19 - පරදාල ආලය නොකරව

මිනිසා ආත්මයකින් හා ශරීරයකින් යුක්ත වූ මැවිල්ලකි. එම නිසා මාංශය හා ආත්මය නිරන්තර අරගලයක යෙදෙයි. මෙම කැරලි ගැසීම මිනිසාට පාපයෙන් උරුම වූ දෙයකි. පාපයෙන් මිදීමට ශුද්ධාත්ම වරප්‍රසාද හා බලය අපට අවශ්‍ය ය.

අදහසක් හෝ කල්පනාවක් හෝ සිතේ පහළ වූ පම‚න් එය පාපයක් නොවේ. අකමැත්තෙන් එවැන්නක් සිතේ රැදී තිබුණත් එයින් පාපයක් සිදු නොවේ. අදහසක් හෝ කල්පනාවක් හෝ පාපයක් වන්නේ එය ඕනෑ කමින් පමා කොට එයින් අස්වාදයක් ලබා ගන්නට උත්සාහ කළ විට ය.

පිවිතුරු සිතුවිලිවලින් හෙබි මිනිසා සමාජයට විශාල මෙහෙවරක් කරයි. දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන පුද්ගලයා තුළ පිරිසිදු චේතනා ගොඩනැගෙයි. පසුතැවීම මඟින් අපවිත්‍ර සිතුවිලි නැතිකර ගත හැකි ය. දේව ආදරය මගින් අපගේ ආකල්ප පිවිතුරු කර ගෙන මිනිස් බවේ අභිමානය සවිමත් කිරීමට කටයුතු කළ යුතු ය.

කාම තෘෂ්ණාව මිනිස් ආශාවක් සැටියට හැඳින්විය හැකි ය. විවාහ වූ අය සමග අනියම් ප්‍රේම සබඳතා පවත්වා ගෙන යාම නවවන පනතට විරුද්ධ පාපයකි.

නවවන පනතින් අපට උපදෙස් දෙන්නේ විවාහ ජීවිතය තුළ රැක ගත යුතු පිවිතිරියාවට විරුද්ධ සියලූ ම ක්‍රියාවන් හා කල්පනාවන්ගෙන් වැළකෙන ලෙස ය.

දාවිත් රජතුමා උරියාගේ බිරිඳ වූ බැත්-ෂෙබා සමග අනියම් සබඳතාවක් ගොඩනඟා ගනිමින් පරදාර ආලය කළේ ය. එය දෙවියන් වහන්සේට අප්‍රසන්න ක්‍රියාවක් වූ බැවින් ඔහුට දඬුවම් හිමි විය. හෙරොද් ඇන්ටිපස් තම සහෝදරයාගේ බිරිඳ විවාහ කර ගෙන මෙම පාපය ම කළේ ය. එම වරද පෙන්වා දීමට ස්නාවක ජොහන් තුමා කටයුතු කළේ ය.

වෘත ශුද්ධිය රැක ගැනීම සඳහා දේව රැකවරණය පතා යැදීම කළ යුත්තකි. තම සිත දමනය කර ගැනීමට පුරුදු පුහුණු විය යුතු ය. දේව පනත් ආරක්ෂා කර ගනිමින් එකිනෙකාට ගෞරව කරමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට දායක වෙමු.