඇඳී ඇති සිතියමක් ලෙස වර්ණනා කරමින් මාතෘ භූමියට නමස්කාර කරන බව ද කවියා පවසයි. ‘හද මිණි බැම්ම’ වැනි කාව්යමය යෙදුම් මගින් මේ නිර්මාණය රසවත් වී ඇත. ලක්මවගේ කරුණාව නමැති දිය දහර මහා ගංගාවන් වී ගලා බසින බව සඳහන් කරන කවියා ඒ දිය බිඳකින් මරණාසන්න වූවකුට වුව ද ජීවිතය ලැඛෙන බව කියයි. කවියා අප රටෙහි ජල සම්පත වර්ණනා කරන්නේ එසේ ය.
ඉතා සරල භාෂාවක් යොදා ගෙන රචනා කර ඇති මේ දේශාභිමානී පද්ය කාව්යයෙන් ළමා සිතෙහි ද ජාත්යනුරාගය ඇති කෙරෙයි. ‘මගෙ රට කාට දෙවෙනි ද?’ යන යෙදුමෙන් ම රට ගැන ආඩම්බරයක් ඇති වෙයි.
මල් පිපී සුවඳ දෙමින් නටයි, සීගිරි ගිරි මැඳුර රතඹල, රදලිය මල්වලින් හැඩ වෙයි. එවිට ඒ මල් රජලියන් සේ ය. සමනොළ, මිහින්තලා කඳු මල්වලින් අලංකාර වී සොඳුරු දසුන් මැවෙයි. ඒ කඳුමුදුන්වල පූජනීයත්වය වර්ණනා කෙරෙයි. ‘සේදේ සිල් මිහිරේ’ යනුවෙන් ව්යංග්යාර්ථවත් වන්නේ ඒ පූජනීයත්වය යි.
‘කවියෙන්’ ‘ගීයෙන්’ ‘විරිතින්’ ‘තනුයෙන්’ වැනි අනුප්රාසවත් යෙදුම් මේ ගීයෙහි සජීව හා ප්රාණවත්භාවය මතු කරයි.
නෙලූම් පිපුණු පොකුණු, මනාලියන් සේ දිස් වන මැයි ගස්, තරගෙට පිපෙන විවිධ මල් වර්ග, පරිසරය සුවඳවත් කරමින් මුළු ලොව ම සනහන බව වර්ණනා කරයි. රචකයා මේ නිර්මාණයෙන් කරන්නේ ශ්රී ලංකාවේ සුන්දරත්වයත් පූජනීයත්වයත් ගෙන හැර පාමින් සහෘද සිත්සතන් තුළ ජාත්යනුරාගය ඇති කිරීමට උත්සාහ කිරීම යි.
විදේශයන්හි සැරි සරමින් ලෝකය සිසාරා ගිය ද මගේ දේශය තරම් උතුම් දේශයක් හමු නොවුණු වග කියමින් දේශය වර්ණනා කරන මේ ගීතය රස විඳිමු.
මෙබඳු නිර්මාණ ඇසුරු කිරීමෙන් ලැඛෙන වින්දනය රසිකයා තුළ දේශය පිළිබඳ අභිමානවත් හැඟීම් ජනනය කිරීමට හේතු වනු ඇත.
රචනාවක් ලියමු
මාතෘකානුකූල රචනා යනුවෙන් අදහස් වන්නේ මාතෘකාවකට අනුව කරුණු ලිවීම යන්න යි. ඉදිරිපත් කර ඇති මග පෙන්වීම ප්රයෝජනයට ගෙන කිසියම් රචනාවක් කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ. ඔබට සපයනු ලබන මාතෘකාව ව්යූහයකට අනුව පෙළගැස්වූ වාක්ය කීපයක් නම්, එයින් පැහැදිලි කෙරෙන්නේ එම රචනාවෙහි ඇතුළත් කළ යුතු කරුණු මොනවා ද යන්න යි. ඒ විස්තරයට අනුව ගැළපේ යැයි සිතෙන සුදුසු මාතෘකාවක් යෙදිය හැකි ය. මාතෘකාවක් පමණක් ලබා දෙන්නේ නම් ඔබ නිර්මාණාත්මකව එම රචනාව පෙළගස්වා ගත යුතු යි. කරුණු සංශ්ලේෂණය කර ඉදිරිපත් කිරීමේ හැකියාව මැනෙන ලේඛනයකි රචනාව. ඔබ දන්නා කරුණු අතුරින් මාතෘකාවට අදාළ වූ ද ඉතා වැදගත් වූ ද කරුණු පෙළගැස්වීම ඔබේ දක්ෂතාව යි.
