16.4 - නැනෝ තාක්ෂණය නිසා අනාගතයේ ඇතිවිය හැකි තත්ත්ව

ඕනෑම තාක්ෂණික යෙදීමක දී මෙන් ම නැනෝ තාක්ෂණයේ දී ද අහිතකර ප්‍රතිඵල තිබිය හැකි ය. නැනෝ තාක්ෂණයේ ප්‍රගතිය සහ භාවිතය සමඟ මෙම අහිතකර ප්‍රතිඵල වැඩි වීමට ද පුළුවන. එවැනි ප්‍රතිඵල කිහිපයක් පහත සඳහන් වේ.

  • නැනෝ තාක්ෂණයට යොදාගන්නා නැනෝ පරිමාණයේ අංශු පරිසරයට එකතු වී වාතය, ජලය හා පස දූෂණය කිරීම නැනෝ දූෂණය ලෙස හැඳින්වේ.
  • මිනිස් සහ සත්ත්ව සිරුරු තුළ නැනෝ අංශු එකතු වීම නිසා සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි ය.
  • නැනෝ පරිමාණයේ උපාංග සුලබවීම නිසා සමාජ විෂමාචාර ක්‍රියා ඉහළ යාම.
  • නැනෝ පරිමාණයේ රසායනික හෝ ජෛව යුධ අවි නිපදවීම නිසා දරුණු විනාශකාරී සිදුවීම් ඇති විය හැකි ය.

නැනෝ තාක්ෂණය මඟින් ඇති විය හැකි බලපෑම් අවම කිරීම පිණිස විවිධ ක්‍රියාමාර්ග යෝජනා කළ හැකි ය.

  • දහනයේ දී නිපදවෙන අහිතකර වායු නැනෝ පරිමාණයේ පෙරහන් තුළින් පෙරීමෙන් දුමෙහි අඩංගු නැනෝ පරිමාණයේ වායු දූෂක ඉවත් කළ හැකි ය.
  • නැනෝ පරිමාණයේ අංශු භාවිතයෙන් පරිසරයේ ඇති ආසනික් වැනි ස්වාභාවික දූෂක ඉවත් කළ හැකි ය.
  • අහිතකර වායුවලට සංවේදී වන නැනෝ සංවේදක භාවිතයෙන් එවැනි වායු ඉවත් කළ හැකි ය.
  • නැනෝ තාක්ෂණය වැරදි ලෙස භාවිත කිරීම වැළැක්වීමේ නව නීති හා අණපනත් පැනවීමෙන් නීතිමය රැකවරණය සැලැස්විය හැකි ය.

නැනෝ තාක්ෂණය හා එහි භාවිත පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology) මඟින් ලබාගත හැකි ය. එය මාහේනවත්ත, පිටිපන, හෝමාගම යන ලිපිනයේ පිහිටා ඇත.
දුරකථන අංකය - 0114 650 500