10 - රජවරු

ඉශ්රායෙල් ජනතාවට විවිධ අභියෝග පැමිණෙන විට ප්‍රබල රාජ්‍ය නායකයකු යටතේ සංවිධානය වීමේ අවශ්‍යතාව වඩ වඩාත් ඔවුන්ට දැනෙන්ට විය. ඉශ්රායෙල්හි හුදකලා ව විසිරී සිටි ගෝත්‍ර එක්සත් කර බලවත් ජාතියක් ගොඩනගනු සඳහා නායකයකු අවශ්‍ය බව ඉශ්රායෙල්වරුන්ට වැටහිණි. මේ අදහස මහලූ වියේ සිටි සාමුවෙල්ට දැන්වූහ. ඔවුන්ට රජෙකු ලබා ගැනීමේ ආශාව සාමුවෙල්ට අවධාරණය කළහ. සාමුවෙල් මුලින් මේ අදහසට විරුද්ධ විය. එහෙත් ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා ඔවුන්ට රජ කෙනෙකු පත් කරන ලෙස දෙවියන් වහන්සේ සාමුවෙල්ට නියම කළ සේක.

සාවුල් රජතුමා

ඉශ්රායෙල් දේශයේ ප්‍රථම රජු සාවුල් ය. අද්විතීය පෞරුෂයකින් හෙබි තරුණ සාවුල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ කිෂ් නමැත්තාගේ පුත්‍රයා විය. සිය පියාගේ කොටලූවන් සොයා ගිය සාවුල්ට සාමුවෙල් හමුවූයේ අහම්බෙනි. සාමුවෙල්ට හමුවුණ සාවුල් දෙවියන් වහන්සේගේ නියමය අනුව රාජ ධුරයෙහි අභිෂේක කළ ආකාර පහත දැක්වේ.

අම්මෝන්වරුන්ගේ රජ වූ නාහාෂ්, ජුදා නගරයේ සිටි ජනතාවගේ ඇස් උගුල්ලා දමමින් ගිවිසුමක් කිරීමට සැරසෙන බව ඇසූ සාවුල් මුළු මහත් ජුදා දේශයේ ම ජනතාව යුද්ධය සඳහා එක්සත් කිරීමෙහි සමත් විය. අම්මෝන්වරුන්ට විරුද්ධ ව කරන ලද සටනින් සාවුල් ජය ගත්තේ ය.

මින් අනතුරු ව සාවුල් රජුට මුහුණපාන්නට සිදු වූ බලවත් තර්ජනය එල්ල වූයේ පිලිස්තිවරුන්ගෙනි. සාවුල් රජතුමාගේ පුත් ජොනතන්ගේ උපායශීලි ක්‍රියාවකින් පිලිස්තිවරුන්ගේ සේනාව මෙහි දී පරාජය කරන්නට හැකි විය. එහෙත් සාවුල් රජතුමාගේ මුළු රාජ්‍ය කාලයේ දී ම පිලිස්තිවරුන් හා සටන් කරන්නට සිදු විය. කල්යත් ම ඔහු වඩා බලසම්පන්න යුද්ධ සේනාවක් ද ගොඩනැගුවේ ය.

ඉශ්රායෙල්වරුන්ගේ පළමුවන රජු වශයෙන් පත් වූ සාවුල්ට ස්වකීය ජාතියට විරුද්ධ ව සිටි සතුරන් පරාජය කළේ ය. සාවුල් රජු ඉශ්රායෙල් දේශය එක්සත් කොට ප්‍රබල රාජ්‍යයක් ගොඩනැගීමේ පුරෝගාමියා විය. සාවුල් රජ පිලිස්තිවරුන් හා සටන් කර මරණයට පත් විය.

 

දාවිත් රජතුමා

දෙවියන් වහන්සේගේ අණට අකීකරු වූ සාවුල් වෙනුවට වෙනත් රජ කෙනෙක් පත් කර ගැනීමට දෙවියන් වහන්සේ සාමුවෙල්ට අණ කළ සේක. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව සාමුවෙල් ගමන් කළේ බෙත්ලෙහෙමෙහි විසූ ජුදා ගෝත්‍රයට අයත් ජෙස්සේ නමැත්තෙකුගේ නිවසට ය. එහි දී ජෙස්සේගේ පුත්‍රයන් අතුරෙන් රජ කෙනෙකු තෝරා ගැනීමට ඔහුට නියම විය. සාමුවෙල් වැඩිමහල් පුතු දෙස බලා මොහු සුදුසු යයි තමාට ම කියා ගනිද්දී දේව හඬ ඔහුට ඇසිණි: "ඔහුගේ පෙනීම දෙසවත්, ශරීරයේ උස මහත දෙසවත් නොබලන්න;, සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත් සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය"යි වදාළ සේක (1 සාමුවෙල් 16:7).

