19 - රස විඳිනා දැනුම මනා

සාහිත්‍ය කෘතියක් යනු භාෂාව පදනම් කොට ගත් නිර්මාණයකි. එබඳු කෘතියක් කියවා එහි අගය හැඳින ගැනීමටත් එහි ඇතුළත් වන රස විඳ ගැනීමට හා එයින් විඳ ගත හැකි රස මෙසේ යැයි අනුන්ට හේතු සහිතව පෙන්වා දීමටත් ඇති හැකියාව සාහිත්‍ය විචාරය යි. හොඳ සාහිත්‍ය කෘතියක් හඳුනා ගත නොහැකි තැනැත්තාට තමන් කියවන හැම දෙයක් ම ‘හොඳ’ විය හැකි ය. එබැවින් රස - නොරස හඳුනන්නකු - එනම් විචාරකයකු - ඉදිරිපත් වී ‘හොඳ’ සාහිත්‍ය කෘතියක් හඳුනා ගැනීමට මග පෙන්විය යුතු ය.

එබඳු මග පෙන්වීමකින් උසස් සාහිත්‍ය නිර්මාණ පරිශීලනයට ආධුනිකයන් යොමු කළ හැකි ය.

‘කාව්‍යය’ යන්න පැරණි ව්‍යවහාරයෙහි හමු වන්නේ ‘සාහිත්‍ය නිර්මාණය’ යන අරුතිනි. "කාව්‍යය යනු රසවත් කියමනකි" යනු කාව්‍යය සම්බන්ධයෙන් දක්නට ලැබෙන එක් හැඳින්වීමකි. කාව්‍යය යන්න ගද්‍ය, පද්‍ය හා දෘශ්‍ය වශයෙන් ප්‍රභේද තුනකට බෙදා දැක්වේ.

‘පද්‍ය’ යනු තාලයකට කියවිය හැකි සේ වචන සංවිධානය කොට ලියනු ලැබූවකි. මේ තාලය ‘විරිත’ යනුවෙන් ද හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කවි’ යනුවෙන් හැඳින්වෙන සිවුපද රචනා මෙන් ම ගී, සිලෝ, නිදහස් පද්‍ය ආදි රටාවලින් බැඳුණු රචනා ද ‘පද්‍ය’ ගණයෙහි වැටේ. තාලයකින් යුක්ත වීම නිසා මතක තබා ගැනීමේ පහසුව හේතුවෙන් මුල් අවධියේ බොහෝ විෂය ලියවුණේ පද්‍ය ස්වරූපයෙනි.

‘ගද්‍ය’ යනු උක්ත - කර්ම - ආඛ්‍යාත යන අනුපිළිවෙළින් වචන පෙළ ගැස්වූ වාක්‍ය යි. සාමාන්‍යයෙන් බණ දහම් හා විවිධ විෂයයන් ලියවෙන්නේ ගද්‍යයෙනි. එහි පද්‍යයෙහි දක්නට ලැබෙන ‘විරිත්’ වැනි තාල හමුවන්නේ කලාතුරකිනි.

බලා රස විඳින නාට්‍යය ‘දෘශ්‍ය කාව්‍යයකි’.

මේ සියල්ල සාහිත්‍යාංග වෙයි. රස සහිත භාෂාත්මක නිර්මාණ, ‘සාහිත්‍ය නිර්මාණ’ ලෙස හැඳින්වෙයි.

චිත්‍රයක් නිර්මාණය කෙරෙන්නේ රේඛා සහ වර්ණ භාවිතයෙහි. ඒ අනුව රේඛා හා වර්ණ යනු චිත්‍රයේ මාධ්‍යය වෙයි. සංගීතයේ මාධ්‍යය ‘නාද’ යි. නාට්‍යය නිර්මාණය වන්නේ සතර අභිනය හෙවත් දෙබස්, රඟපෑම්, වස්ත්‍ර හා තිර මෙන් ම මුහුණේ ඉරියවු ද මාධ්‍යය කොට ගෙන යි. සාහිත්‍යය බිහි වන්නේ භාෂාව මාධ්‍යය කොට ගනිමිනි.

