14 - අසිරිමත් ලෝකය

අතීතයේ පටන් මිනිසාට තමා ජීවත් වන ලෝකය හා විශ්වය අරබයා විවිධ ගැටලූ ඇති විය. ඒවා පිළිබඳ වඩාත් හොඳින් විමසා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය සම්බන්ධ විවිධ තොරතුරු අනාවරණය කර ගත හැකි විය. විද්‍යාව විෂයය බිහි වන්නේ ද ඒ අනුව ය. අද වන විට විද්‍යාත්මක සොයා ගැනීම් ඔස්සේ අපි
ලෝකය පිළිබඳ බොහෝ තතු දැන සිටිමු. ඒ දැනුම ගොඩනගනු ලැබුවේ අප අවට ලෝකය අරබයා පැවති වැරදි අදහස්වලින් බියපත් නොවී කරුණු සොයා බැලීමට ඉදිරිපත් වූ මිනිසුන් විසිනි. රුසියානු ජාතික ඇනටෝලි තොමිලින්ගේ How people discovered the shape of the Earth නම් කෘතිය, මිනිසුන් පෘථීවියේ හැඩය සොයා ගත් හැටි නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ දැදිගම වී. රුද්රිගු මහතා විසිනි. එම කෘතියෙන් උපුටා ගත් කොටසක් මේ පාඩමෙහි අන්තර්ගත ය.

ලෝකය ගෝලාකාර බව මුලින් ම සිතුවේ කවුරු ද?

මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට අද කිසිවකුට නොහැකි ය. පුරාණයේ දියුණු වී පැවති සැම රාජ්‍යයක ම බුද්ධිමතුන් සිටි අතර, ඔවුන්ගෙන් බහුතරය විවිධ හේතු නිසා ලෝකය ගෝලාකාර ය යන මතයට එළඹ සිටි බව කිව හැකි ය. නිදසුනක් වශයෙන්, පුරාණ ග්‍රීසියේ විසූ චින්තකයකු වන පයිතගරස් ඉතා ම ලස්සන ජ්‍යාමිතික හැඩය ගෝලය බව සිතී ය.

විශ්වයේ මධ්‍යස්ථානය වන පෘථීවියට වෙනත් රූපාකාරයක් තිබිය හැකි ද? පයිතගරස් සමග බොහෝ විද්‍යාඥයෝ එක`ග වූහ. එහෙත් එය ඔප්පු කරන්නේ කෙසේ ද? කිසිවකු තුළ සැක පහළ නොවන පරිදි එය විස්තර කොට නිදසුනකින් පෙන්වන්නේ කෙසේ ද? එවැන්නක් කිරීමට සමත් වූයේ පුරාණ ගී්‍රසියේ දාර්ශනික ඇරිස්ටෝටල් මහා පඬිවරයා ය.

හේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. විද්‍යා විෂයයන් රැසක් ම හේ දත්තේ ය. ලෝක ප්‍රසිද්ධ යුද්ධ සෙනෙවි මහා ඇලෙක්සැන්ඩර් හෙවත් මැසිඩෝනියාවේ රජු වූ ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා වූයේත් ඇරිස්ටෝටල් ය.

ඇතැන්ස් නගරයේ දාර්ශනික විද්‍යාලය විවෘත කරනු ලැබූවේත් ඇරිස්ටෝටල් විසිනි. එය පුරාණ ලෝකයේ ඉතා ප්‍රසිද්ධ විදුහල විය. ඇරිස්ටෝටල් මහා පඬිවරයා කීර්තිය කොතරම් වී ද යත්: ඔහුට එක්වර ශිෂ්‍යයෝ බොහෝ ගණනක් වූ හ. ලෝකයේ බොහෝ රටවල් දිග්විජය කළ මහා ඇලෙක්සැන්ඩර් කිසි දිනක සිය ගුරුවරයා අමතක නොකළේ ය. විවිධ රටවල් ජය ගත් ඔහු තම ගුරුවරයාට ලියුම් සහ විරල තිළිණ එවී ය.

සැබෑ විද්‍යාඥයකු වූ ඇරිස්ටෝටල් නිරන්තරයෙන් යමක් පිළිබඳ ගැඹුරින් හැදෑරීමට කැමති විය. දැනීම නමැති ධනය ගොඩ ගසා ගැනීමට කිසිවෙක් ලැජ්ජා නොවෙති.

ඒ කාලයේ දී මිනිසා නොදත් අභිරහසක් ලෙස සැලකුණු දෙයකි, චන්ද්‍ර ග්‍රහණය. චන්ද්‍ර ග්‍රහණය සිදු වන්නේ කුමක් නිසා ද? යන පැනයට කිසිවකුට නිසි පිළිතුරක් දිය නොහැකි විය. චන්ද්‍රයාගේ රිදී වන් රැස් ලෝකයට අහිමි කරනු වස් දුෂ්ට බලවේග චන්ද්‍රයා සොරකම් කරන බව සමහරු සිතූහ. චන්ද්‍ර ග්‍රහණය නිසා කිසියම් විපතක්, සමහර විට යුද්ධය, එයත් සමග දුර්භික්ෂය හෝ මහාමාරිය වැනි භයානක වසංගත රෝග පැතිර යන බව වෙනත් අයගේ මතය විය. චන්ද්‍ර ග්‍රහණය නිසා වාතය විෂ වී, මිනිසුන්ට හුස්ම ගැනීමට නොහැකි වන බව කියන අය ද සිටියෝ ය. මෙය විශ්වාස කළ සමහර මිනිස්සු තමන්ගේ ගෙවල් යට ඇති බිම් ගෙවලට හෝ ගුහාවලට වැදී සැඟවුණෝ ය. වෙනත් මිනිසුන් කළේ තම ජනේල වසා දැමීම හා කවුළු, සිදුරු, පැළීම් වැනි දේ මැටි ගා වැසීම ය.

