13.2 - කෘෂිකාර්මික ක්‍රියාවලිය

කාබනික ගොවිතැන

කෘෂිකාර්මික පරිසර පද්ධතියේ යහපැවැත්ම, පාංශු ජෛව ක්‍රියාකාරීත්වය, ජෛව විවිධත්වය, සහ ජීව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කරවන නිෂ්පාදන ක්‍රියාවලිය කාබනික ගොවිතැන ලෙස හැඳින්වේ.

කාබනික ගොවිතැනේ ප්‍රධාන අංගයක් ලෙස කාබනික පොහොර භාවිතය දැක්විය හැකි ය. වගා බිමක පසේ ඇති පෝෂක ලබා ගෙන සෑදෙන අස්වැන්න වගා බිමෙන් ඉවත් කර ගන්නා නිසා පසෙහි පෝෂක ඌනතාවක් ඇති වේ. මේ හේතුවෙන් පසට පිටතින් පෝෂක ලබා දිය යුතු ය. එය පොහොර යෙදීම මගින් සිදු කරයි. වර්තමානය වන විට පොහොර ලෙස කෘත්‍රිම ව සකස් කළ ඛනිජ හා කෘත්‍රිම ව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය අඩංගු අකාබනික පොහොර හෙවත් රසායනික පොහොර යෙදීම වැඩි වශයෙන් සිදු වේ. නමුත් මේ වෙනුවට ශාකමය හෝ සත්ත්වමය ද්‍රව්‍ය ස්වාභාවික ක්‍රියාවලිවලට ලක් වී සෑදුණු
කොම්පෝස්ට් වැනි කාබනික පොහොර යෙදීම සිදු කළ හැකි ය. අකාබනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයේ වැදගත්කම සම්බන්ධ කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

  • අකාබනික පොහොර යෙදීමෙන් වගාවට හිතකර බොහෝ ක්ෂුද්‍ර ජීවීන් මෙන් ම ගැඩවිලන් වැනි විශාල ජීවීන් ද විනාශ වේ. එමගින් පරිසරයේ ස්වාභාවික පැවැත්මට ද බාධා මතු වේ.
  • අකාබනික පොහොර අධි මාත්‍ර ලෙස යෙදීමෙන් ඒවා ශාක නිෂ්පාදන ඔස්සේ මිනිසාට බලපෑම් ඇති කරයි. ඒවායේ අඩංගු ඇතැම් බැර ලෝහ වර්ග මිනිසාගේ දේහයට ඇතුළු වී අහිතකර විපාක ගෙන දේ.
  • කාබනික පොහොර භාවිතයේ දී පුළුල් පරාසයක පෝෂක පසට එක් වුව ද අකාබනික පොහොර මගින් ලබා දිය හැක්කේ නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම්, සල්ෆර් වැනි පෝෂක කිහිපයක් පමණි.
  • කාබනික පොහොර සඳහා විශාල මුදලක් වැය කළ යුතු නැත. ඒවා ඉවත ලන සත්ත්ව කොටස් මෙන් ම ශාක කොටස් වන පිදුරු, කොළරොඩු, දහයියා, ලී කුඩු යනාදියෙන් අපට ම නිෂ්පාදනය කරගත හැකි ය.
  • කාබනික ගොවිතැනෙන් ලබාගන්නා සහල්, එළවළු, පලතුරු හා පලා වර්ග සඳහා වර්තමාන ශ්‍රී ලංකාවේ දැනුමැති ජනතාව අතර වැඩි ඉල්ලූමක් පවති. මේ නිසා ඒවා වගා කරන ගොවීන්ට මෙන් ම අලෙවි කරන වෙළඳුන්ට වැඩි ආදායමක් ලබාගත හැකි ය.
  • කාබනික පොහොර භාවිතය නිසා කාලයක් සමඟ පසේ ව්‍යූහය වැඩි දියුණු වේ.