ජෙස්සේගේ පුත්‍රයෝ සත් දෙනෙක් සාමුවෙල් ඉදිරියට පමුණුවනු ලදහ. එයින් එක් කෙනෙකු වත් දෙවියන් වහන්සේ තෝරා නොගත් සේක. ජෙස්සේ පණිවිඩකාරයෙකු යවා බැටළුවන් බලා ගනිමින් සිටි දාවිත් ගෙන්වා ගත්තේ ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙක් විය.

දෙවියන් වහන්සේ සාමුවෙල්ට දාවිත් ආලේප කරණ ලෙස අණ කළ සේක.


සාවුල් රජුගේ සේනාව පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු සටනක යෙදී සිටියේ ය. දාවිත්ගේ සහෝදරයන් තිදෙනෙක් යුද්ධ සේනාවට බැදී සිටියෝ ය. දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, ඔහුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ට ආහාර දී ඔහුගේ සහෝදරයන්ගේ සැපදුක් විමසා, ඔවුන්ගේ තොරතුරු දැන ගෙන ආපසු එන ලෙස කීවේ ය. පිලිස්තිවරුන්ගේ නායකයා ගොලියත් නමැති යෝධයෙකි. ඉශ්රායෙල් වංශිකයෙකුට ඔහු හා සටනට එන ලෙස ඔහු අභියෝග කළේ ය. දාවිත් පමණක් ඒ අභියෝගය
පිළිගෙන, දෙවියන් වහන්සේගේ නාමයෙන්, සටනට ඉදිරිපත් විය. ඔහු ගෙන ගියේ ගල් පටියක් සහ මට සිලූටු ගල් කැට පහක් පමණි.

දාවිත් පිලිස්තියා දෙසට දුව ගොස්, මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල ගොලියත්ගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. ඔහු මුණින්තළා බිමට වැටුණි. දාවිත් පිලිස්තියාගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය. එදා පිලිස්තිවරු අන්ත පරාජයට පත් වූහ.

 

දාවිත් පාපයට වැටීම

ඔහු ඇය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේ ය. ඇය ගැබ්ගෙන, "මම ගැබ්ගෙන සිටිමි"යි දාවිත්ට දන්වා යැවුවා ය.

නාතාන් දිවැසිවරයා දාවිත් රජතුමාට උපමාවක් මගින් ඔහුගේ වරද පහදා දුන්නේ ය. නාතාන් දිවැසිවරයා උපක්‍රමශීලී ව දාවිත් රජතුමා කළ වරද පෙන්වා දෙමින් ඔහු යහමඟට ගත්තේ ය. නාතාන් දිවැසිවරයා මෙන් අපත් අන් අය වැරදි කරන විට එම වැරැද්ද ඔවුන්ට පෙන්වා දී ඔවුන් ව යහමඟට ගත යුතු ය.

 

දාවිත්ගේ පසුතැවිල්ල

දාවිත් රජ ක්ෂණික ව තම වරද පිළිගෙන "මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි" කීවේ ය. මෙමගින් පෙන්නුම් කරන්නේ දාවිත් රජතුමා තමා කළ වරද වටහා ගෙන මනස්තාප වූ බව ය. ඔහු තම වරදට සමාව අයැදීමට තරම් නිහතමානී විය. දාවිත් කළ වරදට පසුතැවිලි වෙමින් ප්‍රබන්ධ කරන ලද ගීතය ගීතාවලිය 51 වේ. ශුද්ධ බයිබලය පෙරළා එම ගීය කියවා මෙනෙහි කරන්න. අප ද අපගේ පාපවලට මනස්තාප විය යුතු ය. පාපය ජය ගත යුතු ය.

 

සලමොන් රජතුමා

සලමොන් රජතුමා ඔහුගේ පිය රජ වූ දාවිත් රජතුමාට පසු ව රජ වශයෙන් අභිෂේක කරන ලද්දේ ය. රජකමට පත් මුල් කාලයේ ම සලමොන් රජ ස්වාමීන් වහන්සේට ඉතා අලංකාර දේව මාලිගයක් ජෙරුසලම් නුවර ඉදි කළේ ය.

ඉතා විශිෂ්ට නිර්මාණයක් වූ ජෙරුසලම් දේව මන්දිරය සෑදීමට අවුරුදු හතක් ගත විය. වැඩ නිම වූ පසු එතුමා ජයෝත්සවයෙන් දේව මාලිගය දෙවියන් වහන්සේට කැප කළේ ය.

සාවුල්, දාවිත් හා සලමොන් රජවරු ඉශ්රායෙල් රාජ්‍යය එක්සේසත් කළෝ ය. නායකයන් ලෙස ඔවුහු රාජ්‍යය පාලනය කළෝ ය. ප්‍රසාද ස්නාපනය ලැබූ අපත් ආදර්ශවත් නායකයන් ලෙස සැම විට ම කටයුතු කළ යුතු ය. අපෙන් වරදක් වූ විට දාවිත් රජු මෙන් අපගේ වැරදිවලට පසුතැවිලි විය යුතු ය. අපත් පාප ජය ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතු ය.