2.3 - අක්ෂි රෝග

ඇසෙහි හට ගන්නා රෝග අතර වර්තමානයේ බහුලව පවත්නා රෝග දෙකක් හඳුනාගත හැකි ය.

  • ඇසේ සුද ඇතිවීම (Cataract)
  • ග්ලුකොමාව (Glaucoma)

ඇසෙහි සුද ඇතිවීම

ඇසෙහි සුද ලෙස හඳුන්වන්නේ අක්ෂි කාචයේ පාරදෘෂ්‍ය ස්වභාවය අඩුවීම නිසා ඇති වන තත්ත්වයකි. ඊට හේතුව වන්නේ අක්ෂි කාචය සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වීමයි. එවිට කාචය කිරි සුදු පැහැයෙන් දිස් වේ.

ඇසෙහි සුද ඇති වූ විට වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටිවිතානය මත නාභි ගත නොවේ. එවිට පෙනෙන සියලූ වස්තු අපැහැදිලි වී බොඳ වී පෙනේ.

සාමාන්‍යයෙන් වයසට යාමත් සමග ඇසේ සුද ඇති වීමේ ප්‍රවණතාවක් ඇත. ජානමය හේතු නිසා ද ඇසේ සුද හටගනී. ඕසෝන් ස්තරය සිදුරු වීම නිසා සූර්යාලෝකයේ ඇති අහිතකර පාරජම්බුල කිරණ පෘථීවියට ළඟා වේ. එම කිරණ ද ඇසේ සුද ඇති වීම කෙරෙහි බලපානු ලබයි.

 

ග්ලුකොමාව

ග්ලුකොමාව ලෙස හඳුන්වනු ලබන්නේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසෙහි දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීම යි. ආරම්භක අවස්ථාවෙහි දී ම රෝගය හඳුනා ගැනීමෙන් පවත්නා තත්ත්වය තව දුරටත් වැඩිවීම පාලනය කර ගත හැකි ය. ඇසෙහි රුධිර පීඩනය වැඩි වීම ප්‍රධාන හේතුවක් වන අතර දියවැඩියාව තිඛෙන අයට ග්ලුකොමාව ඇති විමේ වැඩි අවදානමක් ඇත. රෝගය ඇති වීම නිසා ඇසට සිදු වන හානිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි ය.

නිරෝගී අයෙකුට ග්ලුකොමාව ඇතිවීමත් සමග පෙනීම අඩුවන ආකාරය 2.24 රූපයේ A,B,C සහ D මගින් පිළිවෙළින් දැක්වේ.

 

අක්ෂි ආසාදන

ඉහත සඳහන් කළ රෝගවලට අමතරව වෛරස් මගින් ඇස ආසාදනය වීම සිදු විය හැකි ය. ඇස් රතුවීම, කබ හා කඳුළු ගැලීම මෙහි රෝග ලක්ෂණ වේ. කෝඳුරුවන් මගින් හා ස්පර්ශය මගින් රෝගය ව්‍යාප්ත වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝගී තත්ත්වය "ඇස් ලෙඩ" නමින් හඳුන්වයි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය සුව කර ගත හැකි ය (2.26 රූපය).

ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට හා ඇති විය හැකි දෝෂ වළක්වා ගැනීමට පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු ය. එවැනි ආරක්ෂණ ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

  • ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම.
  • සූර්ය ග්‍රහණ නැරඹීමේ දී ඍජුව සූර්යයා දෙස නොබැලීම හා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම භාවිත කිරීම.
  • වෙල්ඩින් කිරීමේ දී ආරක්ෂක ආවරණ භාවිත කිරීම.
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇසට ඛෙහෙත් වර්ග/ දියර වර්ග නො දැමීම.
  • අක්ෂි දෝෂ නොමැති අය අක්ෂි දෝෂ සඳහා භාවිත කරන උපැස් පැළඳීමෙන් වැළකීම.
  • අව් කණ්ණාඩි භාවිතයේ දී වෛද්‍ය උපදෙස් පිළිපැදීම.
  • පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම.
  • රූපවාහිනිය, පරිගණකය එක දිගට භාවිත නොකිරීම හෝ ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම.