2 - නව ගිවිසුමේ පොත් වර්ගීකරණය

නව ගිවිසුමේ අඩංගු පොත් ගණන 27කි. ඒවා කොටස් තුනකට බෙදිය හැකි ය.

  1. ශුභාරංචි හා ක්‍රියා පොත
  2. සංදේශ
  3. එළිදරව් සාහිත්‍යය

1. ශුභාරංචි හා ක්‍රියා පොත

මෙම කොටසට අයත් පොත් ගණන 5කි.

  1. මතෙව් ශුභාරංචිය
  2. මාක් ශුභාරංචිය
  3. ලූක් ශුභාරංචිය
  4. ජොහන් ශුභාරංචිය
  5. අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත

ශුභාරංචි හතරෙන් ජේසුස් වහන්සේ කළ හා කී දේවල් සමහරක් ඉදිරිපත් වේ.

ශුභාරංචිවල සඳහන් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් අපගේ එදිනෙදා ජීවිතවලට වැදගත් වන නිසා ඒවා දිනපතා කියවීමටත් මෙනෙහි කිරීමටත් පුරුදු විය යුතු වේ. එලෙස කිරීමෙන් මෙම පොත් ඉක්මනින් භාවිතයට ගැනීමට ද පහසු වේ.

අපෝස්තුලූවරුන්ගේ ක්‍රියා පොතෙහි දැක්වෙන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් පසු ව මුල් කිතුනු සභාව ආරම්භ වී වර්ධනය වූ ආකාරයයි. පේදුරු හා පාවුලූ අපෝස්තුලූවරුන්ගේ ක්‍රියා පිළිබඳ විශේෂයෙන් සඳහන් වේ.

 

2. සංදේශ

නව ගිවිසුමෙහි සංදේශ 21ක් ඇත.

  1. රෝම
  2. 1 කොරින්ති
  3. 2 කොරින්ති
  4. ගලාති
  5. එපීස
  6. පිලිප්පි
  7. කොලොස්සි
  8. 1 තෙසලෝනික
  9. 2 තෙසලෝනික
  10. 1 තිමෝති
  11. 2 තිමෝති
  12. තීතස්
  13. පිලමොන්
  14. හෙබ්‍රෙව්
  15. ජාකොබ්
  16. 1 පේදුරු
  17. 2 පේදුරු
  18. 1 ජොහන්
  19. 2 ජොහන්
  20. 3 ජොහන්
  21. ජූද්

මුල් කිතුනු සභාවට පමණක් නොව සැම කාලයකට ම අදාළ ඉතාමත් වටිනා ඉගැන්වීම් රැසක් මෙම සංදේශවල අන්තර්ගත ව ඇත. මෙම දහම් කරුණු අපගේ ජීවිතවලට වැදගත් නිසා ඒවා කියවීමට ද විශේෂයෙන් ඉරුදින දිව්‍ය පූජාවේ දී කියවන කියවීම්වලට භක්තියෙන් ඇහුම්කන් දීමට ද පුරුදු වෙමු.

 

3. එළිදරව් සාහිත්‍යය

එළිදරව් සාහිත්‍යයට අයත් නව ගිවිසුමෙහි ඇති එක ම පොත එළිදරව්ව නම් පොතයි. කිතුනුවන්ට විරුද්ධ ව පැමිණි පීඩනවලට මුහුණදුන් විශ්වාසකයන් දිරි ගැන්වීම සඳහා ලියන ලද කෘතියකි. මෙම පොත ලියා ඇත්තේ සංකේත භාවිතයෙනි. වර්තමානයේ ද බොහෝ කිතුනුවන් විශ්වාසය නිසා පීඩනවලට ලක් වී ඇති බව අපි දනිමු. ඔවුන්ගේ විශ්වාසය ආරක්ෂා වීමට ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරමු. එමගින් ඔවුන්ට සහාය වෙමු. අපගේ කිතුනු විශ්වාසය කිසිදු බලවේගයක් හමුවේ වුව ද පාවා නොදීමට අදිටන් කර ගනිමු. අපි දේව වචනය තුළ ශක්තිමත් වෙමු.