3 - අවසාන දිනය

ඉස්ලාමයේ විශ්වාස කළ යුතු මූලධර්මවලින් 5 වන කරුණ වන්නේ අවසාන දිනය පිළිබඳව විශ්වාස කිරීමයි. අල්කුර්ආන්හි හා අල් හදීස්හි අවසාන දිනය කෙරෙහි විශ්වාස කිරීම පිළිබඳව අවධාරණය කොට ඇත.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, ජීවිතය කෙසේ ආරම්භ වී දැයි යන සංකීර්ණ දැනුම ලබා දෙන අතර අවසාන දිනය පිළිබඳ විශ්වාසය ජීවිතයේ අවසානය පිළිබඳ සංකීර්ණ දැනුම ලබා දෙයි.

ජීවිතයේ ආරම්භය හා අවසානය පිළිබඳව සවිස්තරව දැන ගැනීම මගින් ජීවිතයේ අරමුණ සැලසුම් කිරීමට පහසු වන්නේ ය.

අවසාන දිනය ගැන විශ්වාසයක් නොමැත්තා ලෝකයේ තමාට රිසි සේ ජීවත් වන්නට සූදානම් වෙයි; ආගමික උපදෙස් හා යහගුණාංගයන් බැහැර කරයි. ඔහු සත්වයකු සේ තම ජීවිතය ගත කරයි. මේ නිසා ඔහු තමාගේ මානුෂීය ගුණාංග අහිමි කර ගනියි.

එවිට බොරුව, ආත්මාර්ථකාමිත්වය, ද්‍රෝහි වීම, පොරොන්දු කඩකිරීම, වැරදි මාර්ගවලින් ලාබ ඉපැයීම, සිය දිවි නසා ගැනීම, මිනී මැරීම් ආදි පහත් ක්‍රියාවන් ජනයා අතර ඉහළ යයි.

තව ද සත්‍යය, යුක්තිය, සාධාරණත්වය, දානමාන, පොරොන්දු ඉටු කිරීම, සමාජ සුබසාධනය ආදී උසස් ගුණාංග මිනිස් සමාජය තුළ උදාසීන වේ.

අවසාන දිනය ගැන විශ්වාසයක් නොමැති වූ විට අල්ලාහ් මිනිසාට යැයි නියම කළ අනන්‍යතාවන් අර්ථ විරහිත බවට පත් වේ.

අල් කුර්ආනයේ හා සුන්නාහි දේව විශ්වාසය සමඟ අවසාන දිනය සම්බන්ධ කර දැක්වීමෙන් එහි වැදගත්කම පෙන්වා ඇත. අල්කුර්ආන්හි 50කට අධික නාමයන්ගෙන් අවසාන දිනය හඳුන්වා දී ඇත. යව්මුල් බඃස්, යව්මුල් හිසාබ්, යව්මුල් කියාමා, යව්මුල් ආහිරා, යව්මුද් දීන්, යව්මුත් තගාබුන් ඉන් කිහිපයක් වේ.

මිනිසෙකු මෙලොවෙහි කරන යහ ක්‍රියාවන්ගේ ඵලය අවසාන දිනයේ දී ලබා දෙනු ලැබේ. ඊමාන් කර චිත්ත පාර්ශුද්ධියෙන් යහක්‍රියා කරන්නෝ අවසාන දිනයේ දී ජයගෙන ස්වර්ගය පරිත්‍යාගය ලෙස ලබා ගනිති. ප්‍රතික්ෂේප කිරීමෙහිත්, පාපී ක්‍රියාවන්හිත් ගිලී සිටින්නෝ නිරයට පිවිසෙති. පරලොව ජය ලබා ස්වර්ගය ළඟා කර ගැනීම මුස්ලිම්වරයෙකුගේ අරමුණ වීමත් ඒ සඳහා කැප වී ක්‍රියා කිරීමත් ඔහුගේ වගකීම විය යුතු ය.

අවසාන දිනයේ විශ්වාසය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් කෙටියෙන් දක්වමු.

බඃස් (නැවත නැගිටුවීම)

අල්ලාහ්ගේ අණ පරිදි ඉස්රාෆීල් අලෛහිස්සලාම් තුමා ප්‍රථමයෙන් ම සූර් නළාව පිඹීමත් සමඟ අවසාන දිනයේ සිදුවීම් ආරම්භ වේ. එවිට පොළොවේ හා ග්‍රහලෝකවල ක්‍රියාකාරිත්වය බිඳී යයි. මිනිසුන් ඇතුළුව ජීවීහු සියලූ දෙනා මරණයට පත් වෙති.

දීර්ඝ කාලයකට පසුව නැවත දෙවන සූර් පිඹිනු ලැබේ. එවිට මරණයට පත් වූ සියලූ දෙනා නැවත ප්‍රාණවත්භාවයට පත් කරනු ලැබේ. මෙය බඃස් නමින් හැඳින්වේ.