කාබනික ගොවිතැනේ තවත් අංගයක් ලෙස පළිබෝධ පාලනය සඳහා සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම භාවිත කිරීම හඳුන්වා දිය හැකි ය. වර්තමානයේ පළිබෝධ පාලනය සඳහා යොදාගන්නා පළිබෝධ නාශක උග්‍ර විෂ සහිත කෘත්‍රිමව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය වේ. වල් නාශක, කෘමි නාශක හා දිලීර නාශක මෙයට අයත් වේ. මෙම පළිබෝධ නාශක භාවිතය තුළින් ඇගයීමට ලක් කළ නොහැකි ආකාරයේ හානියක් පරිසරයට සිදුවන අතර ඒ වෙනුවට සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම යොදා ගැනීම තුළින් එය වළක්වා ගත හැකි ය. මේවා ජීව විද්‍යාත්මක ක්‍රම හෝ යාන්ත්‍රික ක්‍රම හෝ ආගමික පිළිවෙත් විය හැකි ය. පළිබෝධ පාලනය සඳහා යොදා ගන්නා සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.

  • පළිබෝධයින්ගේ බිත්තර හෝ කීට අවධි විනාශ කර දමන වෙනත් ජීවී කාණ්ඩ බෝ කර හැරීම.
  • කෘමි විකර්ෂක ද්‍රව්‍ය (දහස් පෙතියා මල්, කොහොඹ ඇට යුෂ, පැඟිරි ශාක) යොදා ගෙන පළිබෝධ මර්දනය කිරීම.
  • ජලය (වියළිව තැබීම හෝ ජලය පුරවා තැබීම) මගින් පළිබෝධ ව්‍යාප්තිය පාලනය.
  • වගා බිම හානිකර කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට රාත්‍රි කාලයේ වගා බිමේ පහනක් දැල්වීම. එවිට කෘමීන් ඒ වෙත ඇදී පිලිස්සී මිය යයි. මේ නිසා මෙය ආලෝක උගුලක් ලෙස හැඳින්වේ.
  • කුඹුරට බිත්තර වී ඉසීමෙන් පසු ඒවා කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වක්කඩේ පහළින් දිය හොල්මනක් සාදයි. එවිට එයින් නැගෙන ශබ්දය නිසා කුරුල්ලන් පලා යයි.
  • ගොයම මීයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පොල් ලෙල්ලක් බැගින් සවි කළ ලී දඩු කුඹුරේ තැනින් තැන සිටුවයි. එවිට බකමූණන් වැනි පක්ෂීන් ඒ මත වසා සිට මීයන් දඩයම් කරයි.
  • කලින් කලට වගා කරන බෝග ප්‍රභේද මාරු කිරීමෙන් පළිබෝධයින් වගා බිමෙහි ස්ථාපනය වීම වළකි.

ශ්‍රී ලාංකේය සමාජයේ දිගු කාලයක් පැවත ආ ගොවිතැන පිළිබඳ සාම්ප්‍රදායික දැනුම නොසලකා හැරීමත්, නවීන විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ නොවීමත් යන හේතු නිසා අසීමිතව රසායන ද්‍රව්‍ය භාවිත කර සිදු කරන වර්තමාන කෘෂි කර්මාන්තයේ අතුරු ඵල ලෙස නිදන්ගත වකුගඩු රෝගය වැනි ව්‍යසනවලට මුහුණ දීමට ගොවින්ට සිදු වී ඇත. මෙයට අමතරව චර්ම රෝග, ස්නායු රෝග වැනි ආබාධ ද සුලබ වේ.

