13.3 - කාර්මික ක්‍රියාවලිය

රසායනික ද්‍රව්‍ය භාවිතය

අප එදිනෙදා විවිධ අවශ්‍යතා සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇත. ඒවා පහත ආකාරයට දැක්විය හැකි ය.

  • ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය (Food additives)
  • ශෝධනකාරක (Cleaning agents)
  • ඖෂධ (Medicines)
  • විෂබීජ නාශක (Disinfectants)
  • රූපලාවණ්‍ය ද්‍රව්‍ය (Cosmetics)
  • ආලේපන තීන්ත (Paints)

මෙම රසායනික ද්‍රව්‍ය බොහොමයක් කෘත්‍රිමව සංශ්ලේෂණය කළ ද්‍රව්‍ය වන අතර ඇතැම් ඒවා පරිසරයට එකතු වූ පසු දිගු කලක් යනතුරු ඒ ආකාරයට ම රැඳී පවතී. එවැනි ද්‍රව්‍ය ශාක මගින් උරාගෙන ආහාර දාම ඔස්සේ ගලා යෑමෙන් මිනිසාට අහිතකර ප්‍රතිඵල ඇති කරයි. ඖෂධ ප්‍රතිරෝධි ව්‍යාධිජනකයින් ඇතිවීම හා සමහර රසායන ද්‍රව්‍ය හෝර්මෝන අනුකාරක ලෙස හැසිරීම නිසා පුද්ගලයන් තුළ හෝර්මෝන අසමතුලිතතා ඇතිවීම ද මේ අතර වෙයි. මෙම රසායනික ද්‍රව්‍ය මගින් පරිසර සමතුලිතතාව බිඳ වැටීම සිදු වේ. මේ හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය හැකි තරම් අවම කිරීම හෝ මේවා වෙනුවට
යොදාගත හැකි ස්වාභාවික ආදේශක භාවිත කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.

  • කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පරිභෝජනයෙන් හැකි පමණ වැළකීම සහ කෘත්‍රිම රසකාරක වෙනුවට කුළුබඩු වැනි ස්වාභාවික රසකාරක නිවසේ ම සාදා ගෙන භාවිත කිරීම.
  • විෂබීජ විනාශ කිරීම සඳහා අපේ පැරැන්නන් අනාදිමත් කාලයක සිට භාවිත කළ කහ, පෙරුම්කායන් වැනි දේ හැකි පමණ භාවිත කිරීම.
  • සම පැහැපත් කර ගැනීමට ආලේප කරන වෙළෙඳපොළේ ඇති පිළිකා කාරක, රසදිය අඩංගු ක්‍රීම් වර්ග වෙනුවට ස්වාභාවික ඖෂධීය නිපැයුම් භාවිත කිරීම.

 

ගොඩනැගිලි ඉදිකිරීම

හරිතාගාර වායු විමෝචනය වළක්වන හෝ අවම දායකත්වයක් දෙන පරිදි තනන ලද ගොඩනැගිල්ල, හරිත ගොඩනැගිල්ලක් (ඨරුැබ ඉමසකාසබට) ලෙස හැඳින්වේ. හරිත ගොඩනැගිලි නිර්මාණයේ දී අවධාරණය කළ යුතු මූලික කරුණු කිහිපයක් ඇත. එනම්,

  • ගොඩනැගිලි පරිශ්‍රය උපරිම ශාක වැස්මකින් සමන්විත වීම.
  • සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි දොර, ජනෙල්, කවුළු තිබීම.
  • අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම.
  • බලශක්තිය කාර්යක්ෂමව පරිභෝජනය සඳහා සැලසුම් තිබීම.
  • ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම.
  • ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් ගොඩනැගීම.
  • නඩත්තු පිරිවැය අවම කිරීමට සුදුසු නිවාස සැලසුමක් වීම.
  • ස්වාභාවික ආලෝකය හොඳින් ලබා ගැනීමට හැකි සැලසුමක් තිබීම.

හරිත ගොඩනැගිලි සංකල්පය මගින් පරිසරයට අවම හානියක් වන පරිදි පරිසරයේ සම්පත් භුක්ති විඳීමට හැකි වේ. එසේ ම සොබා දහමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව ලැබේ. මේ සඳහා තාක්ෂණය ද භාවිත කළ හැකි ය.

නිදසුන් :-

  • ශාක වැස්මක් යොදා පවතින තාපය අවම කිරීම.
  • සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගැනීම
  • සූර්ය ජල තාපක මගින් නාන කාමර සඳහා උණු ජලය ලබා ගැනීම
  • ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය වැඩිපුර ලැඛෙන පරිදි විශාල ජනේල යෙදීම හා ගොඩනැගිල්ලේ හැඩතල නිර්මාණය කිරීම.

හරිත ප්‍රවාහනය

නවීන ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමග ප්‍රවාහන කටයුතුවල විශාල පෙරළියක් සිදු වී ඇත. සුව පහසුව, කාර්යක්ෂමතාව මෙන් ම ඵලදායීතාව ඉහළ ගිය ද මේ මගින් දීර්ඝ කාලීනව සිදුවන අහිතකර බලපෑම් අනාගත පරපුරට විශාල හානියක් ඇති කරයි. භාණ්ඩ ප්‍රවාහනය මෙන් ම ජනයාගේ ප්‍රවාහන කටයුතු සඳහා දිනකට ලෝකයේ අතිවිශාල ඉන්ධන ප්‍රමාණයක් දවාලයි. මෙහි ප්‍රතිඵලය වන්නේ වායුගෝලයට හරිතාගාර වායු (CO2,NO2) විශාල ප්‍රමාණයක් නිදහස් වීමයි. "ටර්බෝ" එන්ජින් සහිත වාහන භාවිතයේ දී සම්පීඩන වාහන පෙට්‍රල් සමග දවාලීමෙන් CO2 වායුවට අමතරව NO2 වායුව ද විශාල ලෙස මුදා
හරී. මේ නිසා ප්‍රවාහන කටයුතුවල දී හරිතාගාර වායු විමෝචනය අවම කරන ප්‍රවාහන ක්‍රම සඳහා අවධානය යොමු විය යුතු ය. හරිත ප්‍රවාහනය ලෙස හඳුන්වන්නේ මෙවැනි ක්‍රියා අනුගමනය කිරීම යි.

නිදසුන් :-

  • තනි පුද්ගල වාහන භාවිතය අවම කිරීම
  • ඉන්ධන වැය අවම හෝ අවශ්‍ය නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය (පයින්, පාපැදියෙන් යාම)
  • දෙමුහුම් වාහන භාවිතයට පහසුකම් සැලසීම හා උනන්දු කරවීම
  • සූර්ය කෝෂ හෝ විදුලි කෝෂ යොදා වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම
  • ඇළ, දොළ, ගංගා ඔස්සේ ප්‍රවාහනයට පහසුකම් සැලසීම

ආහාර, හා භාණ්ඩ ප්‍රවාහනයේ දී විශාල ඉන්ධන වැය වීමක් සිදුවන බැවින් "ආහාර සැපයුම්" ගණන අඩු කිරීම ද කළ හැකි වේ. විදේශයෙන් ආනයනය කරන ආහාර වෙනුවට දේශීය ආහාර භාවිතයට හුරු වීම ඉතා වැදගත් වේ. කෙසේ හෝ ප්‍රවාහනයේ දී හරිතාගාර වායු විමෝචනය අවම කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් සෑම පුද්ගලයෙකුට ම ගෝලීය අර්බුද අවම කිරීමට දායක විය හැකි ය.

ඉහත සාකච්ඡා කළ සෑම කරුණකින් ම පෙනී යන්නේ මිනිසා විසින් සිය සුඛ විහරණය සඳහා පරිසරය වෙනස් කරමින් සීමිත සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කිරීමේ රටාවක් අනුගමනය කරන බවයි. එමෙන් ම පරිසර සම්පත් රටේ ජනගහනය අතර පමණක් නොව අනෙක් ජීවීන් කාණ්ඩ වෙතට ද සම සේ ඛෙදී යාමක් ද සිදු නොවන බව පෙනේ. මිනිසුන් අතරින් බොහෝ පිරිසක් මෙලෙස පරිසර සම්පත් අනිසි ලෙස භාවිත කිරීම නිසා ගෝලීය අර්බුද රැසක් හට ගෙන ඇත. ගෝලීය උණුසුම වර්තමානයේ පමණක් නොව අනාගතයේ ඉහළ යාමේ ප්‍රවණතාව ඉන් බරපතල ම ගැටලූව වේ. මේ සඳහා ඉවහල් වන හරිතාගාර වායු විමෝචනය කිරීමේ කාර්යයන්ගෙන් හැකි තරම් ඉවත් වීම මිනිසාගේ පූර්ණ වගකීම වේ.

උපතේ සිට මිය යන තුරු ම අපගේ සෑම ක්‍රියාවක් ම ප්‍රමුඛව හරිතාගාර වායුව වන CO2 නිපදවීමට ඉවහල් වේ. CO2 නිපදවීම සිදු නොවන කිසිම ක්‍රියාවක් අප විසින් සිදු නොකරන බව විමර්ශනශීලීව බැලූවහොත් වැටහෙනු ඇත. මෙය අවබෝධ කර ගැනීමට හොඳ ම මග අපගේ "කාබන් පියසටහන" පිළිබඳ විමසිලිමත් වීමයි. කාබන් පිය සටහනෙන් ප්‍රකාශ වන්නේ පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය තුළින් වර්ෂයක දී වායුගෝලයට මුදාහරින CO2 ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) කොපමණ ද යන්නයි. අපගේ කෑම, බීම, ඇඳුම්, රැකියා, කෘෂි නිෂ්පාදන, ප්‍රවාහනය වැනි ඕනෑ ම කාර්යක දී කාබන් මුදා හැරීම විශාල වශයෙන් සිදු වේ.

ප්‍රවාහනය සැලකූ විට "ආහාර සැතපුම" ද මෙලෙස මැනිය හැකි ය. තවත් ප්‍රබල ගැටලූවක් වන පානීය ජලය හිඟ වීම ද "ජල පියසටහන" මගින් පහදා දිය හැකි ය. ආහාර සැතපුම, කාබන් පියසටහන හා ජල පියසටහන පිළිබඳව 11 ශ්‍රේණියේ දී විස්තරාත්මකව අධ්‍යයනය කරනු ලැබේ.