මාර්ටින් වික්‍රමසිංහ දක්වා ඇත්තේ, මානව ජීවිතයේ සුලබ අද්දැකීම් අතුරින් බොල් දේ දහයියා මෙන් පොළා දමා වැදගත් ම දේ තෝරා ගෙන උසස් නිර්මාණයක් බිහි කිරීමට හේතු වන්නේ නිර්මාණකරුවා සතු දැනුම, වැටහෙන නුවණ හා විචාර බුද්ධිය බව යි. එබඳු නිර්මාණයක් විචාරය කිරීමට ද එම කරුණු තුන වැදගත් වන බව වික්‍රමසිංහ තවදුරටත් විස්තර කර ඇත.

මෙයින් පැහැදිලි වන්නේ සාහිත්‍ය විචාරයේ දී, කවියා තම නිර්මාණය සඳහා දරන උත්සාහය පිළිබඳව විචාරකයා ද මනාව අවබෝධ කර ගත යුතු බව යි. සාහිත්‍ය නිර්මාණයක් රස විඳ, ඒ විඳගත් රසය ගැන කියන්නට නිර්මාණයට පාදක වූ අද්දැකීම හා එහි අපූරු බව හඳුනා ගැනීම වැදගත් ය. ලේඛකයා තම අද්දැකීම ප්‍රතිනිර්මාණය කරන්නේ සාහිත්‍ය නිර්මාණ මගිනි. මේ සඳහා යොදා ගන්නේ පද්‍යය නම් එහි ආකෘතිය හෙවත් හැඩය - එනම්, සඳැස්, නිසඳැස්, දෙපද, සිවුපද, ගී ආදි වශයෙන් අද්දැකීම් ඉදිරිපත් කරන්නට යොදා ගන්නා බාහිර පෙනුම - අන්තර්ගතයට හා අරමුණට ගැළපෙන ලෙස යොදා ගන්නට ශ්‍රේෂ්ඨ කවියා වග බලා ගනී. තම අද්දැකීම් ‘ගද්‍යයෙන්’ ඉදිරිපත් කරන්නේ නම් එහි කථන ක්‍රමය හෙවත් කතාව ඉදිරිපත් කරන්නේ කවුරුන් ලවා ද යන්න හා අවස්ථා නිරූපණය, චරිත නිරූපණය, යොදා ගන්නා භාෂාව ආදිය ගැන සැලකිලිමත් විය යුතු ය. ‘නාට්‍යය’ මගින් අද්දැකීම ඉදිරිපත් කරන්නා සතර අභිනය මනාව සංවිධානය කළ යුතු ය. එනම්, වාචික, ආංගික, ආහාර්ය හා සාත්වික යන හතර යි. ගද්‍ය, පද්‍ය හෝ දෘශ්‍ය කාව්‍ය විචාරයේ දී මෙකී කරුණු පිළිබඳ සැලකිලිමත් වෙමින් තමා විඳි රසය ගැන අදහස් පළ කළ යුතු වෙයි.

  • ‘දෑසේ නිල් පැහැය’ හා ‘දිට්හ දාන’ යනු පෙළපොතෙහි ඇතුළත් සාහිත්‍ය නිර්මාණ දෙකකි. ඒ නිර්මාණ රස විඳින්නට උත්සාහ කරමු.

 

දයාසේන ගුණසිංහගේ නිර්මාණයක් වන ‘දෑසේ නිල් පැහැය’ නමැති නිර්මාණය ඔබ විසින් මීට පෙර රස විඳින ලද්දකි. දිළිඳු පවුලක ජීවන අපේක්ෂා වස්තු විෂය කර ගත් එය රචනා කර ඇත්තේ නිසඳැස් කාව්‍ය ආකෘතියෙනි.

