18 - නුවණින් ම තෝරමු

ආහාර අප ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි. සෙල්ලම් කිරීමට, වැඩ කිරීමට, ඉගෙනීමට මෙන් ම නීරෝගීව, ක්‍රියාශීලීව වර්ධනය වීමට ද අපට ආහාර උවමනා වේ. ඒවා අපට ශක්තිය හා පෝෂණය ගෙන දෙයි. වෛද්‍ය නුවන් තොටවත්ත මහතා රචනා කළ මේ පැදි පෙළ ආහාර පිළිබඳ ලියැවුණකි. එය තාලයට ගායනා කරමින් රස විඳිමු.

උදේ ඉඳන් රෑ වන තුරු
ගෙවෙන සිරුර යළි හදන්න                                                                       
ඉස්කෝලෙදි කරනා වැඩ
හොඳින් මතක තියා ගන්න

දුව පැන සෙල්ලම් කරන්න
ක්‍රිඩාවෙන් ජය ලබන්න
ඉගෙන ගනිමු අපි හැමෝම
හරි විදිහට කෑම කන්න

තිරිඟු කුරක්කන් අල
බත් සහ කොස් දෙල්වල
පිෂ්ටය ඇත කෑවොතින්
ලැබෙයි අපට සවි බල

මස්, මාළු ද බිත්තර
පියලි ඇට ද කරවල
කොළ සහ එළවළුවල
යකඩ තිබේ යහමින

හොඳින් ඉගෙන ගන්නට
ඇඟ ලේ වඩවන්නට
මතකය වැඩි කෙරුමට
යකඩ ඕනැ සැම විට

කරනා සම පියකරු
රකිනා ඇස් නිරතුරු
ඛනිජ ලවණ, විටමින් පිරි
රස අහරකි පලතුරු

කිරි යෝගට් මී කිරි
අහර කැල්සියම් පිරි
ඇට කටු දත් වෙයි සවිමත්
ගත්තොත් වන ලෙස සරි

ඇඟ ඇතුළේ වෙන හැම
දෙයට ම බෑ නැතුව ම
ඇති වෙන්නට වතුර බොන්න
මතක තියා ගනු මැන

වැඩිපුර ලූණු හොඳ නැති
මැනලා කෑවොත් වටී
එක දවසට එක්කෙනකුට
කෑ හැකි තේ හැන්දකි

නෙක නෙක පැණි රස ඇතා
සීනි ගොඩක් එහි වෙතා
කන්න කන්න ළං වෙනවා
දියවැඩියාවට ඉතා

කඩවල ඇති තෙල් බේරෙන
කෑමවලින් ඈත් වෙන්න
හදවත, අක්මාව දෙක ම
ලෙඩ වන බව සිහි කරන්න

රස වැඩි කර ගන්න දමන
රසකාරක නිසා ඔන්න
වෙන්නේ නම් පොඩි කාලෙ ම
එක එක ලෙඩ හදා ගන්න

මොනව ද අප කෑ යුතු
නුවණින් තෝරමු මතු
රසයට නො ම වී නතු
ගුණයට තැන දිය යුතු