1 - දෙවිඳුන් අබියස දැහැමිකම - නෝවා

උත්පත්ති 6 : 8-12

පොළෝ වැසි සියල්ලෙනි - හිමි වඳිම් මනසිනි
පේමෙන් මෙහෙ කරමිනි - නඟව් තුති බැතියෙනි

හිමි දෙවිඳු බැව් දනිව් - මැවුම්කරුත් එතුම වෙයි
අප රැළ ලෙස තමන් - සුරකින්නෙත් එහිමි මයි

සොම්නස් සිතින් තුති දෙමින් - දෙව් මැදුරට අවුදින්
නමදිව් හිමි දෙවිඳුන් - ගරු බුහුමන් පුදමින්

දෙවිතුමන් දයා පෙම - සත්‍යතාවකි හැම කල
පහ නොවී එලෙස ම - පවතී ය ලොව තුළ

(ක්‍රි. ගීතිකා පොත 11 ගීතය)

දෙවි පියාණන් වහන්සේ ඉතා මනහර ලෝකයක් නිර්මාණය කර අපට ලබා දුන් බවත් එතුමා අප සුරකින දෙවිතුමාණන් බවත් ඉහත ගීතිකාව ගායනා කරන විට අපට වැටහෙනු ඇත.

දෙවියන් වහන්සේ ඉතා මනහර ලෙස ලෝකය නිර්මාණය කර එය මිනිසාට භාර කළ සේක. මුළු මැවිල්ල තුළ ඉතා උසස් ම නිර්මාණය ලෙස දේව ස්වරූපයෙන් මිනිසා මවනු ලැබූ සේක. තව ද දෙවියන් වහන්සේ මිනිසාට ආසිරි පතමින් දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිර එය පාලනය කිරීමටත් සියලූ සතුන් කෙරෙහි ආධිපත්‍යය පැවැත්වීමටත් පැවරූ සේක. මුළු පොළෝ තලයේ ධාන්‍ය දරන සියලූ පැළෑටි ද බීජ සහිත පල දරන සියලූ ගස් ද මිනිසාගේ ආහාරය පිණිස ලබා දුන් සේක. මෙලෙස උන්වහන්සේ මිනිසාට මහත් සේ ආශීර්වාද කළ සේක. මුළු මැවිල්ල තුළ මිනිසාට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. එහෙත් මුල් මිනිස් යුවළ පසුකාලීන ව දෙවියන් වහන්සේට
විරුද්ධ ව ක්‍රියා කරමින් පාපයට වැටීම හේතු කොටගෙන දේව සබඳතාවෙන් ඈත් විය. මිනිස් සංහතිය කෙමෙන් පාපයේ ගැලෙමින් පිරිහීමට පත් විය.

මෙලෙස පාපයේ ගැලී දෙවියන් වහන්සේගේ සබඳතාවෙන් වෙන් වූ මිනිසුන් අතරේ සිටි දේව සබඳතාව සහිත ව ජීවත් වූ දැහැමි මිනිසෙක් විය. ඔහු වනාහී නෝවා ය. මෙම දැහැමි මිනිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත් දිටී ය. දෙවියන් වහන්සේගේ කරුණාව නෝවා කෙරෙහි විය.

මේ අනුව නැවක් සෑදීමට දෙවියන් වහන්සේගෙන් නෝවාට අණක් ලැබිණි. නෝවා එම අණට යටත් විය, කීකරු විය. අනතුරුව නෝවා තම භාර්යාව, ෂෙම්, හාම්, ජාපෙත් යන දරුවන් තිදෙනා, ඔවුන්ගේ භාර්යාවන් ද සියලූ ම වර්ගයේ සතුන් ආදියත් සමග ආරක්ෂා සහිත ව නැවට ඇතුළු විය. එසේ නෝවා ඇතුළු පවුලේ සැම ඒ මහා ජලගැල්මෙන් ආරක්ෂා වීම පිළිබඳ පුවත අප ළමා අවධියේ සිට ම අසා ඇත්තෙමු.

නෝවා පිළිබඳ ව දේව වචනයේ මෙලෙස සඳහන් වේ.

නෝවා සත් ගුණවත් මිනිසකු වීම

නිරන්තරයෙන් නපුරු සිතුවිල්ලෙන් කල් ගෙවන ලද දුෂ්ට වූත් සැහැසි වූත් ජනතාවක් අතර ජීවත් වූ නෝවා දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිගත හැකි වූත්, යහපත් වූත් ජීවන රටාවක් අනුගමනය කරමින් තම ජීවිත පැවැත්ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න ලෙස ගත කළේ ය. එබැවින් නෝවා සත් ගුණවත් මිනිසෙකු ලෙස දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලැබූ සේක.