ජල කළමනාකරණය

"අහසින් වැටෙන එක් දිය බිදක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙමු" යනුවෙන් පෙර දා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සඳහන් කර ඇත. එමගින් පෙන්වා ඇත්තේ ජල කළමනාකරණයේ ඇති වැදගත්කමයි. අප අතීතයේ සිට ම කාෂි කර්මාන්තය සඳහා පරිසර හිතකාමි ලෙස ජල කළමනාකරණය සිදු කළ ලෝකයේ ප්‍රථම සහ එක ම ජාතිය වේ. වසර දහස් ගණනකට පෙර සිට අද දක්වා ම ලක්ෂ ගණනක ජනතාවකගේ දිවි සරිකර ගැනීමට මා හැ`ගි දායකත්වයක් දෙන වැව්, අමුණු හා වාරි මාර්ග වැසි ජලය සංරක්ෂණය සඳහා කදිම නිදසුන් ය (13.9 a රූපය).

ජල සම්පාදනය දුර්වල ප්‍රදේශයක ගොවිතැන් කටයුතුවලට ජලය ලබා ගැනීමේ අරමුණින් ගඟක් හෝ ඔයක් හෝ ඒවායේ ශාඛාවක් යොදා ගෙන තැනූ වාරිමාර්ග අතීතයේ භාවිත විය.

විශාල තැනිතලා ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශ වටා බැමි බැඳ වර්ෂා ජලය අවුරුද්ද පුරා ප්‍රයෝජනයට ගැනීමට රැස් කළ වැව් පද්ධති එකල භාවිත විය. වර්ෂාව නොමැති කලාපවලට වාරි පද්ධති ඔස්සේ වැවෙන් වැවට ජලය ගලා යමින් ජලය රැස්කර තබා ගැනීමට වැව් උපකාරී විය. වැවක පොදු සැලැස්මක ඇති අංග සලකා බැලීමෙන් කෙතරම් පරිසර හිතකාමී ලෙස වාරි තාක්ෂණය භාවිත කර ඇති දැයි පැහැදිලි වේ (13.9 ඉ රූපය).

වැසි ජලය රැස් කිරීම

වැසි ජල සංරක්ෂණය සඳහා තනි පුද්ගලයෙක් ලෙස අපට ද ගත හැකි ක්‍රියාමාර්ග ඇත. මේ සඳහා නිවාස හා වෙනත් ගොඩනැගිලිවල වහලයට ලැඛෙන වර්ෂා ජලය එකතු කර නියං කාලයේ දී ප්‍රයෝජනයට ගත හැකි ය (13.10 රූපය).

බිංදු ජල සැපයුම

දැනට භාවිත කරන ඉතා ම කාර්යක්ෂම හා සූක්ෂම ජල සම්පාදන ක්‍රමය යි. මෙහි දී ජල ප්‍රභවයේ සිට ප්‍රධාන නළයකින් ආරම්භ වන පාර්ශ්වික නළ සෑම බෝගයක ම මූල මණ්ඩලය ආසන්නයෙන් යොදා ඇත. මෙම නළවල ඇති විමෝචක (emmiters) නම් කුඩා උපාංගවලින් ජලය බිංදු ලෙස වෑස්සේ. මූල මණ්ඩලයට පමණක් ජලය වෑස්සෙන බැවින් ජලය අපතේ නොයන අතර වල් පැළෑටි වර්ධනය පාලනය වේ (13.11 රූපය).

 

භූමි කළමනාකරණය

භූමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමනාකරණය කිරීම භූමි කළමනාකරණය ලෙස හැඳින්වේ.

භුමිය කෘෂි කර්මාන්තය සඳහා උපස්තර සපයයි. නමුත් එය භාවිත කිරීමේ දී පරිසරයට යහපත් මෙන් ම අයහපත් බලපෑම් ද ඇති විය හැකි ය. පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන නොගන්නේ නම් වන වගා සහිත භූමි අලූතින් වගා කටයුතුවලට යොදා ගැනීමට මිනිසා පෙළඹේ. එවිට වනගහනය අඩු වේ. එනම් හරිත වැස්ම අඩු වේ. මේ නිසා භූමි කළමනාකරණය හරිත සංකල්පය මූලික කරගෙන සිදු කළ යුතු ය.

කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

  • බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කළ යුතු වේ.
  • බෑවුම් අධික කඳු ප්‍රදේශ වගා කටයුතු සඳහා භාවිත කිරීම අනතුරුදායක වේ.
  • අධික වර්ෂාව මගින් දරාගත නොහැකි ජල ධාරිතාවක් කෙටි කාලයක් තුළ පතිත වීමේ දී කඳු නාය යාමට ලක් වේ.
  • වගා භූමි තුළ අතුරුබෝග වගා කිරීමෙන් භූමියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම.
    නිද:-තේ වගාව සමග පොල්, රබර්, ගම්මිරිස් වැනි ආර්ථීක බෝග වගාව
    රබර් වගා ඉඩම්වල කොකෝවා වගා කිරීම
    ගොයම් වගා කරන කුඹුරුවල නියර මත කෘෂි බෝග වගාව
  • ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගත යුතු ය.

භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක තබා ගැනීමට පහත ක්‍රම අනුගමනය කරනු ලබයි.

  • කෘෂි කර්මාන්තයට සුදුසු පාංශු වයනයක් ඇති කිරීම.
  • ජලය හා වාතය හොඳින් රඳා පවතින ලෙස පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම.
  • භූමිය තුළ යහපත් ජලවහන පද්ධතියක් සකස් කිරීම.
  • කාබනික පොහොර යෙදීම මගින් පසේ ගුණාත්මක බව ඉහළ නැංවීම.
  • භූමියේ ඒ ඒ ස්ථානවලට වඩාත් සුදුසු බෝග යෙදීම.

තිරසාර වූ කෘෂිකාර්මික භූමි කළමනාකරණය තුළින් අත්පත් කරගත හැකි වාසි කිහිපයක් පහත දක්වා ඇත.

  • නිෂ්පාදන ඵලදායිතාව වැඩි දියුණු වීම.
  • නිෂ්පාදන අවදානම අඩු වීම.
  • ස්වාභාවික සම්පත්වල සහ පසේ හා ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම.
  • ආර්ථීක වටිනාකම වැඩිදියුණු වීම.
  • ආපදා අවම වීම.
  • පරිසරයට සිදුවන හානි අවම වීම.

භූමි කළමනාකරණයේ දී මෙන් ම ඉහළ ඵලදායිතාවක් මුල් කරගත් වගා ක්‍රම කිහිපයක් පහත සඳහන් වේ.

පසු අස්වනු තාක්ෂණය

වගාවක අස්වනු නෙළා ගත් වහා ම ගුණාත්මය රැකෙන පරිදි ඒවා පිරිසිදු කර, වර්ග කර, ඇසිරීම සිදු කිරීම පසු අස්වනු තාක්ෂණය ලෙස හැඳින්වේ (13.13 රූපය). පසු අස්වනු ක්‍රියාවලියට අස්වනු නෙළා ගැනීම, අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සහ විකිණිම යන පියවර ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු තාක්ෂණය ඉතා පහළ මට්ටමක පවතින බව දැකගත හැකි ය. විද්‍යානුකූලව අස්වනු නෙළීමටත්, ඒවා ඇසිරීමටත්, ප්‍රවාහනය සිදු කිරීමටත් අප රටේ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. මේ හේතුවෙන් නිෂ්පාදනවලින් වැඩි කොටසක් පරිභෝජනයට නොගෙනම ඉවතලයි. එමගින් නිෂ්පාදකයාට මෙන් ම වෙළෙන්දාට ද ලැබෙන ආදායම අඩු වන අතර නිෂ්පාදනවල මිල ඉහළ යාමට ද හේතු වී ඇත. තව ද පසු අස්වනු තාක්ෂණය දුර්වල වීම නිසා ජනතාවට උසස් මට්ටමේ ආහාර පාරිභෝජනයට ඇති අවස්ථාව ද අහිමි වී ගොස් ඇත.