වාක්ය කීපයකින්, රචනාවෙහි ඇතුළත් කළ යුතු කරුණු දැක්වීම රචකයාට පහසුවකි. එවිට රචනය සංවිධානය වෙයි; අනවශ්ය වැල්වටාරම් හා එක ම දේ නැවත නැවත ලිවීමෙන් වැළකෙයි.
රචනාවක් ඇගයීමේ දී කරුණු කීපයක් ගැන සලකා බැලෙයි.
මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් රචනය ලිවිය යුතු යි. සාරවත්භාවය යනුවෙන් අදහස් කරන්නේ තේමාවට අදාළව, සාරවත්ව කරුණු ඉදිරිපත් කිරීම යි. එසේ ම රචනාවක දී කරුණු සංවිධානය, නිර්මාණාත්මකභාවය හා ස්වීයත්වය ද වැදගත් ය. උසස් ප්රකාශන ශක්තියෙන් යුතු, ව්යක්ත ලේඛන ව්යවහාරය නිර්මාණාත්මකභාවයේ දී ප්රමුඛ වේ. ස්වීයත්වය යන්නෙන් තමාගේ ම ශෛලියක්, රටාවක් අනුගමනය කිරීම අදහස් කෙරේ.
ශිල්පීය දක්ෂතා පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙයි. පැහැදිලි අත්අකුරු, විරාම ලක්ෂණ භාවිතය, පද බෙදීම හා ඡේද බෙදා දැක්වීම වැදගත් ය. උක්ත - ආඛ්යාත පද සම්බන්ධ රීති අනුගමනය කිරීම, නිවැරදි රචනයක ඇතුළත් ප්රධාන අංගයක් වෙයි. යොදා ගන්නා භාෂා රටාව ගැන ද සැලකිලිමත් විය යුතු ය.
මේ කරුණු ගැන අවබෝධයෙන් ලියන රචනාව ගුණාත්මක රචනයකි. ඔබ කුඩා කාලයේ සිට ඉගෙන ගන්නා රූඪී, ප්රස්තාව පිරුළු, යුගල පද වැනි සාම්ප්රදායික යෙදුම් නිර්මාණාත්මක රචනයක් සඳහා මහඟු පිටිවහලකි. නිවැරදි හා නිර්මාණාත්මක රචනාවක් ලියන්නට අපි හුරු වෙමු.
දී ඇති විස්තරයකට අනුව ව්යූහගත රචනාවක් ලියන්නට උගනිමු.
මාතෘකාව
රූපවාහිනිය අපට බොහෝ තොරතුරු දැන ගත හැකි මාධ්යයකි. එහෙත් වැදගත් තොරතුරු දැන ගැනීමට වඩා, විවිධ නාලිකාවල එක දිගට පෙළගැසෙන ටෙලි නාට්ය නැරඹීමට බොහෝ දෙනා රූපවාහිනිය භාවිත කරන ආකාරයක් අපට දැකිය හැකි ය. මේ තත්ත්වය පාසල් දරුවාට අහිතකර ලෙස බලපායි. රූපවාහිනිය නිසි ලෙස පරිහරණය කිරීම අප කාගේත් යහපතට හේතු වෙයි.
මේ මාතෘකාවට අනුව අප මුලින් ම සඳහන් කළ යුතු වන්නේ රූපවාහිනිය තොරතුරු ලබා දෙන මාධ්යයක් ලෙස අපට වැදගත් වන ආකාරය යි. පළමු වන වාක්යයෙන් කියා ඇත්තේ ද එය යි. විකාශනය වූ වැඩසටහනක් මගින් අපට නැරඹීමට නොහැකි වූ අපූරු ස්ථානයක්, අපට අත්විඳිය නොහැකි වූ අපූරු සිදුවීමක් පිළිබඳව අප දැනගත් තොරතුරක් කෙටියෙන් විස්තර කරමින් හෝ එසේත් නැති නම් රූපවාහිනිය යන මෙවලම අපට දැක ගත හැකි වූ මුල් ම දිනය ගැන ඉතා ම කෙටියෙන් විස්තරයක් කරමින් හෝ රචනය ආරම්භ කළ හැකි යි. කෙසේ වුව ද නිර්මාණශීලී ආරම්භය ඉතා වැදගත් වෙයි. රූපවාහිනිය මගින් සාහිත්යය, කලාව, විද්යාව, තාක්ෂණය, සංවර්ධනය, විනෝදය, අරුම පුදුම නිපැයුම්, විවිධ ජාතීන් හා විවිධ සංස්කෘතීන් ගැන තොරතුරු ලැඛෙන බව පැහැදිලි කළ යුතු යි. අනතුරුව සඳහන් කළ යුතු වන්නේ වැදගත් තොරතුරු විකාශනය වන නාලිකාව ක්රියා විරහිත කොට වෙනත් නාලිකාවක ටෙලි නාට්ය නැරඹීමට පවුලේ සියලූ සාමාජිකයන් පෙලඹී ඇති බව යි. මේ නිසා පාසල් දරුවාගේ කාලය නිෂ්ඵල ලෙස වියැකී යන බවත්, ටෙලි නාට්ය අද්දැකීම් අත්හදා බැලීමට යෑමෙන් සිදු වන අනර්ථයත්, සිදු විය හැකි අනතුරුත් වෙනත් ඇබ්බැහි වීම් හා එයින් වන අයහපතත් ගැන ඊළඟ ඡේදයේ දී සාකච්ඡා කළ යුතු යි.
අවසාන ඡේදයේ දී මේ තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුතු පිළියම් යෝජනා කිරීම අත්යවශ්ය යි. මාතෘකාවේ සඳහන් ඒ ඒ වාක්යයෙන් කියවෙන කරුණු ඒ ඒ ඡේදයේ දී විස්තර කළ යුතු යි. යෝජනා ඉදිරිපත් කිරීමෙන් හා යෝජනා ක්රියාත්මක කිරීම මගින් උදා කර ගත හැකි යහපත ගැන කියමින් රචනාව අවසන් කළ හැකි යි.
මාතෘකාවක් පමණක් ලබා දී ඇති අවස්ථාවක දී රචනය සැලසුමක් අනුව පිළියෙල කර ගෙන ලිවිය යුතු යි. එහි දී
යනුවෙන් මාතෘකාව කොටස් කර ගත හැකි ය. අපි උදාහරණයක් ගෙන බලමු.
මාතෘකාව
කැලිකසළ නිසි ලෙස බැහැර කිරීම සැමට සෙතකි
මේ මාතෘකාව අනුව රචනය ලිවීමේ දී කැලිකසළ මගින් නිපදවා ගත් කාබනික පොහොර යොදා සරුසාර ගෙවත්තක් නිර්මාණය කර ගත් ආකාරය හෝ වෙනත් යහපතක් ගැන ඉතා කෙටියෙන් විස්තර කරමින් රචනය ආරම්භ කළ හැකි යි. නැත හොත් කැලිකසළ ආහාරයට ගෙන මිය ගිය සතෙකු හෝ සිදු වූ අයහපත් තත්ත්වයක් ගැන හෝ ඉතා ම කෙටියෙන් පැහැදිලි කිරීම යෝග්ය යි. කැලිකසළ නිසි ලෙස බැහැර කිරීමට පෞද්ගලිකව තම තමන් ගත යුතු පියවර හා රජය මගින් ගෙන ඇති පියවර පැහැදිලි කිරීම ද මනා ය. කැලිකසළ හේතු කොට ගෙන මිනිසා ද සතා සිවුපාවා ද, පත් වී ඇති ශෝචනීය තත්ත්වයත් මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කැප විය යුතු ආකාරයත් පැහැදිලි කළ යුතු ය. කසළ මගින් රෝග බෝ වන ආකාරය, පරිසරය අසුන්දර වන ආකාරය හා එයින් රටට සිදු වන අවාසිය ගැන ද ලිවිය හැකි ය. මේ අනර්ථකාරී තත්ත්වයෙන් මිදී කැලිකසළ සැමට යහපත ගෙනෙන සම්පතක් බවට පරිවර්තනය කර ගත හැකි ආකාරය පැහැදිලි කරමින් රචනය අවසන් කළ හැකි ය.
තමන්ගේ නිර්මාණශීලී චින්තනයත් තමා සතු වාක්කෝෂයත් පොත පත කියවා ලබා ගන්නා දැනුමත් නිරන්තරව ලේඛන කාර්යයෙන් ලබන අභ්යාසයත් සාර්ථක රචනයක් ලිවීමෙහි ලා අතිශය වැදගත් ය.