මේ නිර්මාණයේ කථකයා වන්නේ එම පවුලේ බිරිය යි. කතුවරයා සිය නිර්මාණය සඳහා භාවිත කරන භාෂාව කටවහර ද මුසු වූ ලේඛන ව්‍යවහාරයකි. එහි දී අදාළ කාන්තාවගේ සිතුවිලි ඇගේ හඬින් ම නො ව, කවියාගේ හඬ ද මුසු වී අපට ඇසෙයි. ‘බත් දෙකටක්’, ‘අටු කොටු පුරවා’ වැනි කට වහරේ යෙදුම් සුළු වශයෙන් භාවිත කරන කවියා බහුලව භාවිත කර ඇත්තේ ලේඛන ව්‍යවහාරය යි. පහත උද්ධෘත ඊට නිදසුන් කළ හැකි ය.

ඔහු මෙහි දී ලේඛන ව්‍යවහාරයේ යෙදෙන ‘හිරු අවර’, ‘නිල් ඉඳුවර’, ‘යොවුන් වියේ’, ‘උවම්’, ආදි යෙදුම් භාවිත කරන අතර ම ‘දෑසේ නිල් පැහැය දැවී සෙමෙන් තුරන් විය, ‘දෑසේ නිල් පැහැය සෙමෙන් අඳුරට දිය විය’ ‘දෑසේ නිල් පැහැ සේදී ගලා නිමා විය’ ආදි ලේඛන ව්‍යවහාරයේ වාක්‍ය රටා ද බහුලව භාවිත කර ඇත. ‘ඉදෙන බතේ සිනා හඬ, දිවි ගණනක්, හද මිරිකා හළ කඳුළ’ ආදි රූපාකාර්ථවත් යෙදුම් බහුල කාව්‍යමය භාෂාවක් කවියා මෙහි දී යොදා ගෙන තිබේ. මෙහි කියැවෙන කාන්තාවගේ සැමියා සිය පවුලේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රමය කැප කරන්නෙකි. කාන්තාව ඔහු වෙනුවෙන් ආහාර පිසිමින් ගෘහයේ විවිධ කටයුතුවලින් වෙහෙසට පත්ව සිටින්නී ය. පිඹ මොළවන ළිප, බත් දෙකටත් උපයන්නට දවස මුළුල්ලේ වෙහෙසෙන සැමියා, නිදි පැදුරේ සුසුම් කෙඳිරිලි හඬ, ඔවුන්ගේ දිළිඳු බව, ජීවිතයේ දුෂ්කරතා මනාව සංකේතවත් කරයි. නිල් මහනෙල් මලක කාන්තිය, ඈත දියඹේ වර්ණය පැරදවූ කාන්තාවගේ දෑසේ නිල් පැහැය ජීවිතයේ කටුක බව තුළ දිය වී ගොසිනි. එහෙත් ඇය අසුබවාදි නොවේ. කටුක දිවිය නමැති ගොහොරුවේ ඇය නැවුම් නිල් මහනෙල් මලක් දකින්නී ය. ඒ ඔවුන්ගේ දුව යි. ඒ ඇසුරෙන් ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් ගොඩ නගා ගැනීමට ඇය සමත් වෙයි. ඇය ඒ බලාපොරොත්තුව සිය ස්වාමියා තුළ ද දල්වයි. ඒ ඔහුට අතීතයේ සුන්දරත්වය පිළිබඳ සියුම් ස්මරණයක් ද ලබා දෙමිනි. ඔහු යොවුන් වියේ ඇයට කී වදන් සිහිපත් කරන අතර ම ඒ අතීතය ගැන සිතමින් කනගාටු වීම අතහැර දුවගේ අනාගතය පිළිබඳ කල්පනා කළ යුතු බව සැමියාට සිහිපත් කරවීමට ඇය උත්සුක වෙයි.

