2 - දෙවිඳුන් අබියස දැහැමිකම - දාවිත්

1 සාමුවෙල් 24 : 1-22, 2 සාමුවෙල් 9 : 1-13

දම්වැලක පුරුක් මෙන් ශුද්ධ බයිබලයේ අඛණ්ඩ ව දිවෙන තේමාවකි "ප්‍රේමය." දේව ප්‍රේමය මිනිසා අත්දුටු ආකාරය පැරණි ගිවිසුම හා නව ගිවිසුම අධ්‍යයනය කිරීමෙන් අපට අවබෝධ කර ගත හැකි වේ.

මෙම පාඩමෙන් අප අත්දකින්නට යන්නේ පැරණි ගිවිසුමෙහි සඳහන් වන වෘත්තාන්තයක් ඇසුරින් දෙවියන් වහන්සේ අපේක්ෂා කරන ලෙසට සතුරාට ද ප්‍රේම කරමින් ආදර්ශය දැක්වූ අසමසම චරිතයක් පිළිබඳ ව ය.

ඔබ විසින් විමසා බලන ලද ඉහත බයිබල් කොටස් දෙකෙහි වැදගත් සිදුවීම් සංක්ෂිප්ත ලෙස නැවත මෙලෙස හඳුනා ගනිමු.

 

දාවිත් එන්ගෙදියේ දී සාවුල්ගේ ජීවිතය ගැලවීම

  • ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රථම රජු සාවුල් වූ අතර විවිධ හේතු මත සාවුල් රජ දාවිත් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවිය. එබැවින් සාවුල් රජ දාවිත් මරණයට පත් කිරීමට පවා උත්සාහ දැරී ය. ඉන් මිදීමට දාවිත් පාළුකරයේ සැඟවී සිටියේ ය.
  • දාවිත් එන්ගෙදියේ පාළුකරයේ සිටින බව දැනගත් සාවුල් ඇතුළු පිරිස දාවිත් විනාශ කිරීමට ලූහු බැන්දේ ය.
  • දාවිත්ට සාවුල් එන්ගෙදියේ ගුහාවේ දී හමු වූ අතර එවිට සාවුල් විනාශ කිරීමට සුදුසු අවස්ථාවක් දාවිත් උදා විය.
  • එහෙත් දාවිත් සාවුල් විනාශ නොකොට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය. එහෙත් ඔහුගේ සිත එම ක්‍රියාව පිළිබඳ ව පවා දොස් තැබී ය.
  • දාවිත් සිය සෙනඟට කතා කොට "සමිඳාණන් වහන්සේගේ අභිෂේකය ලත් තැනැත්තාට එනම් සාවුල්ට කිසිදා අනතුරක් කිරීමෙන් වළකින ලෙස නියම කළේ ය.
  • සාවුල් ගුහාවෙන් පිට ව ගිය පසු දාවිත් ඔහු අමතා "මාගේ ස්වාමීනී, රජ්ජුරුවන් වහන්ස", යැයි අමතමින් හඬ ගැසී ය. තව ද දාවිත් සාවුල් ඉදිරියේ මුණින්තලා වී වැඳ "මාගේ ස්වාමියා, සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ'යි යටහත් පහත් ලෙස පැවසී ය. තව ද ඔහුට විරුද්ධ ව කිසි නපුරක් කිරීමට අදහස් නොකරන බව ද පැවසී ය.
  • දාවිත්ගේ වචන ඇසු සාවුල් "දාවිත් මාගේ පුත්‍රයා ඔය ඔබේ හඬ දැයි" අසමින් ශබ්ද නගා හැඬුවේ ය.
  • අනතුරුව "ඔබ මට වඩා දැහැමි ය" යයි පවසමින් දාවිත්ගේ දැහැමි බව සාවුල් පිළිගත්තේ ය. සාවුල් තව දුරටත් කතා කරමින් "මා ඔබට නපුර කළ නමුත් ඔබ මට යහපත කළෙහි ය" යනුවෙන් පවසමින් සමිඳාණන් වහන්සේගේ කරුණාව දාවිත් කෙරෙහි පැතී ය.

දාවිත් රජ හා මෙපිබොෂෙත්

  • පසුකාලීන ව සාවුල් රජු හා ඔහුගේ පුත් ජොනතන් සටනක දී පරාජය වීම හේතුවෙන් මරණයට පත්විය.
  • සාවුල්ට පසුව දාවිත් ඉශ්රායෙල් සෙනඟගේ රජ බවට පත් විය.
  • සටනක දී පරාජය වූ රාජ පරම්පරාවේ සියලූ දෙනා විනාශ කිරීම එකල සාමාන්‍ය සිරිත වුවත් දාවිත් සාවුල්ගේ වංශයට අයත් තම මිතුරු ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත්ට කරුණාව දැක්වීය.
  • තව ද සාවුල්ගේ ගම්බිම්, අයිතිය පමණක් නොව දාවිත් සමග රජ මැදුරේ භෝජන සංග්‍රහයේ එකට හිඳ කෑම අනුභව කිරීමට ද අවස්ථාව මෙපිබොෂෙත්ට හිමි විය.
  • රජ පෙළපතට අයත් පවුලේ අය පමණක් එකට හිඳ කෑම අනුභව කිරීම එකල සිරිත වූ නමුත් ජොනතන්ගේ පුත් මෙපිබෝෂෙත්ට එසේ ආරාධනා කිරීමෙන් දාවිත් මෙපිබොෂෙත් තම පුත්‍රයා සේ සැලකුවේ ය.
  • මෙපිබොෂෙත්ට ශාරීරික දුබලතා පැවතියත්, ඔහුගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙමින් ඔහු ආදරයෙන් රැකබලා ගනිමින් දාවිත් රජ අන් අයට ද ආදර්ශයක් විය.

මෙලෙස දාවිත් කෙරෙන් ධර්මිෂ්ඨකම මැනවින් ප්‍රකාශ වූ අවස්ථා ලෙස

  • එන්ගෙදියේ දී සාවුල්ගේ ජීවිතය මිදීමත්
  • මෙපිබොෂෙත්ට කරුණාව දැක්වීමත් පෙන්වා දිය හැකි වේ.

ඒ අනුව දාවිත්ගේ ජීවිත පැවැත්ම තුළින් පිළිබිඹු වූ යහපත් ගුණාංග මෙලෙස හඳුනාගත හැකි වේ.

මෙලෙස දාවිත් එදා ධර්මිෂ්ඨ ව ක්‍රිය කළා සේ කිතුනු අප ද ධර්මිෂ්ඨ ව ක්‍රියා කිරීම අපේක්ෂා කෙරේ. අප ද අන් අයගේ ජීවිත විනාශ කිරීමට නොව සුරැකීමට ක්‍රියා කිරීමත් එසේ ක්‍රියා කිරීමේ දී අප හා එකඟ ව ක්‍රියා කරන්නන් මෙන් ම අපට විරුද්ධව නැගී සිටින්නන් වෙනුවෙන් ද එක හා සමාන ව කරුණාව දැක්වීමේ හදවතක් තිබීමත් අවශ්‍ය වේ. එමෙන් ම තමා සුරක්ෂිත වන්නා සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අය මෙන් ම විශේෂ අවශ්‍යතා ඇති අය ද සුරක්ෂිත කිරීමට කැප විය යුතු වේ. එලෙස යහපත ඉටු කිරීමෙන් ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට එකමුතු ව ක්‍රියා කරමු.