ඇරිස්ටෝටල් බියගුල්ලෙක් නොවීය. චන්ද්‍ර ග්‍රහණය කීප වරක් ම නිරීක්ෂණය කළ ඔහුට කිසිදු රෝගයක් හෝ නොවැලඳි‚. මේ විද්‍යාඥයාගේ නිරීක්ෂණයෙන් පසු ඔහු කළ නිගමනය මෙසේ ය: චන්ද්‍රයාට සහ සූර්යයාට මැදින් පෘථීවිය සිටින විට, පෘථීවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් මේ චන්ද්‍ර ග්‍රහණය ඇති වේ. මේ හෙවණැල්ල හැමදා ම වටකුරු මන්ද?

ඇරිස්ටෝටල්, රොටියක් සේ වටකුරු පූපයක් ගෙන එය හිරු එළියට ඇල්ලී ය. එක් තැනෙක දී එය වටකුරු වුව ද පූපය හරවන විට අනික් තැන දී එය රිටක් සේ සිහින් විය. එසේ නම් පෘථීවිය වටකුරු පූපයක් වැනි සිහින් දෙයක් විය නො හැකි ය.

ඔහු දොඩම් ගෙඩියකින් අඩක් ගෙන හිරු එළියට ඇල්ලී ය. දොඩම් පළුවේ සෙවණැල්ල වටකුරු ලෙස පෙනෙන්නේ එහි කැපූ වටකුරු පැත්තට සහ මුදුනට හිරු රැස්
වැටෙන විට ය. එහෙත් එහි වක්‍රයට සෙවණැල්ල වැටෙන විට, එය අර්ධ කවාකාර හැඩයක් ගනී.

පූර්ණ දොඩම් ගෙඩියකින් හෝ ඇපල් ගෙඩියකින් පමණක් පූර්ණ වටකුරු සෙවණැල්ල වැටෙන්නේ එය කිනම් පැත්තට කරකවනවා ද යන්න නොතකා ය.

"එසේ නම්, අපේ මේ පෘථීවිය පූර්ණ වටකුරු වස්තුවක් විය යුතු යැ යි තම සිසුන්ට කියා දුන් ඇරිස්ටෝටල්, නිගමනයට පැමි‚ සැටි ද විස්තර කළේ ය. ශිෂ්‍යයෝ ගුරුතුමාගේ මහා බුද්ධිය නිසා ඉමහත් මවිතයෙන් නෙත් විදහා ගෙන ඔහු දෙස බැලු හ.

ඔවුන්ට එක් දෙයක් වටහා ගත නොහැකි විය. ලෝක ගෝලයේ පහළ කොටසේ මිනිසුන් ජීවත් වන්නේ කෙසේ ද? හිස පහළට දමා ගෙන ඔවුන් ගමන් කරන්නේත්, පහළට නොවැටෙන්නේත් මක් නිසා ද?”

කෙසේ වතුදු මේ ප්‍රශ්නයට සෑහෙන පිළිතුරක් සැපයීමට ඇරිස්ටෝටල්ට නො හැකි විය. මිනිසුන් පමණක් නො ව, කඳු, ගෙවල්, ගංගා සහ සාගර පමණක් නො ව, වාතය පවා ගුරුත්වාකර්ෂණ බලයට හසු වී සිටින බව එදා කිසිවෙක් නො දත්හ. ඇරිස්ටෝටල් ද මෙය නොදැන සිටි හෙයින් ලෝක ගෝලයේ දකුණු භාගය ජනශුන්‍ය බව කී විට, ඔහුගේ ශිෂ්‍යයෝ සහ අනුගාමිකයෝ ද ඒ නිගමනය පිළිගත්හ. එසේ වුව ද, දක්ෂිණ අර්ධ ගෝලයේ මිනිසුන් වසන බව පෞරාණික යුගයේ උගතුන්ගෙන් සමහරෙක් කියා සිටියෝ ය.

වර්තමානයේ අපගේ ලෝකය පිළිබඳ දැනුම මීට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. අප ජීවත් වන පෘථීවිය පමණක් නො ව අනෙකුත් ග්‍රහලෝක ගැන ද බොහෝ තතු අපි දනිමු. පොතපත, අන්තර්ජාලය භාවිතයෙන් අපට ඒ තොරතුරු දැන ගැනීමට ද හැකි ය. ඒ දැනුම දිනෙන් දින අලූත් වන්නේ ලෝකය පිළිබඳ තවදුරටත් විමසා බලන මිනිසුන් නිසා ය.