3.3 - හින්දු පුනර්ජීවන ව්‍යාපාරය

මිෂනාරී සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට හින්දු ආගමිකයන්ට ද පහර වැදුණි. විශේෂයෙන් යාපන ප්‍රදේශයේ ඉතා ප්‍රබල ලෙස මිෂනාරී ව්‍යාපාරය පැතිරයාම නිසා හින්දු ආගමට අභියෝග එල්ල විය. මීට ප්‍රතිචාර ලෙස හින්දු ආගමික නායකයන් ගත් ක්‍රියාමාර්ග නිසා හින්දු ආගමික හා සංස්කෘතික පිබිදීමක් ඇති විය. මුද්‍රණාල පිහිටුවීම, මුද්‍රිත පොත්පත් හා ප්‍රසිද්ධ දේශන මගින් හින්දු ජනතාව දැනුම්වත් කිරීම හා හින්දු ශිෂ්‍යයන් සඳහා නව පාසල් පිහිටුවීම ආදිය හින්දු පුනරුද ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණ වේ. හින්දු පුනරුද ව්‍යාපාරයට නායකත්වය සපයන ලද්දේ ආරුමුග නාවලර්තුමන් විසිනි. මුලින් ම "උදයභාණු" නමින් පුවත්පතක් ආරම්භ කොට හින්දු ආගම හා සංස්කෘතියේ වැදගත්කම පිළිබඳව දෙමළ ජනතාව දැනුම්වත් කිරීමට එතුමා කටයුතු කළේ ය. අනතුරුව වන්නාර්පන්නෙයි "ශෛව ප්‍රකාශ්" විද්‍යාලය පිහිටුවා හින්දු සිසුන්ට සමයානුගත අධ්‍යාපනයක් ලබා දීමට හින්දු පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයක් ද එතුමා ආරම්භ කළේ ය. එතුමාගේ අභාවයෙන් පසුව ද පොන්නම්බලම් අරුණාචලම් හා පොන්නම්බලම් රාමනාදන් වැනි නායකයෝ හින්දු පාසල් පිහිටුවීමේ ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට මෙහෙයවූහ.

ආරුමුග නාවලර් තුමා

ක්‍රි. ව. 1822 දී උපත ලද ආරුමුග නාවලර්තුමා මිෂනාරී පාසලක මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පසුව මෙතෝදිස්ත සභාවේ දේවගැතිවරයෙකු යටතේ එතුමා සේවය කළේ ය. මේ නිසා මිෂනාරී කටයුතු පිළිබඳ එතුමාට හොඳ අවබෝධයක් තිබුණි. හින්දු දරුවන්ට කුඩා අවධියේ සිට ම ආගම ඉගැන්වීමට හා පුද පූජා කියා දීමට හින්දු පාසල් ආරම්භ කිරීම හා පොත්පත් මුද්‍රණය සඳහා මුද්‍රණාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව ආරුමුග නාවලර්තුමා නිරන්තරයෙන් අවධාරණය කළේ ය. ඒ අනුව පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් යාපනයේ ශෛව ප්‍රකාශ් විද්‍යාශාෙලෙ යනුවෙන් පාසලක් ඇරඹීමට ආරුමුග නාවලර්තුමා පියවර ගත්තේ ය. මිෂනාරී පාසල්වලින් ලද අත්දැකීම් නිසා එතුමා එහි විෂයමාලා නූතනයට ගැළපෙන අයුරින් සකස් කළේ ය. පසුකලෙක යාපනය පුරා හින්දු පාසල් රැසක් ආරම්භ වූ අතර නාවලර්තුමා පිහිටුවූ පාසල එහි මූලිකත්වයට පත් විය. ශෛව පරිපාලන සභාව හා හින්දු අධ්‍යාපන සභාව ආරම්භ කොට එමගින් හින්දු පාසල් ඉදි කිරීමට පියවර ගැනුණි. දෙමළ සිසුන්හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම පිණිස 1872 වර්ෂයේ දී යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ කළේ ය. පසුව එය යාපනයේ හින්දු විද්‍යාලය ලෙස ප්‍රචලිත විය. මෙසේ හින්දු ජනතාව වෙනුවෙන් මහත් සේවයක් සිදු කළ මෙතුමා 1879 වර්ෂයේ දී අභාවයට පත් විය.

ආරුමුග නාවලර්තුමාගේ ජාතික සේවය

  • ශ්‍රී ලංකාවේ හින්දු ආගමික පුනරුදයට නායකත්වය සැපයීම.
  • හින්දු පාසල් පිහිටුවීමට පුරෝගාමී වීම.
  • හින්දු භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතිය රැක ගැනීමට ක්‍රියා කිරීම.
  • බාල පාඨම් නම් පෙළපොත් රචනය සහ ස්කන්ද පුරාණම්, පෙරිය පුරාණම් වැනි ග්‍රන්ථ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම.

පොන්නම්බලම් රාමනාදන් මහතා

1851 වර්ෂයේ දී උපත ලද පොන්නම්බලම් රාමනාදන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, පසුව නීතිවේදියෙකු ලෙස කටයුතු කළේ ය. මොහු හින්දු දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පාසල් ආරම්භ කිරීමට සිය පෞද්ගලික ධනය නොමසුරුව පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ නායකයෙකි. පරමේශ්වර විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය ආදි පාසල් පිහිටුවා හින්දු දරුවන්ගේ අධ්‍යාපන උන්නතියට රාමනාදන්තුමා ක්‍රියා කළේ ය.

මෙතුමා 1879 වර්ෂයේ දී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෙකු ලෙස පත් විය. 1910 කෘව් මැකලම් ප්‍රතිසංස්කරණ අනුව ප්‍රථම උගත් ලාංකික මන්ත්‍රවරයා වශයෙන් 1912 වසරේ දී එතුමා තේරී පත් විය.

1915 දී සිංහල - මුස්ලිම් කෝලාහල අවස්ථාවේ දී ආණ්ඩුවෙන් බෞද්ධයන්ට සිදු වූ අසාධාරණ හා අයුක්ති සහගත තත්වය පිළිබ`දව බෞද්ධයන් වෙනුවෙන් ද එතුමා හඬ නැගුවේ ය.

 

පොන්නම්බලම් අරුනාචලම් මහතා

1853 වර්ෂයේ දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා උපත ලැබී ය. මෙතුමා පොන්නම්බලම් රාමනාදන් මහතාගේ සහෝදරයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබා ගත්තේ ය. ඔහු සිය උපාධිය සඳහා නීතිය හා ඉතිහාසය යන විෂයන් හදාරා ඇත. මෙතුමා දේශපාලනඥයෙකු හා සමාජ සේවකයෙකු ලෙස ද වඩාත් ප්‍රචලිත විය.