9 - වීර නායකයෝ

මිසරයේ වහල්කමින් මිදී ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශයට පැමිණියෝ ය. එම දේශයෙහි පදිංචි වීමෙන් පසු ව ද ඔවුන්ට විවිධ ජාතීන්ගෙන් බොහෝ කරදර, හිරිහැර අමාරුකම් ආදියට මුහුණදීමට සිදු විය. බාහිර ආක්‍රමණවලින් හා බලපෑම්වලින් ඉශ්රායෙල් ජනතාව මුදාගෙන ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට දෙවියන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක. වීර නායකයන් පත් කිරීම ගැන වීරාවලියෙහි මෙසේ සඳහන් කරයි.

වීර නායකයන් සිටි කාලය ක්‍රි.පු. 1200-1050 දක්වා විය. වීර නායකයින්ගේ කාලය පිළිබඳ විස්තර අධ්‍යයනය කිරීමේ දී පෙනී යන එක් කරුණක් නම්, ඔවුන්ගේ නායකත්වය මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි ම නොවූ බව ය. වීර නායකයන්ගේ මූලික කාර්ය වූයේ, ඉශ්රායෙල්වරුන්ට එල්ල වූ යුද්ධවල දී යුද නායකත්වය දෙමින් හා ජුදා ජනතාව එක්සත් කරමින් ජාතියක් වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකස් කිරීමට ක්‍රියා කිරීම ය.

මෙම ප්‍රකාශයෙන් සනාථ වන්නේ යාවේ දෙවියන් වහන්සේ ජුදා ජනතාව ආරක්ෂා කර ගැනීමට වීර නායකයන් පත් කළා පමණක් නොව, ඔවුන් සමග සිටිමින් ජුදා ජනතාවගේ ගැලවීම වෙනුවෙන් කටයුතු කළ බව ය.

ශුද්ධ බයිබලයේ වීර නායකයන් 12 දෙනෙකු ගැන සඳහන් වේ. ඔවුන්ගේ නම් මෙසේ ය.

  1. ඔත්නියෙල්
  2. ඒහුද්
  3. ෂම්ගර්
  4. දෙබෝරා
  5. ගිඩියොත්
  6. තෝලා
  7. ජායිර්
  8. ජෙප්තා
  9. ඉබ්ශාන්
  10. ඒලොන්
  11. අබ්දොන්
  12. සැම්සොන්

 

දෙබෝරා නම් වීර නායිකාව

දෙබෝරා ඉතා නැණවත් කාන්තාවකි. ඇයගේ කාලයේ දී කානානීය රජෙක් ඉශ්රායෙල්වරුන්ට පීඩා කළේ ය. එම පීඩා නිසා ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේට මොර ගැසූහ. දෙබෝරාගේ උපදෙස් පරිදි බාරාක් විසින් දස දහසක් වූ සේනාවක් කානානීය හමුදාවට විරුද්ධ ව මෙහෙයවන ලදි. බාරාක්, තාබෝර් කන්දට පැමිණි බව දැනගත් කානානීයවරු ඔවුන් හා සටනට සුදානම් වූහ. කානානීය හමුදාවට විරුද්ධ ව යුධ වැඳීමට ඉශ්රායෙල් හමුදාපති බාරාක් ව දෙබෝරා දිරි ගැන්වූවා ය. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසා ඉශ්රායෙල් හමුදාව ජයග්‍රහණය කළේ ය. මේ ජය ඉශ්රායෙල් හමුදාවේ ජයග්‍රහණයක් නොවන බවත් එය ලබා දුන්නේ දෙවි ස්වාමීන් වහන්සේ බවත් දෙබෝරා ඔවුනට වටහා දුන්නා ය.

 

ගිඩියොන් නම් වීර නායකයා

සතලිස් වසරක සාමකාමී කාලයකින් පසු යළිත් ජුදා වංශය දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා එයට දඬුවමක් ලෙස ඔවුන්ට මිදියන්වරුන්ගෙන් පීඩා  විඳින්නට සිදු විය. ඔවුන්ට සහනය සලසන මෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙන් ඒ සඳහා වීර නායකයකු ලෙස ගිඩියොන් කැඳවනු ලැබී ය.

ගිඩියොන් ද ඉශ්රායෙල්වරුන් බොරු දෙවිවරුන්ට තනා තිබුණු සියලු පූජාසන විනාශ කොට යුද්ධයට යාමට සේනා රැස් කළේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ නියමය පරිදි සිය යුද්ධ හමුදාව 300කට සීමා කළේ ය. ගිඩියොන්ගේ උපදෙස් පරිදි සෙබළුන් සියලු දෙනා මිදියන් කඳවුර වෙත ගොස් පන්දම් දමා ගෙන ගිය කළගෙඩි බිඳ දමා හොරණෑ පිම්බෝ ය. කලබලයකට පත් මිදියන් සේනාව එකිනෙකා තම තමන්ගේ කඩු ඇඳ ඔවුන් එකිනෙකා මරා ගත්හ.

 

සාමුවෙල් නම් විනිශ්චයකාරවරයා

  • සාමුවෙල් අවසාන විනිශ්චයකාරයා ය.
  • දිවැසිවරයෙකි.
  • සාමුවෙල් පූජකයෙකි.
  • සාමුවෙල්, සාවුල් හා දාවිත් රජකමට අභිෂේක කළේ ය.

වීර නායකයන්ගේ අපට ගත හැකි ආදර්ශ

  • අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම.
  • අන් අය මුහුණදෙන ගැටලූවල දී උදවු කිරීම.
  • ප්‍රශ්න හා ගැටලූවල දී වීර නායකයන් මෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම.
  • දෙවියන් වහන්සේ අප සමග සැම විට ම සිටින බව විශ්වාස කිරීම.