මහ්ෂර්

මහ්ෂර් යනු අතිවිශාල පිටියක් වේ. දෙවැනි සූර් සමඟ ප්‍රාණයට පත්කරනු ලැබූ සියලූ දෙනා මෙම ස්ථානයට එක් රැස් වෙති. මෙහි දී හිසට ළංව පිහිටන සූර්යයාගේ උෂ්ණය දරාගත නොහැකිව මිනිස්සු වේදනා විදිති. දහඩිය ගංවතුරක් ගලනා අයුරින් පිරී යයි. අර්ෂ්හි සෙවණැල්ල හැර අන් කිසිදු සෙවණක් නොමැත. ජනයා වේදනාව දරා ගත නොහැකිව තමන් වෙනුවෙන් නිර්දේශ කරන ලෙස නබිවරුන් වෙත ගොස් පවසති. එවිට එම නබිවරු අනෙක් නබිවරයා වෙත යන ලෙස යෝජනා කරති. අවසාන වශයෙන් ජනයා නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් වෙත ගොස් වේදනාව දරාගත නොහැකි බැවින් පරලොව විමසුම ආරම්භ කරන ලෙස අල්ලාහ් තආලාගෙන් කන්නලවු කරන මෙන් බැගෑපත්ව පවසති. එතුමාත් අල්ලාහ් තආලාගෙන් බැගෑපත් වී අයැදින අතර කවරකුගේ සිතේ අබ මල් රේණුවක් තරම් වත් විශ්වාසයක් තිබේද ඔවුනට ෂෆාඅතය ලබා දෙන්නේ ය. මෙය ෂෆාඅතුල් කුබ්රා (මහා නිර්දේශය) නමින් ද හැඳින්වේ.

හිසාබ්

මෙය ප්‍රශ්න කිරීම යනුවෙන් හැඳින්වේ. ජනයා තනි තනිව විභාග කරන ලෙස අල්ලාහ් අණ කරයි. තමන් කළ වැරදි වසං කර බේරී යාමට කිසිවෙකුටත් නොහැකි ය.

මිනිසා ජීවත් වූ භූමියත්, ඔහුගේ අවයවත්, ඔහු කළ ක්‍රියාවන් ගැන සාක්කි කියයි. තව ද ලොවෙහි ඔවුන් කළ ක්‍රියාවන් සටහන් කරගත් ලේඛන ඔවුනොවුන්ගේ දෑත්වලට දෙනු ලැබේ. යහ ගැත්තන්ගේ ලේඛන ඔවුන්ගේ දකුණතට දෙනු ලැබේ. ඔවුහු එය ලබාගෙන අනෙක් අයට පෙන්විම සඳහා සතුටින් දිවයති.

පාපීන්ගේ ලේඛන ඔවුන්ගේ වම් අතට දෙනු ලැබේ. ඒවා ලැබූ ඔවුහු මහත් වූ දුකෙන් හඬා වැළපෙති.

අනතුරුව මීසාන් නමින් හැඳින්වෙන තරාදියේ ඔවුනොවුන්ගේ ක්‍රියාවන් කිරනු ලැබේ. මෙම තරාදිය අංශු මාත්‍රයක ක්‍රියාවක් වුව ද නිවැරදි ලෙස පෙන්නුම් කරන්නක් වේ.

හව්ලූල් කෞසර් (තටාකය)

අවසාන ප්‍රශ්න කිරීමෙන් පසු එක් එක් නබිවරු තම තමන්ගේ උම්මත්වරුන් සමඟ ඔවුනොවුන්ට හිමි තටාකයන් වෙත පැමිණ ජලය පානය කරති. මේවායින් ඉතා භාග්‍ය සම්පන්ත තටාකය වන්නේ නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ හව්ලූල් කෞසර් නමැති තටාකයයි. එහි වතුර කිරට වඩා සුදුවන් ය; මී පැණියට වඩා රසවත් ය; කස්තූරිවලට වඩා සුවඳවත් වේ; එයින් ජලය පානය කළ තැනත්තන්ට කිසි දා පිපාසයක් ඇති නොවේ. නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පිළිපැද ජීවත් වූ යහගැත්තන් සියලූ දෙනාට ම මෙහි ජලය පානය කිරීමේ භාග්‍යය ලැබේ.

සිරාත් (පාලම)

ඊළඟ පියවර වන්නේ නිරයට ඉහළින් තනා ඇති සිරාත් නම් පාලම හරහා යාමේ අවස්ථාව ය. ජනයා තමන් කළ යහ ක්‍රියාවන්ට අනුව නානාප්‍රකාර වූ වේගයන්ගෙන් පාලම පසු කර යෑමට උත්සාහ කරති. කාෆිර්වරු හා පාපීහු එය පසු කර යෑමට නොහැකිව නිරයට ම ඇද වැටෙති.

එබැවින් අවසාන දිනය පිළිබඳ විශ්වාසය අප හදවත් තුළ ගැඹුරින්
තැන්පත් කොට අප ජීවිතය හොඳින් සකසා ගනිමු. ඒ වෙනුවෙන්
ස්වර්ගය හිමිකර ගනිමු.