ඔබත් සත් ගුණවත් දරුවකු ලෙස මිනිස් සමාජය තුළ ජීවත් වීම දෙවියන් වහන්සේගේ අපේක්ෂාව වේ. බෙහෙවින් ම ලෝකයේ පැවැත්ම අයහපත් වුවත් එවන් අවස්ථාවල දී අයහපත පිටු දැක යහපත තෝරාගෙන කටයුතු කිරීම ඔබගෙන් බලාපොරොත්තු වේ. එසේ ක්‍රියා කිරීමේ දී ලෝකයාගෙන් ප්‍රතික්ෂේප වුවත් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වූ දේ ඉටු කිරීම ඔබගේ වගකීම වේ. අයහපත් සමාජයක් තුළ යහ පැවැත්මෙන් ජීවත් වීමට උත්සාහ දැරීම අසීරු, අපහසු කාර්යයක් වුවත්, දේව වචනයට අනුකූල ව ජීවත් වීමත්, සමාජයේ දී එකිනෙකා සමානාත්මතාවෙන් යුතු ව පිළිගෙන සුහදතාවෙන් ජීවත් වීමත් ඔබගෙන් අපේක්ෂා කෙරේ. එසේ නිවැරැදිවූත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වූත් ජීවිත රටාවක් අනුගමනය කිරීමෙන් උන්වහන්සේ ඉදිරියේ සත් ගුණවත් දරුවකු වීමට ඔබට ද හැකි වනු ඇත.

නෝවා නිදොස් මිනිසකු වීම

දොස් සහිත සමාජයක නිදොස් ව ජීවත් වීමේ අභියෝගය නෝවා ඉදිරියේ විය. දෙවියන් වහන්සේ සමග තිබූ යහපත් සබඳතාව, නිවැරැදි පැවැත්මකට යොමු වීමට ඔහුට උපකාර විය. දේව මඟ පෙන්වීම තුළ නිවැරැදි දේ තෝරා බේරාගෙන කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබුණි. දෙවියන් වහන්සේ නෝවා ගැන විමසා බලා ඔහු නිදොස් කෙනෙකු බව පිළිගත් සේක. නෝවාගේ පරම්පරාවේ නිදොස් මිනිසා ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගැනීමට ලක්වීමට තරම් නෝවා ආශීර්වාද ලත් කෙනෙක් විය. එසේ වුයේ ඔහුගේ ජීවිත පැවැත්ම තුළ දේව කැමැත්ත පමණක් ඉටු කිරීම නිසා ය.

දොස් සහිත සමාජය තුළ නිදොස් ලෙස ජීවත් වීමේ අභියෝගයට ඔබට ද මුහුණ දීමට සිදු වනු ඇත. ධනය, බලය, කීර්තිය පසුපස හඹා යන සමාජයක දේව වචනය පිළිපදිමින් ජීවත් වීම ඛෙහෙවින් අසීරු කාර්යයකි. එහෙත් ඒ අසීරු කාර්යය ඉටු කරතැයි දෙවියන් වහන්සේ අප කෙරෙහි ද විමසිලිමත් ව බලා සිටින සේක. දෙවියන් වහන්සේ අප දෙස බලා සිටිනවා මෙන් ම නිදොස් වන කල අපට ද මහත් වටිනා කමක්, අගය කිරීමක් ලබා දෙන සේක.

නෝවා දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් කටයුතු කිරීම

නෝවා දෙවියන් වහන්සේ සමග ද සුහදතාවෙන් හැසිරුණු බව දේව වචනයේ ප්‍රකාශ වේ. මිනිසෙකුට දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් හැසිරීමට හැකි වීම ජීවිතයේ ලබන විරළ මෙන් ම මහඟු අත්දැකීමකි. දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවිඳාණෝ ය. මිනිස් ලෝකය තුළ අයහපත රජයයි. නෝවා විසූ සමාජ පරිසරය ද එසේ ම විය; අතිශයින් දරුණු විය. ඒ සියල්ල මැද ලෝක සම්මත දේට වඩා දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරැදි දේ තෝරා ගැනීමට නෝවාට හැකි විය. නෝවාගේ දෑත් දෙවියන් වහන්සේ වෙත එසවී තිබුණ බව පෙනේ. තව ද නෝවාගේ පැවැත්ම සහමුලින් ම දේව පාලනය යටතේ තිබූ බව ද පැහැදිලි ය. මිනිසෙකුට එවැනි ශුද්ධවන්තකමක් පවත්වා ගැනීම අසීරු නමුත් නෝවා එම අසීරු මාර්ගයේ ගමන් ගත්තේ ය.

