7 - සියැටල්ට සවන් දෙමු

සොබාදහම හා මිනිසා අතර ඇති අපූරු බැඳීම පිළිබඳ විශිෂ්ට අදහස් දැරූ නායකයෝ ලොව සිටියහ. ශ්‍රේෂ්ඨ රතු ඉන්දීය නායක සියැටල්ගේ නාමය අදත් අපට සිහිපත් වනුයේ ඔහුගේ ඒ අදහස් හා ආකල්ප නිසා ම ය. සොබාදහම පිළිබඳ ඔහුගේ ගෞරවය සහ ආදරය ඒ අදහස්වලින් ප්‍රකට වේ. එවක ඇමෙරිකානු ජනාධිපතිතුමා වූ ජැක්ලින් පියස්, රතු ඉන්දීයයන්ගේ භූමිය ඇමෙරිකානු රජයට විකුණන ලෙස ඉල්ලීමක් කළේ ය. ඊට පිළිතුරු වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1854 මාර්තු 04 වැනි දින සියැටල් කළ විශේෂ ප්‍රකාශයෙන් උපුටා ගත් අදහස් කිහිපයක් මේ පාඩමට ඇතුළත් වේ.

"සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝ ය. පිනි මුවා, අශ්වයා, මහ රාජාලියා මේ සියල්ලෝ ම අපේ සහෝදරයෝ වෙති. ගිරි ශිඛර ද තණ බිම්වල තෙතමනය ද පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම ද යන මේ සියල්ල එක ම පවුලකට අයත් වන්නේ ය.”‍

සතුන් වගේ ම ගංගා, කඳු මුදුන්, මල්, තණපත්, සුළං අපේ ම සහෝදර සහෝදරියෝ නොවන්නෝ ද? සත්තු, තුරුලිය මිනිස්සු යන අපි සියලූ දෙනා ම එක ම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නා එක ම පවුලේ අය නොවෙමු ද? සැබවින් ම එය සිතා බැලිය යුත්තකි.

මේ ඓතිහාසික ප්‍රකාශනයේ දී පරිසරය පිළිබඳ සියැටල් දැක්වූ තවත් අදහස් කිහිපයක් වෙත අපි අවධානය යොමු කරමු.

"නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණිම හෝ මිල දී ගැනීම සඳහා වූ ඔබේ අදහස අපට නුහුරු වන්නේ ය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිල දී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.” ඔහුගේ ඒ වදන්වල දෝංකාරය අදටත් අපට ඇසෙන්නා සේ ය.

"මේ මිහිතලයේ සැම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක සැම කිනිත්තක් ම වැලිතලාවලින් පිරී ගිය සැම වෙරළක් ම අඳුරු වනාන්තරවල තිඛෙන සැම මිහිදුම් වලාවක් ම, සිහින් හඬින් ගී ගයන සැම කුඩා ප්‍රා‚යෙක් ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අද්දැකීම් සමුදායේ පූජනීය වූ වස්තූහු වන්නෝ ය. ගස් අතුරින් විහිදී යන සැම අඩි පාරක් ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේ ය. අප මිහිතලයේ කොටසක් වන අතර ම මිහිතලය ද අපගේ ම කොටසකි,” සියැටල් තවදුරටත් ප්‍රකාශ කරයි.

සියැටල් නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය සහ සොබා දහම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසා ම ය. තාක්ෂණයට වඩ වඩාත් සමීප වූ නූතන මිනිසා අද නැවත ගම් දනවු හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍යය නැවත අවබෝධ කර ගත් නිසාය. සදාකාලික වීරයකු වූ සියැටල් නම් රතු ඉන්දීය නායකයාගේ ඓතිහාසික කතාව එදා මෙන් ම අදට ද වැදගත් ය.

"ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපගේ ඔරු ද පාරු ද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුව හොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ට ද එය කියා දෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑ ම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.” සොබාදහමට අප වඩාත් ළං විය යුතු බව මෙන් ම සොබාදහමේ නේකවිධ වස්තු අප දිවිහිමියෙන් රැක ගත යුතු බව ඔහු පවසයි.

"උලමා ගයන හුදෙකලා ගීතය හෝ රාත්‍රියේ පොකුණක් අසබඩ මැඬියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ද ඇසීමට නොලැඛෙන ජීවිතයේ හරයක් ඇත්තේ ද? ජීවිතය නමැති
දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පම‚. මිනිසා ඒ දැලට යම් හානියක් කරතොත් ඒ තමාට ම කර ගන්නා උපද්‍රවයකි.”

"අන්තිම රතු මිනිසාත් මේ පොළෝතලෙන් අතුරුදන් වූ විට, ඔවුන්ගේ මතකය තණ බිම් හරහා පා වෙන වලාකුළක ඡායාවක් බවට පත් වූ විට මේ තැනිතලා වනපෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.”
සියැටල්ගේ හඬට සවන් දෙමින් අපිත් අපේ පරිසරය රැක ගැනීමට කටයුතු කරමු.