දිළිඳු බවින් පීඩා විඳින නමුත් මේ පවුලේ අන්‍යෝන්‍ය සබඳතා, අන්‍යෝන්‍ය ගරුත්වය ශක්තිමත්ව නිරූපණය කිරීමට කවියා යොදා ගන්නා ඇතැම් කාව්‍යෝක්ති හේතු වී ඇත.

සැමියාට ආහාර පිළියෙල කරන කාන්තාවට බත ඉදෙනා ශබ්දය සිනා හඬකි. ඒ බත ඈ පිසින්නේ දෙව් බොජුනක රස මවන අටියෙනි. ඇගේ තාරුණ්‍යය දිය කර හරින මුළුතැන් ගෙය තුළ පවා ඈ සතුටින් සැමියාට ආහාර පිළියෙල කරයි. දවසේ මෙහෙවරින් විඩාවට පත් වන සැමියාගේ කෙඳිරිලි හඬ බිරියගේ දෑසට කඳුළු නංවයි. ඇය තුළ ඔහු පිළිබඳ වන ගැඹුරු සෙනෙහස මෙහි ලා ඉස්මතු කෙරෙයි.

  • ඔබ කියවූ ‘දිට්හ දාන’ කෙටිකතාව ජේ. සී. පී. එස්. සිරිවර්ධන මහතා විසින් රචනා කරන ලද්දකි. එයට වස්තු විෂයය වී ඇත්තේ ස්වකීය රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අද්දැකීමකි. මේ කතාවට පසුබිම් වී ඇත්තේ නගරයෙන් දුර බැහැරක පිහිටි ගම්බද පාසලකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු, විදුහල්පතිවරයකු හා ගුරුවරයකු මෙහි මූලික චරිත වන අතර, ගුරුවරු සහ ශිෂ්‍යයෝ අවශේෂ චරිත වෙති. මෙහි කතා තේමාව විකාශනය වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ චරිතය වටා ය. එහි දී අවස්ථා, සිද්ධි මනා ලෙස නිරූපණය කරමින් කතාව ගොඩ නගා ඇති ආකාරය කතුවරයාගේ නිර්මාණශීලිත්වය පිළිබිඹු කරයි.

කතාවේ පළමු ඡේදය ප්‍රධාන චරිතයේ වෘත්තීය වටපිටාව හා ඔහු මුහුණ දී සිටින තත්ත්වය සංක්ෂිප්තව විග්‍රහ කරන්නකි. එහෙත් එහි දී ඔහු මුහුණ පා සිටින බාධකය හඳුනා ගැනීමට කතාව ඉදිරියට කියවා ගෙන යෑමට පාඨකයාට අවශ්‍ය වෙයි. පාඨකයා මේ බාධකය මැනවින් හඳුනා ගන්නේ තවත් ඡේද කිහිපයක් ඉදිරියට කියවීමෙන් අනතුරුව ය. එහෙත් ඒ වන විට සහාය දීම ප්‍රතික්ෂේප කරන විදුහල්පතිවරයා පිළිබඳව පාඨකයා අමනාපයක් ඇති කර නොගන්නේ ඊට පාදක වන හේතු හඳුනා ගෙන සිටින බැවිනි. ඔහු ද තමා වෙත පැවරී ඇති රාජකාරිය පිළිබඳ වගකීමෙන් මැඬී කටයුතු කරන්නෙකි.

මේ උද්ධෘතය විදුහල්පතිවරයා සිය රාජකාරිය මැනවින් ඉටු කර ඇති බවට දක්වන සාක්ෂියක් වැනි ය. කතුවරයා ඉදිරිපත් වී ඔහු ‘හොඳ විදුහල්පතිවරයෙකි’ යි යනුවෙන් සිය මතය ඉදිරිපත් කිරීමෙන් වැළකී, කතාවේ එන සිද්ධි, අවස්ථා මෙන් ම මෙබඳු පරිසර වර්ණනා සහ සෙසු චරිතවල සිතුවිලි ඇසුරෙන් විදුහල්පතිවරයාගේ චරිතය නිරූපණය කිරීම ඔහුගේ නිර්මාණ පරිචය පිළිබිඹු කරයි. විදුහල්පතිවරයාගේ භාෂා හැසිරවීම ඔහුගේ චරිතයේ එක් පාර්ශ්වයක් ඉස්මතු කළ ද කතුවරයා මෙහි දී එය කළු චරිතයක් වීම වළක්වා සාමාන්‍ය චරිතයක් බවට පත් කරයි.