මිනිසකුට දෙවියන් වහන්සේ සමග සුහදශීලී වීම ඉතා අමාරු කාර්යයකි. එහෙත් නෝවා එම පැවැත්ම සහිත විය. දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් ජීවත් වීමට නම් සුහදතාවේ ගුණාංග ඔබ සතු විය යුතු වේ. කිතුනු ඔබ පාසලේ දී, නිවසේ දී, සමාජයේ දී එකිනෙකා සමග පවත්වන සබඳතාව ප්‍රේමණීය විය යුතු වේ. නිවැරැදි දේ අගය කිරීමට, පිළිගැනීමට දෙවියන් වහන්සේ ඉදිරියේ ගරු කටයුතු ලෙස හැසිරීමට යොමු විය යුතු වේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගෙන එය ඉටුකළ යුතු වේ. අප අන් අය සමග පවත්වන යහපත් සබඳතා තුළින් අප දෙවියන් වහන්සේ සමග ද සුහදතාවෙන් ජීවත් වන බව ප්‍රත්‍යක්ෂ කරයි.

නෝවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබීම

දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ ලෙස ජීවත් වූ නෝවාට දෙවියන් වහන්සේගේ කරුණාව අත්දකින්නට අවස්ථාවක් හිමි විය. නෝවා තුළ දේව දරුවකු තුළ තිබිය යුතු ගුණාංග එනම් කීකරුකම, නිහතමානීකම හා දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසය පැවතිණ. දෙවියන් වහන්සේ නෝවාගේ යහපත් ජීවිත පැවැත්ම හා දේව සබඳතාව පිළිබඳ ව ප්‍රසන්න වූ සේක. එබැවින් ඔහුට වගකීමක් පැවරූ සේක. ඔහු නිසා ඔහුගේ පවුලේ මෙන් ම මිනිස් වර්ගයාගේ ද පැවැත්ම අලූත් විය.

දේව දරුකමට ඇතුළත් ඔබ ද දෙවියන් වහන්සේ සමග යහපත් සබඳතාවකින් යුතු ව ජීවත් වීම දේව අභිප්‍රාය වේ. එබැවින් ඔබත් කීකරු ව නිහතමානී ව හා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්ත ව ජීවත් වීම අවශ්‍ය වේ. එසේ දේව විශ්වාසය ඇති ව උන්වහන්සේ සමග සමීප සබඳතාවෙන් යුතු ව යහපත් ලෙස ජීවත් වීමෙන් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට ද අත්දැකිය හැකි වනු ඇත. එලෙස අයහපතින් පිරි ලොව තුළ යහ පැවැත්මකින් යුතු ව ජීවත් වීමේ අභියෝගය ජය ගැනීම මගින් ලෝකයට මෙහෙවරක් ඉටු කිරීමට ඔබටත් දේව කැඳවීම ලැබෙනු ඇත. දේව වචනයට අනුව දෙවියන් වහන්සේ කැමති යහපත් දේ පාසලේ දී, ගෙදර දී, සමාජයේ දී ඉටු කළ හොත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ ක්‍රියාව නිවැරැදි නම් නෝවාට මෙන් ඔබට ද දේව කරුණාව හිමි වනු ඇත.

මෙලෙස ජීවත් වීමෙන් ඔබට ද,

  1. සත් ගුණවත් දරුවකු වීමට ද
  2. නිදොස් දරුවකු වීමට ද
  3. දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් ජීවත් වීමට ද
  4. දෙවියන් වහන්සේගේ කරුණාව ලැබීමට ද හැකියාව ලැඛෙනු ඇත.

එමගින් ලෝකය අලූත් කිරීමට ඔබට ද දායක විය හැකි වනු ඇත. නෝවාගේ දැහැමිකම නිසා ඔහු දේව කරුණාව ලැබුවා සේ ඔබගේ දැහැමිකම නිසා ඔබටත්, ඔබ සමග සිටින්නන්ටත් දේව කරුණාව හිමි වනු ඇත. දේව ප්‍රේමය ඔබගේ ජීවිතය තුළ අත්දැකීමටත්, සමාජය දූෂිත බවින් මුදවා ගනිමින් ක්‍රියා කිරීමටත් ඔබට ලැඛෙන දේව කැඳවීමේ දී ඊට එකඟ ව ක්‍රියා කිරීමට ඔබට ද දේව කරුණාව හිමි වනු ඇත.