1 - තව්හීද් රිසාලත් මආද්

අල්ලාහ් සියල්ලෙහි ම මැවුම්කරුවා ය; ඒකයා ය; එක ම දෙවියා ය; සියලූ වස්තූන්හි පරිපාලක ය; අවශ්‍යතා රහිතයා ය; අසමසම ය. සියල්ල ඔහුගේ අභිප්‍රාය පරිදි සිදු වෙයි. ඔහුට යමක් කිරීමට අවශ්‍ය නම්, 'කුන්' (ඇති වනු) යන අල්ලාහ්ගේ විධානය දීම පමණක් සෑහේ. මෙවැනි බලයෙන් පිරිපුන් අල්ලාහ් ස්ථීරව විශ්වාස කිරීම "ඊමාන්" යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම විශ්වාසය යමෙකුගේ සිතෙහි ගැඹුරින් සටහන් වනවාත් සමග ම එහි එළිදැක්ම ලෙස "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යන කලිමාව උසුරන්නා "මුඃමින්" (විශ්වාසවන්තයා) වේ. අල්ලාහ්ගේ විධානයන් තම ජීවිතය තුළ පූර්ණ වශයෙන් ම පිළිපැදීමට ඔහුට සිදු වේ. එවිට ඔහුගේ ඊමාන් සම්පූර්ණ වේ.

සත්‍ය ඊමානය, මුඃමින්වරයකුගේ ජීවිතය තුළ විශාල වෙනසක් ඇති කරන අතර යහ ක්‍රියාවන් කෙරෙහි ඔහු උත්සුක කරවා අයහපතින් වැළකී ක්‍රියා කිරීමටත් සහය වේ.

මෙහි දී අපි ඊමාන්හි වැදගත් අංශ වන තව්හීද්, රිසාලත්, මආද් පිළිබඳව කෙටියෙන් විමසමු.

තව්හීද්

තව්හීද් යන්නෙහි අර්ථය ඒකදේවත්වය වේ.

මිනිසා, සතුන්, ග්‍රහලෝක ඇතුළු විශ්වය හා සියල්ල අල්ලාහ් මවා පරිපාලනය කරන්නේ ය; ජීවීන් පෝෂණය කරන්නේ ය; ජීවිතය හා මරණය ඒවාට ලබා දෙන්නේ ය.

ජාහිලියියා කාලයේ සිටි අරාබි ජනයා පවා මැවීම් සිදුකර පාලනය කරන්නෙක් ඇති බව පිළිගෙන සිටි බව අල්කුර්ආන් පෙන්වා දෙයි.

අහස හා පොළොව මැවූ කෙනා ද සූර්යයා හා චන්ද්‍රයා වසඟ කර තබා සිටින්නා ද කවුද, යැයි නබිවරයාණෙනි නුඹ ඔවුන්ගෙන් ඇසුවෙහි නම් "අල්ලාහ් ම ය" යැයි නියත වශයෙන් ම ඔවුහු පවසන්නෝ ය. (අල් අන්කබූත් 29 : 61)

මෙම කරුණු උදෙසා අල්ලාහ්ට වෙනත් කිසිවෙකුත් සමාන නොවේ යැයි ස්ථීරව විශ්වාස කලයුතු ය. මෙය පිළිගැනීමෙහි ලා ඉතිහාසය පුරා ම මිනිසා භේද භින්න වී ඇත. සමහරු පිළිගත්හ; තවත් සමහරු ප්‍රතික්ෂේප කළහ. ජාහිලියියා කාලයේ අරාබි ජනයා "ඉලාහ්" යන පදයේ අර්ථය හොඳින් දැන සිටි හෙයින් එයට දැඩි සේ විරුද්ධ වූහ; මෙමගින් තම ආධිපත්‍යය සෞභාග්‍යය තුරන් වේ යැයි බිය වූහ. තම මානසික ඉච්චාවන්ට අනුව ජීවත් වීමට නොහැකි වේ යැයි සිතා තැති ගත්හ.

අල්ලාහ් "රබ්" ලෙසත් "ඉලාහ්" ලෙසත් පිළිගත් ජනයා අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ අලංකාර ශුද්ධ නාමයන් ද ඔහු පැවසූ ආකාරයට පිළිගෙන විශ්වාස කළ යුතු ය. එය අල්ලාහ්ට ම ආවේණික සුවිශේෂිත ඒවා යැයි පිළිගත යුතු ය.

රිසාලත්

තව්හීදයට පසු ඊමානයේ වැදගත් කරුණු අතරින් එකකි, "රිසාලත්" පිළිබඳ විශ්වාසය. රිසාලත් යනු ධර්ම දූත මෙහෙවර වේ. අල්ලාහ් මෙලොව තම නියෝජිතයා ලෙස මිනිසා මැව්වේ ය. ඔහු කෙසේ ජීවත් විය යුතු ද යන යහමග ද ලබා දුන්නේ ය. එම මගපෙන්වීම් ලබා දීම පිණිස මිනිසා අතරින් විශේෂිතයන් රැසක් තෝරා ගත්තේ ය. ඔවුහු නබිවරු හා රසූල්වරු වෙති.

ඔවුහු වහී මගින් තමන්ට පහළ කරන ලද ආගම් හා සුහුෆ් මගින් තම ප්‍රජාව යහමග යැවූහ. නබිවරුන් අතරින් සුවිශේෂිතයන් රසූල්වරු වෙති. නබිවරුන් හා රසූල්වරුන් අතරින් අවසාන නබිවරයා මුහම්මද් සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමා වේ. එහෙයින් මෙතුමා "කාතමුන් නබියියීන්" නබිවරුන් අතරින් අවසාන නබිවරයා ලෙස හැඳින්වේ. මෙය ස්ථීරව විශ්වාස කිරීම රිසාලත් පිළිබඳ විශ්වාසය වේ.

මආද්

ඊමානයේ අනෙකුත් වැදගත් අංගය "මආද්" පිළිබඳ විශ්වාසය වේ. මරණයට පසු ජිවිතය මආද් නම් වේ. ඉස්ලාමීය විශ්වාසනීය ප්‍රතිපත්තියට අනුව ජීවිතය මරණයන් සමග අවසන් නොවේ. සදාකාලික, ස්ථීර ජීවිතය පරලොව ජීවිතය වේ. මෙලොව ජීවත් වන විට මිනිසා විසින් සිදු කළ සෑම ක්‍රියාකාරකමක් ම පිළිබඳව පරලොවේ දී විමසුමට ලක් වේ. විමසුමේ තීන්දුව අනුව ත්‍යාග හෝ දඬුවම් එහි දී ලබා දෙනු ලැබේ. මෙලොව ජීවිතය තුළ දේව නියෝගයන්ගේ ආලෝකයෙන් ජීවත් වූ යහගැත්තන්ට ස්වර්ගය ලබා දෙනු ලැබේ. දේව නියෝගයන් නොසලකා ජීවත් වූ නරක ගැත්තන්ට නිරය ලබා දෙනු ලැබේ. මෙය මආද් - පරලොව පිළිබඳ විශ්වාසයේ සාරාංශය වේ.

මෙවැනි තව්හීද්, රිසාලත්, මආද් වැනි ඊමාන්හි ප්‍රධාන අංග ත්‍රිත්වය හා ඒ හා සම්බන්ධ
අනෙකුත් කොටස් පිළිබඳ ස්ථීරව විශ්වාස කර අපගේ ඊමාන් සම්පූර්ණ කර ගනිමු.