මෙහි දී කතුවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ චරිතය පළමුව අප හමුවට ගෙන එන්නේ නොපැකිළව සේවයෙහි නියැලෙන, එනමුත් බයාදු මිනිසකු ලෙසිනි. ඔහුගේ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය කුළු ගැන්වීමට කතුවරයා තරුණ ගුරුවරයාගේ චරිතය යොදා ගනියි. තරුණ උපගුරුවරයා ස්වාධීන පෞරුෂයකින් යුක්ත චරිතයක් ලෙස විදුහල්පතිවරයා සමග කෙරෙන සංවාදය ඔස්සේ කතුවරයා විසින් පාඨකයාට හඳුන්වා දෙනු ලබයි. එහෙත් ඔහු ද තම රාජකාරිය මැනවින් ඉටු කරන්නෙකි. සෞඛ්‍ය පරීක්ෂකවරයාට උදවු කිරීමට ඔහු පැමිණෙන්නේ තම පන්තියේ සිසුන් ක්‍රියාකාරකමක නිරත කරවීමෙන් අනතුරුව ය. පසුව විදුහල්පතිතුමාට ඔහු ප්‍රකාශ කරන කතාව ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ශ්‍රේෂ්ඨත්වය පාඨකයා හමුවේ දිගහැරෙයි.

නොවෙනස් මතධාරී පාසල් ප්‍රධානියා පවා සසල කරන කතා පුවතින් සසල වීමටත් වඩා පාඨකයා සසල වන්නේ තමාට වඳින තරුණ ගුරුවරයා අමතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන වදන්වලිනි.

 

කතාව අවසන් වන්නේ කුඩා දරුවන් පවා මේ සිදුවීම් දෙස සංවේදි හැඟීමෙන් බලා හිඳින බව පවසමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුවට නංවන ඉහත වදන් පෙළින් පැහැදිලි වන්නේ කතුවරයාගේ රාජ්‍ය සේවය පිළිබඳ දෘෂ්ටිය යි. එහි උත්තමභාවය ද ඔහු ‘දිට්හ දාන’ කෙටිකතාව පුරා ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වී ඇති මේ කෙටිකතාවේ ප්‍රධාන චරිත තුනකි. ඒ විදුහල්පතිවරයා, මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරයා සහ උපගුරුවරයා ය. ඔවුහු තිදෙනා ම රාජ්‍ය සේවකයෝ වෙති.

මේ කතාව රචනා කර ඇත්තේ දෙබස්, කථන ව්‍යවහාරය හා භාෂණ ව්‍යවහාරය මිශ්‍ර රීතියකිනි. කථන ව්‍යවහාරය භාවිත කර ඇත්තේ දෙබස් රචනයේ දී පමණකි. එක් එක් චරිතයන්හි ස්වභාවයට ගැළපෙන සේ එම දෙබස් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සුක වී ඇත.

සාහිත්‍ය නිර්මාණකරුවා අප දන්නා සිදුවීමක් ඔස්සේ සිය නිර්මාණය ගොඩනැගුව ද එය කියවීමෙන් අවසානයේ අප පිවිසෙන්නේ අලූත් ලොවකට ය. සිය වගකීම් කෙරෙහි කැපවීම පිළිබඳ හැඟීමක් අප තුළ ජනිත කරවන ‘දිට්හ දාන’ කතුවරයා අප්‍රකට විරුවන් අප අතර සිටිය හැකි බව ද අපට සිහිපත් කරයි.